අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න

• IMF සහාය හිමිව තිබෙන්නේ මේ වන විට ආණ්ඩුව ක්රියාත්මක කර ඇති වැඩසටහන සඳහායි.

• සජිත් හා අනුර ළඟ බොරු පොරොන්දු මිස වැඩපිළිවෙළක් නැහැ - ජනපති වැල්ලවායේදී කියයි.

අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමිව තිබෙන්නේ මේ වන විටත් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බව පැවසු ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට පැමිණ බොරු පොරොන්දු දෙන සජිත්ට හෝ අනුරට රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් නොමැති බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

හම්බන්තොට කර්මාන්ත දියුණු වන විට එහි ආයෝජන කලාපයක් මෙම වැල්ලවාය ප්‍රදේශයට ද ලැබෙනවා. ඒ වගේම මොණාරගල අප පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අප ඉල්ලා සිටින්නේ මෙම වැඩසටහන්  ඉදිරියට ගෙනයාමේ ජනවරමයි.

මේ රටේ තරුණ තරුණියන්ට වසර 04ක් රැකියා හිමි වුණේ නැහැ. ලබන වසරේ රජයේ සහ පුද්ගලි අංශයේ ස්වයං රැකියා ලක්ෂයක් අප ඇති කරනවා. ඒ වගේම තවත් 50,000කට තමන් කැමති ආයතනයක පුහුණුවක් ලැබීම සඳහා මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා අප වැල්පාලමේ ගමන අවසන් කළයුතුයි. අපට තව ටිකක් ඉදිරියට යාමට තිබෙනවා. දැන් වැල්පාලම ටිකක් සෙළවෙනවා. සැප්තැම්බර් 21 වනදා ජනතාව සිය යුතුකම ඉටු කරනවා නම් අපට මේ වැල්පාලමේ ගමන සාර්ථකව අවසන් කළ හැකියි. වැල්පාලමෙන් එගොඩ වන දරුවාගේ අයිතිය ගැනීමට අද නතාලියාලා දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනාටම කථා කළ හැකි නමුත් වැඩ කරන්න බැහැ. ඒ නිසා මොවුන්ට රටේ අනාගතය භාර දෙන්න බැහැ. අපි ඉදිරියට යනවානම් IMF සහාය සමඟ ඉදිරියට යා යුතුයි. එම සහාය හිමිව තිබෙන්නේ මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බව ද කිවයුතුයි.

අප මේ ගැන පැවසු විට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසයි.

සජිත් ඕන දෙයක් නොමිලේ දෙන්න ලෑස්තියි. ඔහු ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. නමුත් අපි අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

මැතිවරණවලදී දිනන රැල්ල ආරම්භ වන්නේ මැතිවරණ ව්‍යාපාරය  අවසානයේදීයි.  ජනාධිපතිවරණ මෙහෙයුමට කල් ඇතිව සූදානම් වූ හැමෝම පරාදයි. අප මේ සටන පටන් ගත්තේ අවසන් මොහොතේ බව ඔබ දන්නවා. නමුත් අද වන විට මොනරාගල පමණක් නොවෙයි මුළු ලංකාවේම ජයග්‍රහණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබී අවසන් බව කිව යුතුයි.  

ඒ වගේම අද ජනපති සටනට ඉදිරිපත් වී සිටින 38 දෙනාගෙන් එදා මේ රට භාරගන්න ඉදිරිපත් වුණේ කවුද කියලා ජනතාව දන්නවා. ඒ එක්කෙනෙකුටවත් ‘බෑ’ කියපු දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා  ‘පුළුවන්’ කියලා භාර ගෙන කරලා පෙන්නලයි අද ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. කණ්ඩායමක් ලෙස අප එතුමාට සහය ලබා දීමට තීරණය කළේ එතුමාගේ ඒ ‘පුළුවන්’ කම දන්න නිසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මා අමාත්‍යංශය භාරගන්නා විට ගොවි ජනතාවට පොහොර තිබුණේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිධුරය භාර ගත් වහාම ගොවීන්ට පොහොර ලබා දීමට කටයුතු කළා. එම නිසා අද සහලින් රට ස්වයංපෝෂිත වී තිබෙනවා. වී ගොවීන්ට පමණක් නොවෙයි අනෙකුත් ගොවි මහත්වරුන්ට අප පොහොර සහනාධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැරට ගොස් නවීන කෘෂිකර්මාන්තය අප විසින් ගමට ගෙනවිත් තිබෙනවා. එහි ප්‍රතිඵල අද ගොවින් ලබාගෙන තිබෙනවා. අද ගොවීන්ට  මාසිකව  රුපියල් ලක්ෂ 4-5 ක් පමණ උපයා ගත හැකි ආකාරයට රජය වැඩපිළිවෙල සකස් කර දී ඇති බවද කිව යුතුයි.

අප අභියෝග භාරගතහොත් ඒ අභියෝගය ජයග්‍රහණය කළ යුතුයි. අප මේ ව විටජනතාවගේ ජීවන බර අඩු කරමින් සිටිනවා. ඇතැමුන් අද රට විනාශ කළ බවක් කියනවා. ඒ විනාශයට නම් සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම අනුර කුමාර දිසානයකද හවුල්කරුවන් බව මතක තබා ගත යුතුයි. එදා මේ රට බංකොලොත් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා ඔවුන් රුපියල් මිලියන 200ක දේපළ විනාශ කළා. අඩුම තරමේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමටවත් ඔවුන්‍ට අයිතියක් නෑ. රටක් පාලනය කිරීමට තියා තේ කඩයක් වත් පාලනය කරන්න බැරි ජනතා විමුක්ති පෙරමුණට ඒ පාඩම මේ ජනාධිපතිවරණයෙන් ලැබෙනවා. ඔවුන්ට පාඩම් ඉගැන්වීමට නොවෙයි, මේ රට ජයග්‍රහණය කරවීමට ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීමේ වගකීම ඉටු කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමා,

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙකුත් පක්ෂ ඔවුන්ගේ ජන රැළි සදහා වෙනත් දිස්ත්‍රික්ක වලින් සෙනඟ ගෙනල්ලා සෙනඟ පිරෙව්වාට, මෙම රැළියට වෙනත් දිස්ත්‍රික්ක වලින් කිසිවෙකු සහභාගී වෙලා නැහැ. මේ දිස්ත්‍රික්කයෙන් පිට කවුරුන් හෝ රැළියට සහභාගී වෙලා ඉන්නවා නම් ඒක ඔප්පු කරන්න කියලා මා බය නැතුව අභියෝග කරනවා.

2022 අරගල භූමියට සජිත් ප්‍රේමදාස මහතා ගිහින් සුසන්තිකා ජයසිංහට වඩා වේගයෙන් දිව්වා. අනුර කුමාර දිසානායක මහතා අරගල භූමියට ඇවිත් "අපි පාරේදි බලා ගමු" කියලා ගිහින් පැය දෙකක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කළා. සෑම නගරයකම ට්‍රාන්ස්පෝමර් සහ බස් පිච්චුවා.  ඒ අවස්ථාවේ රට භාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා කිව්වේ "මේ මරාලයට කර ගහලා අවුරුදු දෙකක් ගිහින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මට ජනාධිපති වෙන්න බැහැ" කියලයි.

සියලුම නායකයින් රට භාරගන්න බැහැ කියපු අවස්ථාවේ, රනිල් වික්‍රමසිංහ මහතා තනි මන්ත්‍රීවරයෙක් වුවත්, රට භාරගෙන අවුරුදු දෙකක කාලයක් තුළ කිරිපිටි පෝලිම් නැති කළා. ඉන්ධන පෝලිම් නැති කළා. විදුලිය ලබා දුන්නා. බෙහෙත් ලබා දුන්නා.

එදා යුද්ධය දිනපු නිසා මහින්ද මහත්තයාට ගරු කළා.  ආර්ථිකය ස්ථාවර කරලා පෝළිම් නැති කරලා දැමු වීරයා විදියට තමයි අද රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව ගරු කරන්නේ. එසේනම්, මේ මාසේ 21 වෙනිදාට ගෑස් සිලින්ඩරයට කතිරේ ගහලා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන්න කියලා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා,

එදා අර්බුදකාරී අවස්ථාවේ රට භාර ගන්නා විට බොහෝ දෙනා සිතුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ වගකීම ඉෂ්ට කළ නොහැකි වෙයි කියලයි. ඒ වගේම එතුමා අසාර්ථක වෙලා දාලා යයි කියලා හිතපු පිරිසක්ද හිටියා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ‍ඒ වගකීම භාර ගත් දිනයේ සිටම එතුමා සතු ජාත්‍යන්තර සබඳතා ඔස්සේ සහාය ලබා ගනිමින් ඒ වන විට ජනතාව මුහුණ දෙමින් සිටි ප්‍රශ්න එකින් එක විසඳීමට කටයුතු කළා. ඉන්ධන, ගෑස් පෝලිම් යුගය අවසන් කළා. ගොවීන්ට පොහොර ලබා දෙමින් යන්තමින් මේ රට හුස්ම ගන්න රටක් බවට පත් කළා. ආර්ථිකය ස්ථාවර කරන භාරදූර කටයුත්ත ආරම්භ කළේ ඉන් පසුවයි.

ඒ සඳහා එතුමාට සහාය  දුන් කණ්ඩාම ලෙස මේ වේදිකාවේ සිටින විවිධ පක්ෂ පාට නියෝජනය, ඉදිරි වසර පහ තුළත් එතුමාගේ නායකත්වය අපේක්ෂා කරනවා.ඒ යටතේ මේ රට නඟා සිටුවීමටත් ජන ජීවිතය තව දුරටත් ස්ථාවර කිරීමටත් හැකියාව ලැබෙනවා. අප නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිධුරයට පත් කළ යුතු වන්නේ ගෙවී ගිය වසර දෙක තුළ කළ දේ වලට පමණක් නොවෙයි. ඉදිරි වසර පහ තුළ එතුමා කළ යුතු කර්තව්‍යටයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය ගසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ රට දිනවන්න එක් වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා,

2022 වසරේ මාර්තු මාසයේ මේ රටේ ඉන්න හොඳ ව්‍යවසායකයෙන් වන ධම්මික පෙරේරා මට කිව්වා “මේ රට ගොඩ ගන්න බැහැ වැටිලා ඉවරයි”  කියලා පාන් ගෙඩිය ගන්න විල්බැරෝවෙන් සල්ලි ගෙනියන්න වෙයි කිව්වා. එහෙම කියද්දි  වෙල්ලස්සේ මැටි ගෙදර ජීවත් වෙන මිනිස්සු ගැන මට දුකක් ඇති වුණා. මගේ රටේ මිනිස්සු විනාශ වෙන්න යන්නේ කියලා හිතුණා.

අවුරුදු ගාණක් දේශපාලනය කරපු විපක්ෂ නායකතුමා එදා රට භාර ගත්තේ නැහැ. ඒ භාර ගත්තේ නැත්තේ රට නොවෙයි. ඒ භාර ගත්තේ නැත්තේ  ඔබේ මගේ ජීවිතයි. ඒ විදියට අපේ ජීවිත භාර නොගත් පිරිසත් ඉන්නවා. සජිත්  ප්‍රේමදාස විතරක් නොවෙයි, අනුර කුමාර, සරත් ෆොන්සේකා, ඩලස් අලහප්පෙරුම ද අපේ ජීවිත භාර ගත්තේ නැහැ. ඔවුන්  භාර ගත්තේ නැති ඔබේ අපේ ජීවිත  එදා භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. එසේනම් වෙල්ලස්සේ ජනාතව විදියට අපි රනිල් වික්‍රමසිංහට උදව් කරන එක අසාධාරණයි ද? මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නම් අපිත් වැඩ කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි. සෙවගල සීනි  කර්මාන්ත ශාලාව ගැන එක එක රැස්වීම් තියන උදවිය එක එක කතා කියනවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මම හොඳ ඇහුවේ පාර්ලිමේන්තුවේ ස.ජ.බේ. මන්ත්‍රීවරුන්ගෙන් බවත් කිව යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා දැනුමෙන් පරිනතයි. එතුමා විදේශ සම්බන්ධතාවලින් ඉහළයි. එහෙම තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.

සජිත් ප්‍රේමදාසට රටක් කරන්න බැහැ.  ඒ නිසා  ඔහු සමග ඉන්න ජනතාවට අපි කියන්නේ අපිට එකතු වෙන්න කියලයි. දිනන  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නේ අපි සමඟයි. සජිත්ට මම කියන්නේ “පචදාස” කියලයි.

හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා මහතා,

මොණරාගල කියන්නේ ජනාධිපතිවරුන් ජයග්‍රහණය කරා ගෙන ගිය දිස්ත්‍රික්කයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ දිස්ත්‍රික්කය ජය ගැනීමට කිසිම අභියෝගයක් නැහැ. හිටපු ජනාධිපතිවරුන් බිහිකළ නායකයන් ද අද මේ වේදිකාවේ සිටිනවා. එනිසා   ඔබතුමාව ලබන 21 වැනිදා මේ රටේ 09 වැනි විධායක ජනාධිපති  ධූරයට පත් කරන බව ඉර හඳ මෙන් විශ්වාසයි.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන  රැස්වීම්වල මහා සෙනඟක් සහභාගි වී සිටින බවට ඇතැම් නාලිකා  ඇස්බැන්දුමක් කරමින් සිටිනවා. මේ පළාතේ තිබූ ඔවුන්ගේ රැස්වීම්වලට රට වටෙන්ම සෙනඟ අරන් ආවා. මේ නාලිකාවල පෙන්වන විචිත්‍ර චිත්‍රපටවලට අහුවෙන්න එපා කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සිට යහපාලන ආණ්ඩුව දක්වාම ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ සහාය ලබා දුන්නා. අද ඔවුන් ගෙඹි දේශපාලනය ගැන කතා කරනවා. නමුත් හතර වටේටම පැන්නේ ඔවුන් බව කිව යුතුයි. අප හෘදසාක්ෂියට එකඟව රටට සහ ජනතාවට සේවය කරනවා. ජනතා විමුක්ති පෙරමුණට ලැජ්ජාවක් නැහැ. අප ඔවුන්ගේ ඝාතන, ජනතාව බියවද්දන දේශපාලනය අවසන් කළ යුතුව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර ගත්තේ එතුමාගේ නායකත්වය මේ රටට අවශ්‍යම මොහොතේයි. නැවතත් එතුමා ජනාධිපතිධුරයට අප පත් කරන්නේ එතුමා මේ රටට අත්‍යවශ්‍යම මොහොතේ බවත් කිව යුතුයි. සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. ඌව වෙල්ලස්ස ජනතාවත් එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට අවශ්‍යයි. ඒ සඳහා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතිරය සටහන් කරන ලෙස මම ඔබට මතක් කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල, හිටපු පළාත් සභා සභාපතිවරුන් වන දමයන්ත දොළේවත්ත, රෝහණ වන්නිආරච්චි, ආර්. එම්. රත්නවීර, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්තී මංගලිකා, වැල්ලවාය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිලන්ත බණ්ඩාර, මොනරාගල දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකාරක දිලුම් ජයසේකර යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more