රට ඉදිරියට ගෙන යාමේ ගමනට සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙනවා

• ඉන්දියාව සමඟ එක්ව ත්රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරනවා.

• ඔබේ මුළුතැන්ගෙයි සටන 2025 දී නිමා කරනවා.

• අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා ගියා.

• මා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ අද රට ඉල්ලා 38 දෙනෙක් පොර කනවා - ජනපති කන්තලේ දී කියයි.

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දීය රජය සමඟ එක්ව ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරන බව පැවසූ ජනාධිපතිවරයා 2025 වසරේදී ජනතාවගේ ජීවන ගැටළුවලට විසඳුම් ලබා දෙමින් මුළුතැන්ගෙයි සටන නිමා කරන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (16) පෙරවරුවේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

එහිදී ජනතාවගෙන් ඉදිරිපත් වු ඉල්ලීම අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු ත්‍රිකුණාමලයට කර්මාන්ත කලාපයක් ලබා දීමටත්, වෙරුගල්ආරු පාලම ඉදිකරදීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා ගිය බවයි. වසර දෙකකට පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ අද රට ඉල්ලා 38 දෙනෙක් පොරකන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

2005 ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයා ලෙස මම ඉදිරිපත් වුණා. මම තරග කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟයි. එදා මට උතුරේ ජනතාව ඡන්දය නොදුන් නිසා මම පැරදුනා. මම මේ රට දියුණු කිරීමට “යළි පුබුදමු” නමින් වැඩසටහනක් ඉදිරිපත් කළා. මගේ පරාජය සමඟ එය අවසන් වුණා. මම 2019 ජනාධිපතිවරණයට තරග කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස සමග තරග කරන විට බදු අඩු කරන්න එපා කියලා මම අවවාදයක් ලබා දුන්නා.

2016 වසරේ මම අගමැතිවරයා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් ප්‍රකාශ කළා බදු අඩු කළොත් IMF සහාය ලැබෙන්නේ නැහැ කියලා. මා එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණ බදු අඩු කළා. IMF එක පැවසු අන්දමින්ම සහන ලබාදීම නතර කළා. එවිට රටේ ආර්ථිකය කඩා වැටුණා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වා රටේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්නය විසඳන්න ඩොලර් බිලියන 06ක් අවශ්‍යයි කියලා. වෙනත් එක පක්ෂක්වත් ඒ ගැන කථා කළේ නැහැ. සියලුදෙනා සියල්ල නොමිලේ ලබා දෙන බවට ජනතාවට විවිධ පොරොන්දු ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 මැතිවරණයේ දී අපි පරාජය වුණා.

අප ප්‍රකාශ කළ පරිදි 2022 වසරේ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රටේ ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් පෝලිම්වල සිටීමට සිදුවුණා. මම ඒ ගැන අලුතින් සිහිපත් කළ යුතු නැහැ. ඒ අනුව පොහොට්ටුවේ ආණ්ඩුව කඩා වැටුණා.

ඒ අවස්ථාවේ ආණ්ඩුව භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. මට ආණ්ඩුව භාර ගැනීමට සිදු වුණා. සජිත් හා අනුර එපා කියලා දිව්වා. ඔවුන්ගේ දේශප්‍රේමිත්වය එයයි.

වසර දෙකකින් පසුව මම මේ රටේ ආර්ථිකය ස්ථාවර කළ පසු දැන් 38 දෙනෙක් රට ඉල්ලමින් පොරකනවා. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ.

මම හැම පක්ෂයෙන්ම පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළා. නමුත් සජිත් හෝ අනුර මට සහාය ලබා දුන්නේ නැහැ. නමුත් බහුතරය මා සමඟ සිටියා. මහින්ද රාජපක්ෂ මහතා මට සහය ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන මහතා මට සහාය ලබා දුන්නා. පොදුජන පෙරමුණ ඇතුළු සියලු පක්ෂවල අය මට සහයෝගය දුන්නා. එවිට රාජපක්ෂ ආණ්ඩුව කියමින් මට චෝදනා කළා.

මෙය රාජපක්ෂ ආණ්ඩුවක් නම් මා සමඟ මේ වේදිකාවේ නාමල් රාජපක්ෂ සිටිය යුතුයි. ඔවුන් අවශ්‍ය අවස්ථාවේ කළ උපකාරය පිළිබඳ මම ස්තූතිවන්ත වෙනවා. මට බහුතරයක් තිබු නිසා මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එම වැඩසටහන සාර්ථක කර ගත්තා.

පසුගිය ආර්ථික දුෂ්කරතාව හමුවේ මේ රටේ ජනතාව විඳී දුක මම දන්නවා. ඇතැම් අය එක් වේලක් කුස ගින්නේ සිටියා. අදත් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ අප ගත් නිවැරදි ආර්ථික තීරණ නිසා රුපියල ශක්තිමත් වුණා. භාණ්ඩ මිල ක්‍රමයෙන් අඩු වුණා. නමුත් මම එයින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමේ වැඩපිළිවෙළ අප ලබන වසරේදී ක්‍රියාවට නංවානවා.

බොහෝ රටවල ආර්ථික අර්බුදය විසඳන්න වසර 05-10ක් ගත වුණා. ග්‍රීසියට වසර 8ක් ගත වුණා. රජයේ සේවකයන්ගේ 1/3 අයින් කළා. රාජ්‍ය සේවක වැටුප්  50%කින් අඩු කළා. මම එහෙම කළේ නැහැ. කෙසේ හෝ අප රටේ ආර්ථිකය ශක්තිමත් කළා. සජිත් හා අනුර පැනලා ගියා. දැන් කියනවා අපට බලය දෙන්න බදු බර අඩු කරන්නම් කියලා.

මේ රට ඉදිරියට ගෙන යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන හැර වෙනත් මාර්ගයක් නැහැ. ඒ නිසා අප එම වැඩපිළිවෙළ ආරක්ෂාකරගෙන ඉදිරියට යා යුතුයි. මම ඉදිරි වසර 05 සඳහා ජනවරම ඉල්ලා සිටින්නේ ඒ සඳහායි.

අප තරගකාරි අපනයන ආර්ථිකයකට ගොස් මුදල් ඉපැයිය යුතුයි. ඒ සඳහා අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. මේ ප්‍රදේශයේ දූරියන් වගාව සිදු කළ යුතුයි. මෙම ජනතාවගෙන් දූරියන් අරගෙන චීනයට යැවිය හැකියි. තායිලන්තය දූරියන් අපනයනයෙන් මිලියන 1,000ක් උපයනවා. කන්තලේ සම්පූර්ණයෙන් කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට අප ඊළග වසර 05දී කටයුතු කරනවා.

ඒ වගේම ඉන්දියාව සමග එක්ව ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කරනවා. ඒ වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. අප සාම්පූර් සූර්ය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. වෙළඳ හා ආයෝජන කලාප ඇති කරනවා. ඉන්දියා ආණ්ඩුව සහ ලංකා ආණ්ඩුව එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කරනවා. පසුගිය වසර දෙක තුළ රටේ ආර්ථිකය ගොඩනැගීමට අප ආරම්භ කළ වැඩපිළිවෙළ නිසා එම ගමන ඉදිරියට ගෙන යාමට ජපානය, ඉන්දියාව ඇතුළු රටවල සහාය හිමිව තිබෙනවා. අප මේ ගමන ඉදිරියට යා යුතුයි.

ඒ නිසා මුළුතැන්ගෙයි ප්‍රශ්නය විසඳීමට ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා,

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නවක වදය සංස්කෘතිය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත මේ වනවිට විට නවක වදය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ආර්ථික ඉංජිනේරුවරයෙක්, ආර්ථිකය ගැන මනා අවබෝධයක් ඇති පුද්ගලයෙක් බව පැහැදිලියි. ඒ සියලු සුදුසුකම් සපුරා තිබෙන මෙවර සිටින එකම  ජනාධිපති අපේක්ෂකයා වන්නේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ගෙන ගිය ආර්ථික මොඩලය හාවඩ් විශ්වවිද්‍යාලය පවා ඇගැයීමකට ලක්ව කර තිබෙනවා. අප්‍රිකානු රටවල් දියුණු කිරීම සඳහා එම ආර්ථික මොඩලය භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

රට අරාජිකත්වයට පත්වන විට දාල ගිය දාසලවත්, රට ගිනිදියපු දිසානායකලාවත් මේ රටට වැඩක් කර නැහැ. ඒ නිසා මේ රටට වැඩක් කළ රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ අප සියලු දෙනා කැපවෙමු කියා මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා,

2022 වසරේදී රටටම බලපාන ආර්ථික යුද්ධයක් ආරම්භ වුණා. රට දුර්භික්ෂයක් දෙසට ගමන් කරමින් තිබුණා. ඒ වෙලාවේ රට භාර ගන්න කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී අසුනක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉදිරිපත් වුණා. එයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායම සහයෝගය පළ කළා. දේශපාලනය කිරීම සඳහා වත් දේශපාලනඥයෙකුට ගමකට යාමට නොහැකි වූ අවස්ථාවක  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන අතර දේශපාලනඥයින්ට දේශපාලනය කිරීමේ අයිතියත් ආරක්ෂා කර දුන්නා.

සමහරු ආර්ථික ප්‍රශ්නයට විසඳුම් හෙව්වේ ජනතාව උද්ඝෝෂණවලට කැඳවලා , අරගල ඇති කරලා, ලේ වැගිරීම් ඇති කරලයි . තවත් සමහරු ආර්ථික ප්‍රශ්නය ට අවධානය යොමු කළේත් නැහැ. අද වේදිකාවේ වචන හැඩ කරන මිනිස්සු ආර්ථික අර්බුදය වෙලාවේ ජනතාවගේ ජීවිත ලස්සන කරන්න ඉදිරිපත් වුණේ නැහැ.ඔවුන් පැනලා ගියා. එය මතක තබා ගෙන 21 වැනිදා ඡන්දය පාවිච්චි කළ යුතුයි.  ජනාධිපතිතුමා කළ කැපවීමට කෘතවේදීත්වය දක්වන සියලුම ජනතාව අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා රොද බැඳගෙන සිටිනවා.

නැවත මේ රටේ ආර්ථිකය බිඳ වැටුණොත් එදා පලා ගිය කිසි නායකයෙක් වගකීම බාරගන්නේ නෑ. ඒ නිසා නැවත රට අරාජිකත්වයට යන තීන්දුවකට ජනතාව නොයන බව මට විශ්වාසයි.

උතුරු මැද පළාතේ හිටපු මහ අමැති පේෂල ජයරත්න මහතා,

අප සියළු දෙනා ජාතියක් ලෙස එක්ව සිටින්නේ සැප්තැම්බර් 21 වෙනිදාට මේ රට ගොඩ නැඟීමේ වගකීම යළිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දිමටයි. රටක ආර්ථිකය අස්ථාවර වූ විට අනිවාර්යයෙන්ම දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා. අපේ රටේ ඇති වූ එම තත්ත්වයේදී ඒ වගකීම භාර ගන්න සජිත් ප්‍රේමදාසවත්, අනුර කුමාරවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ වගකීම භාර ගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා නිසා මේ රට නැවතත් හුස්ම ගන්නවා.

එදා වගකීම ගන්න බෑ කියා පැන ගිය නායකයින් යැයි කියා ගන්නා ජනාධිපති අපේක්ෂකයින් අද කරළියට පැමිණ සිටිනවා. ඔවුන් අද 76 වසරක සාපයක් ගැන කතා කරනවා. ඔවුන්ට මතක් කළ යුතුයි මේ රටේ තිබුණ සාප මොනවද කියලා. එයින් එකක් තමයි තිස් අවුරුදු යුද්ධය සහ 1971 වසරේ සහ 1988/89 කැරළි දෙකයි. මේ විනාශයන් සිදු නොවන්නට මේ 76 වසර තුළ කළ දේවල් මීටත් වඩා වැඩියි. ඔවුන් කළ විනාශ ගැන ඔවුන් කතා නොකළත් මේ රටේ සංවර්ධනය කඩා කප්පල් කළ කැරළි දෙක සිදු කළේ අද මාලිමාවෙන් වැසී සිටින ජනතා විමුක්ති පෙරමුණ බව කිව යුතුයි. මෙවැනි විනාශයක් රටට සිදු කළ අනුර කුමාරලාට 76 වසරක ඉතිහාසය ගැන කතා කරන්න අයිතියක් නැහැ.

එවන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් හමුවේ වුවද මේ රට තුළ නිදහස් ‍අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය තුළින් අද ලොව පිළිගත් රාජ්‍යක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකි වී තිබෙනවා. එනිසා මේ රට ජාත්‍යන්තර තලයට ඔසවා තැබුවේ වසර 75ක ක්‍රියාකාරකම් බව පිළිගත යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපනය අමාත්‍යවරයාව සිටියදී ගෙනා ධවල පත්‍රිකාව අද ඒ අයුරින්ම ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ඉදිරිපත් කර තිබෙනවා. එදා ඔවුන් ධවල පත්‍රිකාවට එරෙහිව මේ සමාජය උසි ගැන්නුවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පාරට බැස්සුවා. පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළා. බස් ගිනි තිබ්බා. රාජ්‍ය දේපළ විනාශ කළා. එවැනි විනාශයක් සිදු කළ මේ අය වසර ගණනාවකට පසු අද අනුගමනය කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තීන් පමණයි. ඒ හැර ඔවුන්ට විකල්ප නෑ.

එසේ නම් අපටත් වෙනත් විකල්ප නෑ. සැප්තැම්බර් 21 වෙනිදාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවතත් මේ රට බාර දෙන්න ගෑස් ‍සිලින්ඩරයට ඔබේ ඡන්දය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, එක්සත් ජාතික පක්ෂ සේරුවාවිල ප්‍රධාන සංවිධායක හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිප් සමරසිංහ, නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආරියවතී ගලප්පත්ති , සමගි ජන බලවේගයේ සේරුවාවිල සංවිධායක නලින් ගුණවර්ධන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේරුවාවිල  ප්‍රධාන සංවිධායක ආනන්ද කස්තුරි ආරච්චි යන මහත්ම මහත්මීන්, හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read more