වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

• 75 වසරක් රට ගොඩනැගීමට හිටපු පාලකයන් විශාල වැඩකොටසක් ඉටු කළා.

• අනුර අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාල ඇතුඵ පාසල් ඉදිකෙරුණේ නිදහසින් පසුවයි.

• රටේ ආර්ථිකය බිද දමා ජනතාව පාරට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ - ජනපති මාතලේ විජයග්‍රාහී ජන රැලිය අමතමින් අවධාරණය කරයි.

ඔවුන්ට චාන්ස් එකක් ලැබුණා, අපට චාන්ස් එකක් ලැබුණේ නැහැ කියමින් වෛරය පතුරවමින් දේශපාලනය කරන ජාතික ජන බලවේගය  වසර 75ක් පාලකයන් රටට කිසිවක් නොකළ බවට චෝදනා කළද අනුර දිසානායක අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විදයාලය ඇතුළුව, 1948 පැවති  3,188 වන පාසල් හා පිරිවෙන් සංඛ්‍යාව 11,300ක් දක්වා මේවන විට වර්ධනය වී ඇති බවත්, එදා පැවති එක් විශ්වවිද්‍යාලය වෙනුවට විශ්වවිද්‍යාල 17ක් අද රට තුළ පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමඟින් වාර්ෂිකව එම්බීඑස් උපාධිධාරින් 1278කුත්, ඉංජිනේරු උපාධිධාරින් 1,600ක් බිහි කෙරෙන බවත් 1950 වසරේ ඩොලර් මිලියන 470ක් වු මෙරට අපනයන ආදායම අද ඩොලර් බිලියන 16ක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා 1948 මෙරට වාරි කර්මාන්තය යටතේ අස්වැද්දු අක්කර අට ලක්ෂ හැට පන්දහස වෙනුවට අද අක්කර විසි ලක්ෂයක් යල මහ දෙකන්නයේ අස්වද්දන බව ද සඳහන් කළේය.

එබැවින් බොරු කියමින් සහ ජනතාව මුලාකරමින් දේශපාලනය නොකරන ලෙස අනුර කුමාරගෙන් සහ සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා රටේ ආර්ථිකය බිඳ දමා ජනතාව පාරට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (14) පස්වරුවේ මාතලේ නගර මධ්‍යයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලියට එක්වූ ජනාධිපතිවරයාව ජනතාව මහත් හරසරින් පිළිගත් අතර සාම්ප්‍රදායනුකූල චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිවරයා වෙත ගෞරවය පුද කිරීමද සිදු කෙරිණි.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද විශාල ජනකායක් මෙහි රැස්ව සිටිනවා. මේ මාතලේ ජයග්‍රහණය කරවන ජනතාවයි. මාතලේ දේශපාලනය ගැන කථා කරන විට කණ්ඩායම් දෙකක් ගැන සඳහන් කළ යුතුයි. එහි එක් කණ්ඩායමක් වූ ටී.බී. තෙන්නකොන් මැතිතුමා සහ එතුමාගේ කණ්ඩායමේ බලකොටුව බවට එදා දඹුල්ල පත් වුණා. එතුමාගේ වත්මන් නියෝජනය අද  මෙම ස්ථානයේ සිටිනවා.

අනෙක් පැත්තෙන් බර්නඩ් අළුවිහාරේ මැතිතුමා සහ ඇලික් අළුවිහාරේ මන්ත්‍රිතුමා සිටියා. ඇලික් සහ මම ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා. ඇලික් හොද එක්සත් ජාතික පාක්ෂිකයෙක්. අද ඔහු ජිවතුන් අතර සිටියානම් සජබට කොස්සෙන් ගහලා පන්නනවා.

මේ මැතිවරණයේදී අපි ඡන්දය පාවිච්චි කළ යුත්තේ ඇයි, ජනවාර්ගික ප්‍රශ්න හෝ ආගමික ප්‍රශ්න මෙවර නැහැ. එසේනම් 2022 වසරේ  පැවති ආර්ථිකය කඩා වැටීමෙන් පසු ගොඩනැගෙන රටේ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතා මෙම ඡන්දය භාවිතා කළ යුතුයි. ඔබගේ අනාගතය සමඟ කාටවත් අවස්ථාවක් ලබාදීමට ගොස් අමාරුවේ වැටෙනවද, නැද්ද කියා ඔබ තීරණය කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැන ගියා. හරියට නාලන්දාවත්තේ සහ ගන්කන්දවත්තේ නිවාස භාගෙට හදලා පැනලා ගියා වගේ. මම එම නිවාස 90 ඉදිකර අවසන් කර දෙන බවට මෙහිදී සහතික වෙනවා.

ඒ කාලයේ හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායකගේ සද්දයක්වත් තිබුණේ නැහැ. හර්ෂ ද සිල්වා ඇත්ත කිව්වා. අපට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලා ඔහු එදා  කිව්වා. කවුරුත් මේ අභියෝගය භාර නොගත් අවස්ථාවක මම එම අභියෝගය භාරගත්තා. පළමු වතාවට මෙරට අගමැතිකම හිඟමනේ ගියා. ඒක ගිනස් වාර්තාවක්. මෙවන් පිරිසකට ජනතාවගේ අනාගතය භාර දිය යුතුද, මේ දෙන්නට රට භාරදී අනාගතය ගැන චාන්ස් එක්ක ගන්න ගොස් අමාරුවේ වැටෙන්න සූදානම්ද කියා ඔබ සිතිය යුතුයි.

සෑම පක්ෂයකම කණ්ඩයම් අප සමඟ එක් වුණා.අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා. මම IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියා මහත්මියට කථා කර එම සහාය ලබා ගත්තා. ඔබේ රටේ ණය බර වැඩියි එය ආර්ථිකයකට දරා ගන්න බැහැ, රටේ ආර්ථිකය කැඩෙනවා කියා එතුමිය ප්‍රකාශ කළා.

රාජ්‍ය ණය 120%ක් වූ විට මොකක්ද වෙන්නේ, සාමාන්‍ය ජනතාවට නම් නිවස විකුණලා යන්න වෙනවා. නමුත් අපි නිවැරදි කළමනාකරණයකින් රටේ ආර්ථිකය නැවත ඉදිරියට ගෙන ආවා. එහිදී අසීරු තීරණ ගැනීමට සිදු වුණා. බදු වැඩි කිරීම් හමුවේ ජනතාව විදි දුක මම දනන්වා. නමුත් අපි ක්‍රමයෙන් ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. ආදායම් ඉහළ යාමත් සමඟ රුපියල ශක්තිමත් වුණා. ඒ සමඟ භාණ්ඩ මිල ක්‍රමයෙන් අඩු වුණා. ජනතාව යම් සහනයක් ලැබුණා. නමුත් අප තවදුරටත් ජීවන බර සැහැල්ලු කළ යුතුයි. මම 2025 වසර ඉලක්ක කරගෙන තිබෙන්නේ ඒ සඳහායි.

අපි ජනතාවට අස්වැසුම ලබා දුන්නා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ දීමනා වැඩි කළා. 2025 වසරේදී තවත් වැටුප් වැඩි වෙනවා. ඒ වගේම බදු සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා.

දැන් අපට විදේශ සංචිත තිබෙන නිසා වාහන ආනයනයට පනවා තිබු තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අප ඉදිරියේ දී ජනතාවට තවත් සහන ලබා දෙනවා. මගේ ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවන වියදම  සහ බදු බර තවත් සැහැල්ලු කිරීමයි. එය ක්‍රමානුකූලව කළයුතුයි.

ආර්ථික අර්බුදය හමුවේ ග්‍රිසිය රාජ්‍ය සේවයෙන් 1/3ක් පමණ ඉවත් කළා. වැටුප 50%කින් පමණ අඩු කළා. මම එවන් තීරණ ගත්තේ නැහැ.

අද අපි විධිමත් සැලැස්මක ඔස්සේ රට ඉදිරියට ගෙන යනවා. අප ලබන වසරේදී රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා ලක්ෂයක් තරුණ තරුණියන්ට උදා කර දෙනවා . ඒ වගේම තරුණ තරුණියන්ට විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා.

අපට අවශ්‍ය මේ රට දියුණු කිරිමටයි. ඒ සඳහා කෘෂිකර්ම නවීකරණ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ මේ මාතලේ සහ දඹුල්ල දියුණු කෘෂිකාර්මික ප්‍රදේශ බවට පත් කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා.

ඒ වගේම තේ, කෝපි, කොකෝවා වගාව ප්‍රවර්ධනය කරනවා. නව කර්මාන්ත ආරම්භ කරනවා. අපි යන පාර හොදයි. අපි මේ පාරේ යමු.

අද හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක කියන විදියට 2025 අයවැය හැදුවොත් ඩොලරයේ අගය රුපියල් 400ක් වෙනවා. IMF ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම නිසා එම සහාය ඉවත් කළහොත් ඩොලර් එක රුපියල් 500ක් වෙනවා. දැන් තිබෙන මුදල් ඉවත් කරනවලු. එවිට තවත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉන්දියාව මෙය සිදු කර අසාර්ථක වුණා.

අනුර කුමාර මට විවාදයකට එන්න කිව්වා. මම කිව්වා ඒ සඳහා මම සූදානම් නමුත් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා මට පැහැදිළි කරන්න කියලා. අනුර කුමාර කියනවා අපනයන ආර්ථිකයක් කියලා, සුනිල් හදුන්නෙත්ති කියනවා ආනයන ආර්ථිකයක් කියලා. දැන් දවස් තුනක් ගත වී තිබෙනවා. අනුරගේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ ඔහු එය පැහැදිලි කරන තුරු මම බලාගෙන සිටිනවා.

අය වැය පරතරය පියවා ගැනීමට මුදල් හොයා ගන්නේ කොහොමද කියා ඇසු විට කියනවා අපි හොරකම් කළ අයගෙන් සල්ලි ගන්නවලු. තාම හොරු අල්ලගෙන නැහැ. 2015-2020 අපි හොරු හොයන්න ජනතා විමුක්ති පෙරමුණට භාර දුන්නා.  අපි ඔවුන්ට ලිපි ගොනු 400ක් භාර දුන්නත් ජනතා විමුක්ති පෙරමුණේ ආනන්ද විජේපාල බැලුවේ ලිපි ගොනු 15යි. හොරු දැනගත්තට පස්සේ ඔවුන් අල්ලගෙන නඩු දැමිය යුතුයි. නඩු අහලා අවසන් වන විට වසර 05ක්, 06ක් ගත වෙනවා. එම මුදල් 2025, 2026 දී ගන්න බැහැ. ඉතින් අනුර බොරු කියනවා.

දැන් කියනවා රේගුවෙන් තීරුබදු වැඩියෙන් අය කර ගන්නවා කියලා. නෝනිස් මහත්තයා කියලා තිබෙනවා බිලියන 1500ක් හොයලා දෙනවා කියලා. සම්පූර්ණයෙන් බිලියන 4,000ක් අපට ලැබෙනවා. 2025 ඊට වඩා ගන්න බැහැ. අපිත් උත්සාහ කරන්නේ උපරිමය ලබා ගැනීමටයි. ඔවුන්ගේ අයවැය හිඟය අනුව කෝටි 40,000ක් සෙවිය යුතුයි. ණය ලබා ගන්න පුළුවන් රුපියල් කෝටි 10,000ක් පමණයි. ඔවුන් කියන විදියට කරන්න ගියොත් රටම විකුණන්න වෙනවා. මේ ආර්ථික ප්‍රශ්නයක් ගැනයි අපි කථා කරන්නේ. උන් හොරු අපි හොරු නෙවේ කියනවා, උන්ට චාන්ස් එකක් ලැබුණා, අපට ලැබුනේ නැහැ කියනවා. එසේ කියමින් වෛරය පතුරවනවා. අවුරුදු 75ක් මොකක්ද කළේ අහනවා. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මොකුත් කළේ නැහැ කියලා කියනවා. මේ ඡන්දය ලබා දෙන්නේ සාමාන්‍ය ජනතාවයි.

1948 පාසල් 3,188යි, අද පාසල් හා පිරිවෙන් 11,300ක් තිබෙනවා. එදා ශිෂයන් ලක්ෂ 13යි. අද ලක්ෂ 44යි. ලැජ්ජා නැතිව කියනවා මොකුත් කළේ නැහැ කියලා. එදා රජයේ විශ්වවිද්‍යාල එකයි තිබුණේ අද විශ්වවිදයාල 17ක් තිබෙනවා. අනුර අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ගොඩනැඟිලි ලබා දුන්නේ මමයි. අද එම්බීඑස් උපාධිධාරින් 1278කුත්, ඉංජිනේරු උපාධිධාරින් 1,600කුත් වාර්ෂිකව බිහි වෙනවා.

1950 වන විට අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 470යි, අද ඩොලර් බිලියන 16යි. වාරි කර්මාන්තය යටතේ 1948දී අක්කර අට ලක්ෂ හැත්තෑ පන්දහසක් අස්වැද්දුවා. අද අක්කර විසි ලක්ෂයක් අස් වද්දනවා. ඒ නිසා අනුර කුමාර බොරු කියලා ඡන්ද ගන්න බලනවා. ඇත්ත කියන්නේ නැහැ. ඔවුන් චාන්ස් එකක් ඉල්ලනවා. මෙහෙම බොරු කියන අයට ආණ්ඩුව භාර දීලා තමන්ගේ අනාගතය විනාශ කර ගන්නවාද, නැද්ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

ඒ නිසා තරුණයන් නොමග යවන්නේ නැතිව අත්ත කියන්න කියලා මම සජිත්ට හා අනුරට  කියනවා. අද සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් තිබෙනවා. එකක පොහොර සහනාධාරය දෙනවා කියනවා අනෙක් එකේ ඒ ගැන සඳහනක් නැහැ. සජිත් හැමදේම නොමිලේ දෙනවා කියනවා. සජිත් දැන් නොමිලේ දෙන්න තිබෙන්නේ හිසරදය විතරයි. තමන්ගේ අනාගතය මෙවන් පිරිසකට භාරදිය යුතු නැහැ. ඒ නිසා සැප්තැම්බර් 21වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගහන්න කියලා මම ජනතාවට කියනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

මැද මුලනේ ලැගලා හිටපු පොහොට්ටුවේ සභාපතිතුමා සජිත් ළඟට ගියා. එතුමා හය වතාවක්ම පාර්ලිමේන්තුවට පැමිණියේ පිං මන්ත්‍රීකමක් අරගෙනයි.එතුමත් එක්ක සමගි ජන බලවේගයට යන්න කවුරුත් නෑ. නමුත් තලතා අතුකෝරල සමග රත්නපුරේ විශාල ජනතාවක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට පැමිණ තිබෙනවා. විවිධ දේශපාලන කඳවුරුවල සිටි අපි රට වෙනුවෙන්, රටේ ආර්ථිකය වෙනුවෙන් අද එක වේදිකාවට පැමිණ සිටිනවා. මාතලේ ආසනයේ විශාල ජනතාවක් අද මේ භූමියට පැමිණ තිබෙනවා. මේ සෙනඟ දකින විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ මාතලේ විජයග්‍රහණය පැහැදිලි වෙනවා. ‘ගෑස් සිලින්ඩරය’  22වැනිදා වන විට මේ රටේ  ජයග්‍රාහී සලකුණ බවට කිසිම සැකයක් නෑ.

සජිත් ප්‍රේමදාසත් කියනවා තමන්ගේ කණ්ඩායම දෙස බලන්න කියලා. රටේ අර්බුදය තිබෙන වෙලාවෙත් සජිත්ගේ ඔය කණ්ඩායම හිටියා. නමුත් එදා ඔවුන් රට භාර ගත්තේ නැහැ. මේ වනවිට අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. දැන් සජිත්ලා බොරුවට රට ඉල්ලනවා. කණ්ඩායමක් ගැන කයිවාරු ගහනවා.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 22 වෙනිදාට පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ. එතුමා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු කරන්නේ 2025 වසරේ අයවැය සම්මත කර ගැනීමෙන් පසුවයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම අයවැයෙනුත්  ස්ථිර කරල තමයි එතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ.  වෙනත් කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙක් 2025 අයවැය ගැන කිසි දෙයක් කතා කරන්නේ නෑ. ඒ නිසා තමන්ගේ ඡන්දය අපතේ යවන්න එපා.

අද ඡන්දයට ඇවිත් ඉන්න සමහර බබාලා පාර්ලිමේන්තුවට පත් කළේ මගේ අත්සන යොදලයි. පොහොට්ටුවේ නායකයින්ට ගෙදර යන්න වුණේත් ඒ බබාලා නිසයි. බබාලට තව දේශපාලනය ඉගෙන ගන්න තව කාලය තිබෙනවා. ඒ නිසා කිසිදු ඡන්දයක් අපතේ යාමට නොදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීමට එකතු කරන ලෙස ඔබ සැම ගෙන් මා ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

වසර 75 ක් පුරා පරම්පරා තුනක, බෙදී වෙන් වී දේශපාලනය කළ දේශපාලන නායකයින් අද එක වේදිකාවකට පැමිණ සිටිනවා. 2022 වසරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අප භාර දුන්නේ බරපතල වගකීමක්.

භූමිතෙල් බෝතලයක් ගන්න පැය 48ක් පෝලිමේ හිටියා. පොහොර මිටියක් ගන්න රුපියල් 40,000 ක් ගෙවන්න සිදු වුණා. කිලෝ මීටර් ගණන් දිග ඉන්ධන පෝලිම්වල දවස් ගණන් ඉන්න වෙන කොට, රට බාරගන්න කවුරුත් හිටියේ නැහැ. ඒ වගකීම තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා  එදා භාර ගත්තේ.

එදා ජනතාවගේ ද්වේශය අවුස්සමින් උද්ඝෝෂණවලට, වැඩ වර්ජනවලට කැඳවූ සමහර දේශපාලන පක්ෂ ජනතාවගේ  ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වුණේ නැහැ. එම දේශපාලන කණ්ඩායම් අද වේදිකාවල සුරංගනා කතා කියමින් සිටිනවා. ඔවුන් රට කරන, රටේ ආර්ථිකය හදන ආකාරය ගැන වේදිකාවල කතා කරනවා.  නමුත් රට ගොඩ නඟන්න අවශ්‍ය වූ අවස්ථාවේ ඔවුන් පැන ගියා.

අපේ   රටට යහපතක් කළත්  හොඳක් අහපු දේශපාලන නායකයෙක් මේ රටේ  හිටියේ නෑ. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා මේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නා. පසුව ඊළඟ මහ මැතිවරණයේදී ජනතාව එතුමාව ගෙදර යැව්වා. මේ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ . අනගාරික ධර්මපාලටත් ජනතාවගෙන් හොඳක් අහන්න ලැබුණේ නෑ. මේ රටට හොඳක් කරපු කිසිදු නායකයෙක් ජීවතුන් අතර සිටියදී ජනතාවගෙන් හොඳක් ඇහුවෙ නෑ. මිය ගියාට පසුව මල්මාල දාලා ඒවා මතක් කළා පමණයි. නමුත් ආර්ථික අර්බුදයෙන් රට බේරා ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට  ඒ දේ වීමට අප කිසි සේත්ම ඉඩ දෙන්නේ නැහැ. මෙවර ජනාධිපතිවරණයේදී කෘතවේදීත්වයේ හා රටේ බලාපොරොත්තුවේ මනාපය ලබාදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා,

මාතලේ අපි සැප්තැම්බර් 22 වැනිදා සුභ නැකතින් කිරිබත් කන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති ධූරයට පත් කරලයි. මාතලේ කියන්නේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. සුළු අපනයන භෝග නිෂ්පාදනයේ ප්‍රමුඛත්වයක් දරන්නේ මාතලේ දිස්ත්‍රික්කයයි. එමඟින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයෙනවා. මේ දිස්ත්‍රික්කයේ සිටින වතු ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා මේ වන විටත් වැටුප් වැඩිකිරීමේ තීරණය ගෙන හමාරයි.

පාට පක්ෂ නැති නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමින් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. එතුමාගේ ජයග්‍රහණය නැවතත් මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තබනවා.  පසුගිය වසර දෙකක කාලය තුළ එතුමා සිදු කළ ආර්ථික විප්ලවය නිසා මේ රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකිවුණා.  රාජ්‍ය ආයතනවල ආදායම් වැඩි කිරීමට එතුමා කටයුතු කළා. ලබන වසරේ සිට ලක්ෂ ගණනින් රැකියා අවස්ථාවන් ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම  ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් රුපියල් විසි පන්දහසකින් වැඩි කිරීමටත් කටයුතු සූදානම් කර අවසන්. ඉදිරි වසර පහේදී එතුමාගේ ආර්ථික දැක්ම අනුව මේ රට නොවැටෙන ආර්ථිකයක් දක්වා ගෙන යා හැකියි. එම නිසා අප එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ යුතුයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය,

මා වසර විස්සක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අත් හැරියේ ඩීල් දේශපාලනයක් නැති නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ "පුළුවන්" කියලා හිතන නායකයෙක්. ලංකාවට අර්බුදයක් පැමිණි සෑම අවස්ථාවකම පාට පක්ෂ භේදයකින් තොරව ඉදිරියට පැමිණ විසඳුම් ලබාදුන් එක ම නායකයාත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ඔස්තාර්ලා  කිව්වා රනිල් වික්‍රමසිංහට අර්බුදය විසඳන්න බැහැ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නේ නැහැ කියලා. ඒ වගේම එතුමා කවදාවත් ජනාධිපතිවරණය පවත්වන්නේ නෑ කියලත් කිව්වා. විපක්ෂය නෑ, බෑ  කියූ සියලු දේ කරලා පෙන්නපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ   ජනාධිපතිතුමායි. ජනතාව වෙනුවෙන් සියලු කැපකිරීම් කළ එතුමා  සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස නැවත පත් කර ගමුඉකියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් , ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more