රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායමයි

• සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය බේරා ගන්න.

• අනුර කුමාරව නිර්මාණය කළේ සජිත් ප්රේමදාසයි.

• සජිත් පාර්ලිමේන්තුවේ පැය ගණන්  දොඩවන විට - 2%ක් තිබු අනුර ඉදිරියට පැමිණියා.

• එක්සත් ජාතික පාක්ෂිකයනි,  සජිත්ට ඡන්දය දෙන්න එපා - ජනපති යාපහුවේදී කියයි.

රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම ආර්ථික අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායම බවත් සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැගු රටේ ආර්ථිකය බේරා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (04) පස්වරුවේ යාපහුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී එම ජනතාව මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ මෙරට ගොවි ජනතාව මිස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවන බවයි.

වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ද කඩිනමින් නිම කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මෙම වේදිකාව සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන වේදිකාවක් වී තිබෙනවා. මෙවන් වේදිකාවක් පිළිබඳ මා හෝ ඔබ කිසිදා සිතුවෙන් නැහැ. නමුත් මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් අපට එකම වේදිකාවකට පැමිණීමට සිදු වුණා.

අද තැපැල් ඡන්දය ආරම්භ වුණා. ඒ පිළිබඳ  සුබ ආරංචි තිබෙනවා. ඒ සමඟ මට ඡන්දය ලබාදුන් සියලු ජනතාවට මා ස්තුතිවන්ත වෙනවා. අද මෙවැනි මැතිවරණයක් පැවැත්වීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙකු සිතුවේ නැහැ.

අපට මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවුණේ අප සියලුදෙනා එකට එක්ව මේ රටේ ආර්ථිකය ස්ථාවර කළ නිසයි. එදා මේ රටේ ආර්ථිකය කඩා වැටී තිබු අවස්ථාවේ හොඳ වී අස්වැන්නක් ලබා ගැනීම පිළිබද මගේ අවධානය යොමු වුණා. එහිදී ඇමරිකාවට සහ ලෝක බැංකුවට කථා කර පොහොර ලබාගෙන ගොවි ජනතාවට ලබා දුන්නා. ගොවි ජනතාව  2023 මහ කන්නයේ දී හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඒ අනුව රටේ වී නිෂ්පාදනය ඉහළ යාමට පටන් ගත්තා. ඒ සමගම නැවත රටට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණා. මේ තුළින් තමයි අපි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආවේ. ඒ වෙනුවෙන් මම සියලු ගොවි ජනතාවට ස්තූතිවන්ත වෙනවා.

වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට මම කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කරවා.

ආර්ථික අර්බුදය හමුවේ රට බේරුවේ ගොවි ජනතාවයි. ඒ හැර ජනාධිපතිවණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා  නොවෙයි. ඔවුන් මේ රට ගොඩගන්න බැහැ කිව්වා. නමුත් අපි රටේ ආර්ථිකය ගොඩනගා දුන්නා. දැන් අප මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. අප ණය වී සිටි රටක්. බංකොළොත් වූ රටක්. පසුගිය වසර දෙකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපට ණය ලබා දී තිබු රටවල් 18ට කථා කර සහන ලබා ගනීමට අපට හැකි වුණා.

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර අපට නැවත ණය ගෙවිය හැකි ශක්තිය ලබාගත් විට අපට ඉදිරියට යාම සඳහා දැන් එම රටවල් සහාය ලබා දෙනවා. ඔවුන්ගේ ආධාර නැත්නම් අප වැටෙනවා. ‍ ඒ නිසා අප මෙම ස්ථාවරත්වය ආරක්ෂාකරගෙන ඉදිරියට යා යුතුයි.

නායකයෝ පැන ගිය විට රට ගොඩගත්තේ අපේ කණ්ඩායමයි. ඒ නිසා රට ඉදිරියට ගෙන යා හැකි හොදම කණ්ඩායම අප සමග සිටින බව කිව යුතුයි. ඒ සමඟ එක්සත් ජාතික පාක්ෂිකයන්ටද කරුණක් පැවසිය යුතුයි.

තමන්ගේ සැබෑ උරුමය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේ දී මා සමග එක්වලෙස මම කරුණෑගල පුරවරයේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 රට භාරගෙන රටේ ආර්ථිකය ගොඩනැගුවා. පසුගිය වසර දෙක තුළ රට ගොඩනැගීමට මා ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේ දී  මා ඉල්ලා සිටිනවා.

අප පක්ෂයේ සිටි නායකයන් අතරින් ඩී.එස්. සේනානායක මැතිතුමා හැර අනෙක් සියලු නායකයන් මම දැන සිටියා. ඒ පක්ෂයේ වත්මන් නායකයා මමයි. සජිත් ප්‍රේමදාස දැන් එක්සත්ජාතික පක්ෂයේ නොවෙයි. ඔහුට අනුර කුමාරව පරද්දන්න බැහැ. අනුර කුමාර දිසානායකව නිර්මාණය කළේ සජිත් ප්‍රේමදාසයි. හැමදාම මේ රටේ තරගය තිබුණේ දෙදෙනෙකු අතරයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ලෙස දෙදෙනෙක් අතර  තරගය පැවතුණා. ආණ්ඩුවේ කෙනා දැන ගන්න ඕන දෙවැනියෙකුට ඉඩ නොදෙන්න. ඒ වගේම අනෙක් පක්ෂ පාලනය කිරීමට විපක්ෂනායකයා දැන ගත යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂනායකවරයාව සිටියදී වෙන කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. එතුමා අගමැති වුණා. බණ්ඩාරනායක මැතිණිය විපක්ෂනායක වුණාම වෙන කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. එතුමිය විපක්ෂනායිකාව වුණා. සජිත් කළේ හැමදාම පාර්ලිමේන්තුවේ දොඩවන එකයි. ඒ නිසා 2%ක් තිබු අනුර කුමාර නැගිටලා ආවා. දැන් අනුර කුමාර සජිත්ට තර්ජනයක් වී තිබෙනවා. සජිත් දිනන්නේ නැහැ. සජිත්ට දෙන හැම ඡන්දයම අනුර කුමාරට සහායක් වෙනවා.  ඒ නිසා සජිත්ට ඡන්දය දෙන්න එපා කියලා මම සියලු එක්සත්ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැප්තැම්බර් 21 වනදා ගිහින් ගෑස් සිලින්ඩරය ළගින් කතිරය ගහන්න.

මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා,

සැප්තැම්බර් 21 වෙනදා  පැවැත්වෙන්නේ අප රටේ ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක්. මීට වසර දෙකකට පෙර බිඳ වැටී තිබූ රට නැවත ගොඩනැගුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය බව පැවසිය යුතුයි. එදා සිට මේ පැවති ගමන් මඟ  ඉතා සුවිශේෂී එකක් බව කිව යුතුයි.

අද ඡන්දය  ඉල්ලන  සජිත් - අනුර එදා රට ගිනි තිබ්බා. නමුත් ඒ ගිනිදැල්ල නිවා දැමීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තා. මේ රටේ අනාගතය සහ ස්ථාවර රටක් බිහිවන්නේ  රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපති වුවහොත්  පමණයි.

එදා බින්දුවෙන් පටන් ගත් මේ රටේ ආර්ථිකය ගොඩනැගීම ක්‍රමානුකූලව සිදුවුණා. ඒ නිසා අපි නැවතත් 2022 පැවති තත්ත්වයට යනවාද, ඉදිරියට යනවාද කියා ඔබ තීරණය කළ යුතුයි.

වත්මන් රජය මේ රටේ ගොවි ජනතාව අමතක කළේ නැහැ. මේ වසර ස්ථාවර ආර්ථිකයක් බවට රට පත් කිරීමට ගොවි ජනතාව  සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නා.  ඉදිරියේ පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

එනිසා ඊළඟ වසර පහ මේ රටට තීරණාත්මකයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩසටහන වන්නේ රටේ සමස්ත ජනතාවගේ ජීවන බර අඩු කිරීමටයි. මේ වැඩසටහන ඉදිරියට යනතෙක් මේ රට නැවත වැටෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ  නැවතත්  88 - 89 යුගයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ගෙයින් ගෙට ගොස් ජනතාව බිය ගන්වමින් සිටිනවා. නමුත් ඒ කිසිදු බිය ගැන්වීමකට යටත් නොවී ජනතාව රනිල් වික්‍රමසිංහ  මහතා ඉදිරියේ ඡන්දය භාවිතා කරන බව පැවසිය යුතුයි.

රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා

අපේ දේශපාලන භූමිකාව තුළ රාජ්‍ය නායකයන් තිදෙනෙක් බලයට පත් කරන්න සහාය ලබා දුන්නා.  අද නැවත වරක් මේ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා අප එකතු වී සිටිනවා.

එදා අන්තවාදී දේශපාලන කඳවුරු රට ගිනි තිබ්බා. එක් මන්ත්‍රීවරයෙක් ඝාතනය කලා. මැති ඇමතිවරුන්ගේ  නිවාස ගිනි තිබ්බා. එපමණක් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පවා ගින තිබ්බා.

එතුමා මේ රටේ අනාගතය භාරගෙන රටට නැවත වරක් හුස්ම ගැනීමට අවස්ථාව උදාකර දුන්නා.  එදා මේ රටට සංචාරකයන් ආවේ නැහැ. අද ලෝකයේ හොඳම ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ වගේම ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා මේ රට නිවැරදි ස්ථානයකට ගෙනාවා. අප පක්ෂ පාට භේදයෙන් තොරව රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙමු.

රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා,

අද සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වේදිකාවල බොරු පොරොන්දු දෙමින් සිටිනවා. නමුත් එතුමා අරගල භූමියේදී දුවපු දිවිල්ල මතකද? එදා මේ රට ගිනිගන්න වෙලාවේ අග්‍රාමාත්‍ය ධුරය බාරගන්න  කොන්දේසි දැම්මා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි විරහිතව රට ගොඩනැගීමේ අභියෝගය භාරගත්තා

අද මෙරට සිටින්නේ කඳවුරු දෙකයි. එකක් පුළුවන් කියන කඳවුර. අනෙක් කඳවුර බෑ බෑ කියන කඳවුරයි. අද මේ වේදිකාව ඉදිරියේ සිටින්නේ පුළුවන් කියන කණ්ඩායමයි.මේ කඳවුරට ‘පුළුවන්’ කියලා ගත වූ අවුරුදු දෙක තුළ ජනාධිපතිතුමා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ බොරු කියමින් අද ජනතාව මුලා කරනවා. උමාඔය හිලක් බව කියමින් එම ව්‍යාපෘතිය අවසන් කරන්න දුන්නේ නැහැ. අද ඔවුන්ට කියන්න දේවල් නැහැ. එදා අරගලේදී ඒ අන්තවාදී දේශපාලන ක්‍රියාකාරීන් 88 -89 අපට නැවත වරක් මතක් කර දුන්නා. ගෙවල් ගිණි තිබ්බා. අපේ මන්ත්‍රීවරුයෙක් මහමඟ මරා දැමුවා රට මහා විනාශයට ගෙන ගියා.

අප රට ඉදිරියේ තිබෙන අනතුර හඳුනාගත යුතුයි. ඒ අනතුරින් රට බේරාගත යුතුව තිබෙනවා. එම නිසා ලබන 21 වැනිදා ගෑස් ටැංකිය ඉදිරියේ ඡන්දය භාවිතා කර මේ රට බේරා ගනිමු.

පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා මහතා,

එදා අරගලය වෙලාවේ ජනාධිපති ඉල්ලා අස්වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ආත්මවිශ්වාසයකින් යුතුව මේ රට භාරගත්තා. ඒ නිසා තමයි අප කණ්ඩායමක් විදියට පක්ෂ පැත්තකින් තබා එතුමාට සහාය  ලබා දෙන්නේ.

අද වන විට බංග්ලාදේශ රජයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්න විදිහක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගත්තා නම් අපේ රටත් ඒ තැනට තල්ලු වෙනවා. නමුත් එතුමා මේ රට සහ ජනතාව ආරක්ෂා කළා.

පෝලිම් යුගයක සිටි ජනතාවට ඉන්ධන, ගෑස්, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඛන්ඩව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. එනිසා අප සියලු දෙනා එළඹෙන 21 වැනිදා එතුමා වෙනුවෙන් කෘතගුණ සලකමු.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා

රනිල් වික්‍රමසිංහ මහතා එදා රට කඩාවැටී තිබූ අවස්ථාවේ රට ගොඩනැගීමේ වගකීම බාරගෙන සිය රාජකාරිය නිසි පරිදි ඉටු කළ නායකයෙක්. රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනගන වැඩසටහනට එදා විපක්ෂය කිසිදු සහායක් ලබාදුන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කලේ උද්ඝෝෂණ, වැඩවර්ජන පමණයි. ඔවුන් රජය ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තා.

රට නැවත යථා තත්ත්වයට පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂ බේදයකින් තොරව අද එකතු වී සිටිනවා. මේ රට නැවත වැටෙන්න දෙන්න බැහැ. ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ බබලවන්න අවශ්‍යයි.

එනිසා මේ දින කිහිපය තුළ ගමින් ගමට ගොස් අපේ මතය ප්‍රකාශ කරන්න. ඉදිරි ජනාධිපතිවරණය පක්ෂයක්, පුද්ගලයෙක් දිනවන මැතිවරණයක් නෙමෙයි. එනිසා රට දිනවන සටන ජයග්‍රහණය කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ඒ සටන අපට ජයගන්න බැරි වුනොත් සැප්තැම්බර් 21 දිනෙන් පසු නැවත මේ රට පෝලිම් යුගයකට තල්ලු වීම වැළැක්විය නොහැකියි.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්  මහතා ,

අද මේ රටේ සිටින්නේ කණ්ඩායම් දෙකයි. එකක් මේ රට  ගොඩනැගීමට සහය දෙන කණ්ඩායම සහ රට ඇදවැට්ටවීමට කටයුතු කරන කණ්ඩායමයි.

එනිසා මේ රට ගොඩනැගූ ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට  සහාය ලබාදිය යුතුයි. එසේ නොමැති නම් නැවතත් පරණ යුගය ඇති කරන කණ්ඩායම් වලට සහය දෙනවාද?

අද ඇතැමුන් සමාජ වෙබ් අඩවිවලින් දිනල ඉවරයි. නමුත් ලබන 21 වෙනදා මේ රටේ නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසිය යුතුයි.

එදා යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ ජනතාව කෘතගුණ සැලකුවා. ඒ වගේම මීට වසර දෙකකට පෙර මෙරට භාරගෙන රට ගොඩනැගූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අප කෘතගුණ දැක්විය යුතුයි.

මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක, හිටපු නියෝජ්‍යා අමාත්‍ය සාරානාත් බස්නායක, හිටපු අමාත්‍ය එස්. බී. නාවින්න,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරා පියසීලි රත්නායක, යාපහුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක අරුණ අඹහැර, කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලක්ෂ්මන් වෙඩරුව යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්  ඇතුළු විශාලි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more