නායකයෙකුට ඕනෑම කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුයි

• ධූරයේ වගකීම ගැන කථා නොකර කණ්ඩායම ගැන කථා කරන සජිත් වගකීමක් භාරගත නොහැකි පුද්ගලයෙක්.

• අනුරව ශක්තිමත් කළ නිසා සජිත්ගේ සජබට ජනතාව දැන් කියන්නේ AKD ඔක්සිජන් කියලා.

• සජබ කණ්ඩායම් දෙකක්, ප්රතිපත්ති ප්රකාශ දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

• සජබ බ්ලූ ප්රින්ට් ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් කර ඇති “ආරක්ෂක වියදම් නැවත පරික්ෂා කිරීම හා තක්සේරු කිරීම” පිළිබඳ රටට පැහැදිළි කිරීමක් කළ යුතුයි - ජනපති මතුගමදී පවසයි .

නායකයෙකු යනු ඕනෑම කණ්ඩායමක් සමඟ වුවද වැඩකළ හැකි පුද්ගලයෙකු බවත්, ධූරයේ වගකීම ගැන කථා නොකර කණ්ඩායම ගැන කථා කිරීම නිසා සජිත් යනු වගකීමක් දැරිය නොහැකි පුද්ගලයෙකු බව තහවුරු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ රට ගොඩගැනීමට එක්වූ කණ්ඩායම සමඟ එක්ව තමා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආ බව පැවසු ජනධිපතිවරයා ඉදිරි මහ මැතිවරණයෙන් ජනතාව තෝරාදෙන කණ්ඩායම සමඟ එක්ව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.

සජිත් විපක්ෂ නායකයා ලෙස සිදු කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීම බවත් ඒ නිසා මේ වන විට ජනතාව සජබට කියන්නේ AKD ඔක්සිජන් කියා බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (05) පස්වරුවේ මතුගම පුද්ගලික බස් නැවතුම්පොළ භූමියේ  පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

“පංචවිධ” තරුණ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

එමෙන්ම තරුෂි අනුත්තරා එදිරිමාන්න විසින්  ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් ද මෙහිදි  ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ “ආරක්ෂක වියදම් නැවත පරික්ෂා කිරීම හා තක්සේරු කිරීම” මැයෙන් කර ඇති යෝජනාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළජනාධිපතිවරයා සඳහන් කළේ  ආරක්ෂක වියදම් අඩු කිරීමක් ඒ හරහා අදහස් වන බැවින් ඔවුන් ඒ පිළිබඳ වහාම රටට කරුණු පැහැදිළි කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

වසර දෙකකට පෙර මැතිවරණයක් පැවැත්විය හැකිද  කියා කිසිවෙකු ප්‍රශ්න කළා නම් කියන්න වෙන්නේ “බැහැ” කියලයි. රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ හැකිද කියලා ඇහුවා නම් ඒකට කියන්න වෙන්නෙත් “බැහැ” කියලයි. නමුත් මේ වන විට අප මෙරට ආර්ථික ස්ථාවරභාවය ඇති කර මැතිවරණයත් පවත්වනවා.

අපි මේ මැතිවරණය පවත්වන්නේ ජනතා වරම ලබා ගැනීම සඳහායි. එහිදී මා ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින්නේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර රට නැවත බංකොළොත් නොවන ආර්ථික  වැඩසටහන ආරම්භ කිරීමටයි.

මේ රටේ වැටුණු ආර්ථිකය අපි වසර දෙකකින් ගොඩගත්තා. නමුත් තවම එම ගමන අවසන් කර නැහැ. ඒ වැඩකටයුතු අවසන් කිරීමට අපට තව වසර තුන හතරක් අවශ්‍ය වෙනවා. අපි මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කර රුපියල ශක්තිමත් කිරීම වෙනුවෙන් අප සැලසුම් සහගතව කටයුතු කරනවා. ඒ වගේම ජනතාවගේ බදු බර සැහැල්ලු කර රැකියා අවස්ථා ඉහළ නංවා දීම සහ අපනයන ආර්ථිකයකට යොමු වීම අපේ ප්‍රධාන අරමුණ වෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ  මෙම ප්‍රදේශය නව බෝග මධ්‍යස්ථායක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.  ඒ වගේම සංචාරක කේන්ද්‍රයක් ඇති කර සංචාරක ව්‍යාපාරය ද දියුණු කරනවා. අප රට පුරා නව ආයෝජන කලාප ගණනාවක් ආරම්භ කරනවා. ඒ සමඟ නව රැකියා අවස්ථා රැසක් ඇති වෙනවා.

අද මෙහිදි තරුණ තරුණියන් මට ලිපියක් ලබා දුන්නා. මා එම ඉල්ලීම් ඉටු කර දීමට කටයුතු කරන බව ද කිව යුතුයි. මෙම ප්‍රදේශයට  කාර්මික විද්‍යාලයක් ලබාදීමට ද කටයුතු කරනවා.

ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා ඔබේ කණ්ඩායම කවුද කියලා. මේ ජනාධිපතිවරණය පවත්වන්නේ කණ්ඩායමක් තෝරන්න නොවෙයි, ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමටයි.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විටත්,  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විටත් කණ්ඩායම දිහා බැලුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේනව ගෙන එන විටත්, කණ්ඩායම දිහා බැලුවද, අපි එක්සත් ජාතික පාක්ෂිකන්ට කිව්වා එතුමාට ඡන්දය දෙන්න කියලා. ඔහුට ඡන්ද ලැබුණේ ඒ නිසයි.

ඒ නිසා මෙම මැතිවණයේ දී තෝරාගත යුත්තේ ජනාධිපතිවරයා කවුද යන්නයි. ධූරයේ වගකීම පිළිබඳ කථා කිරීමට එම අපේක්ෂකයාට ශක්තිය තිබිය යුතුයි . අනෙක් කණ්ඩායම් අරගෙන යාමට අවශ්‍ය නැහැ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කණ්ඩායමක් තේරීම වෙනුවෙන් නෙවෙයි.

ව්‍යවස්ථාව අනුව කණ්ඩායම තෝරා ගැනීම පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිදු වෙනවා. එහිදී පාර්ලිමේතුවට එන මන්ත්‍රීවරුන් 225ම තෝරාගත හැකියි. එතන බහුතරයක් තිබෙන තැනැත්තා අගමැතිවරයා ලෙස තෝරාගත හැකියි. පාර්ලිමේන්තුවට හොඳ අය තෝරාපත් කර ගැනීම ජනතාවගේ වගකීමක් වෙනවා. දැන් දුෂණය විරෝධි නීතිය තිබෙන නිසා වරදක් සිදු කළොත් ඔහුව ඉවත් කිරීමට මම ක්‍රියා කරනවා. මම මා සමඟ සිටින කණ්ඩායම සමඟ වැඩ කරනවා. නායකයා කියන්නේ ඕන කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි  පුද්ගලයෙකුටයි.

එක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගෙන ඒමට අද සජබ ඉන්න කණ්ඩායමට බැරි වෙලා තිබෙනවා. ඔවුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තිබෙනවා. එක පැත්තක නාලක ගොඩහේවා සහ ජී.එල්. පීරිස් ඉන්නවා. අනිත් පැත්තේ හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් ඉන්නවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකෙහි තිබෙන්නේ එකිනෙකට වෙනස් කරුණු බව කිවයුතුයි.

බ්ලු ප්‍රින්ට් නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා  “ආරක්ෂක වියදම් නැවත පරීක්ෂා කිරිම හා තක්සේරු කිරිම සිදු කරනවා” කියලා. ඒ කියන්නේ ආරක්ෂක වියදම් අඩු කරන බවයි. ඒ නිසා ඔවුන් මේ පිළිබඳ රටට පැහැදිළි කිරීමක් සිදු කළ යුතුයි.

මෙවන් එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැති සජිබෙ අද අපට කියනවා කණ්ඩායමක් හොයන්න කියලා. සජබෙ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒක හරියට එක මවකගේ කුසේ එකවර දරුවන් දෙදෙනෙක් ඉපදුණා වගේ.  ජී.එල්.පීරිස් සහ නාලක ගොඩහේවා මාස 09න් ඉපදුනා. හර්ෂ සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් මාස 10න් ඉපදුණා. ඒ නිසා කොයි දරුවාද ගෙනියන්නේ කියලා සජබ තීරණය කළ යුතුයි. මෙවන් කණ්ඩායමකට රට භාර දෙන්න පුළුවන්ද.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ලෙස කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීමයි. දැන් අනුර කුමාර සජිත්ට අභියෝගයක් වෙලා.  ඒ නිසා සජිත්ට මෙවර ජනාධිපතිවරණය දිනන්න බැහැ. ඒ නිසා සජිත්ට ඡන්දය ලබාදීම අනුර කුමාරට ඔක්සිජන් ලබාදීමක් බව මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න කැමතියි. දැන් ජනතාව සජබෙට කියන්නේ AKD ඔක්සිජන් කියලයි. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ඔබේ යුතුකම ඉටු කරන්න.

අග්රාමාත්ය දිනේෂ් ගුනවර්ධන මහතා,

ඉතිහාසයේ කවර කාලයකවත් සිදු නොවූ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මීට වසර දෙකකට පෙර කඩා වැටුණා. එදා අපට අනාගතය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ තත්ත්වය හමුවේ රට භාර ගැනීමට සිටි සියලු නායකයන් පළා ගියා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභියෝගය භාරගෙන අදවන විට රට නිසි මගට යොමුකර තිබෙනවා.

රටට රාජ්‍ය නායකත්වයක් නොමැතිව තිබු අවස්ථාවක රට භාරගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහමග මන්ත්‍රීවරු ඝාතනය කළ යුගය අවසන් කළා.  පොළිම් ගානේ ජනතාව මැරී වැටුණු යුගය අවසන් කළා.  රට තුළ නීතිය සහ සාමය ක්‍රියාත්මක කරමින්  රටේ ආර්ථිකය ස්ථාවරත්වයක් ඇති කිරීමට  කටයුතු කළා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෙන් හැකියාව, පළපුරුද්ද සහ ජාත්‍යන්තර සබඳතා ඇති වෙනත් කිසිදු අපේක්ෂකයෙක් නැහැ. ඒ සියලු සුදුසුකම් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත යුතුයි.

අමාත්ය ජීවන් තොණ්ඩමන් මහතා,

ප්‍රථම වතාවට මතුගම ප්‍රදේශයේ දෙමළ පාසලක් පිහිටුවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වගේම වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විකල්ප විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. අපි උත්සාහ කරන්නේ අපේ ජනතාවට එම අවස්ථාව උදා කර දීමටයි.

රටේ ගෑස්, විදුලිය, ඖෂධ නැති කාලේ, අනුර හෝ සජිත් හිටියේ නැහැ. ඒ කාලයේ රටේ ජනතාවට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ජනතාව වෙනුවෙන් රට යළි ගොඩ නඟන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි.  වතු කම්කරුවන්ට රුපියල් 1700ක දෛනික වැටුපක් අනිවාර්යයෙන් ලබා දෙනවා. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහයෙන් අප ලබා ගත් ජයග්‍රහණයක් බව කිව යුතුයි.

රාජ්ය අමාත්ය පියල් නිශාන්ත මහතා,

මේ රට දැනට වසර දෙකකට පෙර තිබූ ආර්ථික අර්බුදය, සමාජීය අර්බුදය හා  දේශපාලන අර්බුදය සමඟ දැඩි පීඩනයකට ලක් වෙච්ච ජනතාවක් එම තත්ත්වයෙන්  ගොඩගත් නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳ ඉලක්කයක් තියෙන, අරමුණක් තියෙන , සැලැස්මක් තියෙන නායකයෙක්. එම නායකත්වය වෙනුවෙන් තමයි අපි  ඔක්කොම පෙල ගැසී ඉන්නේ. මේ මැතිවරණයේදී කවුරු, කුමන, කෙසේ කතා කළත්, මොන වි‍දියට වේදිකා වල කෑ  මොර දුන්නත් ජනතාවගේ ඡන්දයෙන් නියත වශයෙන් ‍ජනාධිපති බවට පත් වන්නේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

මේ රටේ දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා, ජනාධිපති අපේක්ෂකයන් 39ක් ඉන්නවා. මම කිසිම පක්ෂයක්, කිසිම අපේක්ෂකයෙක් විවේචනය කරන්නේ නෑ. මගේ දේශපාලනය හාත්පසින්ම වෙනස්. මට අවශ්‍ය මේ රටට වැඩ කරන්නයි.

එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ජාතික තරුණ සේවා සභාව ගොඩ නඟා තරුණ ගැටලු විසඳීමට කටයුතු කළා.

ඒ වගේම මෙවර එතුමාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ තුළ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය නැංවීම, තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව හොඳ යෝජනා ඇතුළත්ව තිබෙනවා. ඒවා ඉදිරියේදී ක්‍රියාවට නැංවිය යුතුයි. එය මේ රටට අත්‍යවශ්‍යයි.

මේ රටට ගැළපෙන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්නට  පුළුවන් එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඒ අවශ්‍යතාවද ඔබතුමාට තිබෙන බව අපි දන්නවා. ඒ නිසා ඔබතුමාග් ජයග්‍රහණය වෙනුවෙන් අපි කැප වෙනවා.

රාජ්ය අමාත්ය අනුප පැස්කුවල් මහතා,

පසුගිය මැතිවරණය අවස්ථාවේදී අපි පොරොන්දු ගණනාවක් දුන්නා. ඒ පොරොන්දු අතර ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ ප්‍රදේශවල  වසර ගණනාවක් නොවිසදුණු පානීය ජල ප්‍රශ්නය. මේ වතුරට ලුණු මිශ්‍ර වෙලා තිබුණේ. ඒ නිසා අවුරුදු 40ක් තිස්සේ බොන්න වුණේ ලුණු මිශ්‍ර ජලය. මේ වන විට ලුණු ජලය ප්‍රශ්නය සහමුලින්ම විසඳා තිබෙනවා.  

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සමෘද්ධි නිලධාරීන්ට උසස්වීමේ පටිපාටියක් ලබා දුන්නා. එතුමා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අස්වැසුම සහ සමෘද්ධි ව්‍යාපාරය ඒකාබද්ධ කරන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම අපේ හෙදියන් ජපන් රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කර තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා,

අද ජනාධිපතිධුරය ඉල්ලමින්  මේ රටේ විශාල සටනක් ආරම්භ වී තියෙනවා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා. 2022 මැයි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්දේසියේ තියලා ලබා දුන්නේත් මේ ජනාධිපතිධුරයම තමයි. නමුත් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැර එය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.

එදා මුලින්ම ජනාධිපතිධුරය භාර ගන්න කියලා ආරාධනා කළේ විපක්ෂ නායකයාටයි. ඔවුන් පැය 3ක් සාකච්ඡා කරලා එළියට ඇවිත් ටිව්ටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ මේ ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට හැකියාව තිබෙන්නේ යෝධයෙකුට පමණක් බවයි. ඔවුන් ඒ යෝධයන් නොවන බව එදා පිළි ගත්තා.

ඉන්පසු අනුර කුමාරට කතා කර තිබුණා. ඒ නිර්ධන පංතියේ නායකයාත් රට භාර ගත්තේ නැහැ. නමුත් දැන් රට හදන හැටි කිය කියා රට වටේ යනවා. රට හදන්න නම් එදා වගකීම භාර ගන්න තිබුණා. ඊට පස්සේ ෆොන්සේකාට ආරාධනා කළා. ඔහු ජනතාව විරුද්ධ නැත්නම් භාර ගන්නම් කියලාත ඒ කියන්නේ එයාව ජනාධිපති කරන්නද කියලා ජනමත විචාරණයක් පවත්වන්න සිදු වෙනවා. අවසානයේ ඔහු භාර ගත්තෙත් නැහැ. එදා  රාජ්‍ය බලය ගන්න පෙරටුගාමීන් ද ප්‍රතික්ෂේප කළා.

මේ සියළු දෙනාගෙන් පසුව පාර්ලිමේන්තුවේ හිටපු තනි මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඇහුවා මේ රට භාර ගන්න පුළුවන්ද කියලා. එතුමා පුළුවන් කිව්වා. මාධ්‍යවේදීන් හමුවේ එතුමා කිව්වේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් මේ රට බේර ගන්න පුළුවන්. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවයි.

එදා පුළුවන් කී දේ කරලා පෙන්නලා තමයි එතුමා අද 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂයකු ලෙස ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. බංකොලොත් වූ රටක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ  ගොඩ ගත් පළමු නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉතිහාසගත වෙනවා.

මේක දියුණු රටක් නම් වෙනත් කිසිවෙක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් පක්ෂ, පුද්ගලයින් ඉස්සර කර ගෙන එක් පිරිසක් තුට්ටු දෙකේ දේශපාලනයක යෙදෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම ‘ආර්ථික විශ්ව කර්මයක්’ බව ඩොනල්ඩ් ලූ ප්‍රකාශකළා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් පසුගියදා මෙරටට පැමිණ ප්‍රකාශ කළේ තමන් ආවේ බංකොලොත් රටකට, වුවත් ඒ බවක් පෙනෙන්න නැහැ කියලයි. ඒ වෙනස් වීම ආශ්චර්යයක් බව ඔහු ප්‍රකාශ කළා.

පසුගියදා බංකොලොත් වූ ඉතියෝපියාවට අයි.එම්. එෆ් සංවිධානය උපදෙස් දුන්නේ ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ ක්‍රමය අනුගමනය කරන ලෙසයි. එවැනි පිළිගැනීමක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය ජාත්‍යන්තරය වෙතින් ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා,

2022 මැයි 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාට මෙරට අගමැතිධුරය භාර දෙනවා. ඉන්පසු 2022 ජුලි මාසයේ  20 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134කගේ ඡන්දයෙන්  ජනාධිපතිධුරය භාර දෙනවා. ඒ දවසේදී  මේ රට කොතනද කියා මොහොතකට මතක් කර බලන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

දවසට පැය 17ක් විදුලිය කපනවා. ගෑස් සිලින්ඩරයක් හොයාගන්න තිබුණේ නෑ. ගෑස් සිලින්ඩරයක් ගන්න කිලෝමීටර් 2ක් 3ක් පෝලිමේ ඉන්න වුණා. ඇතැමුන් දවස් දෙක තුන ගෑස් සිලින්ඩරය උඩ වාඩි වෙලා හිටියා. දරුවට බෙහෙත් ටික ගන්න තිබුණේ නෑ. බෙහෙත් ගන්න මුදල් තිබුණෙත් නෑ. කිරි පිටි නෑ. කිසිවෙකුට රැකියාවට යන්න විදියක් තිබුණේ නෑ. ගෑස්, කිරිපිටි, හාල් හොයන්න යන්න වුණා. ඒ එදා රට තිබූ තත්ත්වයයි.

අද ජනාධිපතිධූරය ඉල්ලා ගෙන එන අය එදා ඒ අවදානම භාර ගත්තේ නෑ. පැනලා දිව්වා. නමුත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීධුරයක් හිමිව තිබූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා රට භාර ගත්තා.  ඒ වගකීම භාරගෙන අපේ සහයෝගයත් ඇතිව අද වන විට මේ රට ස්ථාවර රටක් බවට පරිවර්තනය කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට අප එතුමාට සහාය දෙන්නේ පසුගිය වසර දෙක ගැන පමණක් සිතා නොවෙයි. එතුමා ආරම්භ කළ රට ගොඩනඟන වැඩපිළිවෙල  අවසන් කිරීමට තවත් කාලය අවශ්‍යයි. අන්න ඒ වගකීම වෙනුවෙන් මේ ජනාධිපතිවරණයේදීත් එතුමාව ජයග්‍රහණය කරවීඹට  සහාය දෙනවා. මේ මැතිවරණය අනිවාර්යෙන්ම ජය ගන්න පුලුවන්. ඔබේ ගමේ තෙල් පෝලිම්, ගෑස් පොලිම්, කිරි පිටි පෝලිම්, බෙහත් පෝලිම්වල හිටපු අය දැනුවත් කිරීමට මේ  පණිවිඩය ගෙන යන්න. ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගහලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවා අනාගතය සුබවාදී කරගන්නට කටයුතු කරමු කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්ය මනුෂ නානායක්කාර මහතා,

මේ ප්‍රදේශයේ පුංචි දරුවෙක් එදා කිව්වා මේ රට මේ විදියටම යන්න ඕන කියලා. ඒ කවුරුත් කියලා දීලා කියපු දෙයක් නෙවෙයි. අද පුංචි දරුවටත් තේරෙනවා මේ රට අද කොතනද තියෙන්නේ කියලා.

අද මේ වේදිකාවේ සිටින සියලු දෙනා එක්ව සිටින්නේ ඔබ දිනවන්නයි. එදා කයියනායකයි, පුතාණෝයි හරියට මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ ජනතාව දෙස නොබලා මගහැර ගිය වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔබ වෙනුවෙන් නොපැකිලව ඒ අභියෝගය බාර ගත්තා. සමගි ජනබලවේගය අද අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කොපි කරලා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දක්වලා තියෙනවා. ඒ කටයුත්තවත් ස්වාධීනව කර ගන්න ශක්තියක් නැති කෙනෙකුට රටක් බාර දෙන්න තරම් මේ ජනතාව මෝඩ නැති බව කිව යුතුයි. රාජ්‍ය සේවකයන් ඊයේත් අදත් තැපැල් ඡන්දය පාවිච්චි කළ ආකාරය විමසා බැලුවා නම් රනිල්ගේ රැල්ල කොතරම් සාර්ථකද කියා දැන ගන්න පුළුවන්. රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නේ නැහැ කියලා.

ඒ වගේම තමයි දැන් රැල්ල අවරට බව සජිත් හොඳටම තේරුම් අරන් ගෙන. රනිල් වික්‍රමසිංහට හේත්තු වෙන්නේ කොහොමද කියලා බලන්න දැන් සජබේ උදවිය එහෙන් මෙහෙන් පණිවිඩ එවනවා. මුලින් අයි.එම්. එෆ් ප්‍රතික්ෂේප කළ ජනතා විමුක්ති පෙරමුණ දැන් කියනවා වත්මන් වැඩ පිළිවෙළ හැර විකල්පයක් නෑ කියල. අනුර එකක් කියනවා. හරිනි තවත් එකක් කියනවා. ජවිපෙ එක එක්කෙනා ඔවුන්ට ඕන විදියට විවිධ අදහස් ප්‍රකාශ කරමින් යනවා. ගමේ මෙච්චර දවස් පෝස්ටර් ගහපු ජවිපෙ දැන් ගමෙනුත් ප්‍රතික්ෂේප වෙලා.

අවුරුදු දෙකක් ඔබව බලාගත්තා වගේ 21 වෙනිදා ලබන විජයග්‍රහණයෙන් පසුවත් ඔබව බලාගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්න බව මා මේ අවස්ථාවේ ඔබ හමුවේ ප්‍රකාශ කරනවා. ඒ සඳහා ඔබෙන් අවශ්‍ය වන්නේ ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගැසීම පමණයි.

හිටපු පළාත් සභා මන්ත්‍රී ෂෙනාල් වෙල්ගම, දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ටෙනිල් විශ්ව ශාන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම සංවිධායක ශ්‍රීපාල් වන්නිආරච්චි යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූ අතර විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more