ජවිපෙ පවසන පරිදි චෝදනා ලැබූවන් වරදකරුවන් කිරීමට නම්, අධිකරණ බලයත්, නඩු පැවරීමේ බලයත් ඔවුන්ට පවරාගන්න සිදුවෙනවා

• රජයට කළ හැක්කේ නීතිමය ක්රියාදාමයන් ආරම්භ කිරීම මිස විනිශ්චය ලබාදීම නොවේ.

• යහපාලන සමයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු මෙහෙයවූයේ ජවිපෙයි.

• දූෂණය පිටුදැකීම සඳහා සටන් පාඨ පමණක් ප්‍රමාණවත් නෑ: අප දැනටමත් දූෂණය පිටු දැකීමට ක්‍රියාමාර්ග ගෙන අවසන්- ජනපති.

තමන් බලයට පත් වූවහොත් දූෂණ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයන් වරදකරුවන් කරන බවට ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ ප්‍රකාශ කර සිටින නමුත්, එවැන්නක් සිදු කිරීමට නම් නඩු පැවරීම මෙන්ම අධිකරණ බලතල අත්පත් කර ගැනීමට ඔවුන්ට සිදුවන බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද වෙනස් කිරීම සිදුවන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පවතින නීතිමය පසුබිම තුළ රජයට කළ හැකි වන්නේ නීතිමය ක්‍රියාදාමයන් ආරම්භ කිරීම මිස විනිශ්චයන් ලබා දීම නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන් අග්‍රාමාත්‍ය ධූරය දැරූ යහපාලන සමයේදී දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු මෙහෙයවූයේ ජනතා විමුක්ති පෙරමුණ බවද සිහිපත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (07) කොළඹ මැන්ඩරීනා හෝටලයේ පැවති මුස්ලිම් සිවිල් සමාජ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම දූෂණය පිටු දැකීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදු කළ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් යොමු කළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙරට වංචාව සහ දූෂණයට එරෙහිව තමන් ප්‍රමුඛ රජය අඛණ්ඩව ගෙන යන උත්සාහයන් පිළිබඳ පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන සමඟ රජය සහයෝගයෙන් කටයුතු කරන බවත් පැවසීය.

එසේම මේ වන විටත් දූෂණය පිටු දැකීම වෙනුවෙන් තම රජය විසින් දූෂණ විරෝධී පනත සම්මත කිරීම, අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත සැකසීම ඇතුළු වැදගත් පියවර 20ක් පමණ ගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දූෂණය පිටුදැකීම සඳහා සටන් පාඨ පමණක් ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළේය.

එහිදී රාජපක්ෂ පවුලට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, රජය විසින් නඩු පැවරීම සිදු කරන නමුත් අවසානයේ වරදකරුවන් කවුද යන්න තීරණය කිරීම අධිකරණය සතු කටයුත්තක් බවයි. කෙසේ වූවත් ජනතා විමුක්ති පෙරමුණ වැනි සමහර දේශපාලන පක්ෂ තමන් බලයට පත් වූවහොත් චෝදනා එල්ලවූවන් වරදකරුවන් කරන බව කියා සිටින නමුත් එවැන්නක් සිදු කිරීමට නම් ඔවුන් නඩු පැවරීම මෙන්ම අධිකරණ බලතල ද අත්පත් කර ගත යුතු බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයට කළ හැකි වන්නේ නීතිමය ක්‍රියාදාමයන් ආරම්භ කිරීම මිස විනිශ්චයන් ලබා දීම නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන් අග්‍රාමාත්‍ය ධූරය දරන ලද යහපාලන සමයේදී දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණ ඒ පිළිබඳ දැනුවත් බවත්, ඔවුන් එම නඩු කටයුතු හා සම්බන්ධවී නොමැති බව සඳහන් කරන්නේ නම් එය අසත්‍යක් බවත් පැවසීය.

එහිදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් යොමුවූ ප්‍රශ්නවලටද පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල නියාමනය කිරීමේදී අවශ්‍ය අවස්ථාවලදී පමණක් රජය මැදිහත් වුවද, බොහෝ අවස්ථාවල වෙළඳපොළ සාධක මඟින් පාරිභෝගික භාණ්ඩවල මිල නියම වන බවයි. අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම සඳහා රජය “අස්වැසුම” වැනි වැඩසටහන් මඟින් මූල්‍ය සහාය ලබාදී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් දුන්නේය.

කාර්මික සංවර්ධනය සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ දශක ගණනාවක් පුරා සඳහන් කරන "ප්‍රාථමික කර්මාන්ත" යන සංකල්පයෙන් ඉවත් ව ඒ වෙනුවට අපනයනය පදනම් කරගත් ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

මෙරට විදේශ ණය පිළිබඳව ද යොමු වූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විටත් මෙරට විදේශ සංචිත ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුවලට අදාළව ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම වෙනුවෙන් 2029 වසර දක්වා සහන කාලයක් ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවත් ය.

දේශීයව නිෂ්පාදනය කරන රෙදිපිළි සඳහා වැට් බද්ද අයකිරීම පිළිබඳ යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරටින් සිදු කරන අපනයන සඳහා වැට් බදු නිදහස් කිරීම අදාළ වන නමුත් දේශීයව සිදු කරන වෙළෙඳ කටයුතුවලදී නිෂ්පාදකයින්ට වැට් බදු ගෙවීමට සිදු වන බවයි.

තවද, ප්‍රාග්ධනය සපයා දීම සහ ජාත්‍යන්තර තලය වෙත රැගෙනයාම ඇතුළු මෙරට ආරම්භ කරනු ලබන ව්‍යාපාර සඳහා සහාය දැක්වීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව ද පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මෙරටින් සිදුවන බුද්ධි ගලනය මැඩපැවැත්මට සහ රට තුළ තරුණ වෘත්තිකයන්ට වඩා හොඳ අවස්ථා ලබා දීමට ඩිජිටල් පරිවර්තනය කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

රජයේ බඳවා ගැනීම් කුසලතා මත පදනම්ව සිදු කෙරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවිධ ආගමික හා සංස්කෘතික බලපෑම්වලින් හැඩගැසුණු වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ඓතිහාසික භූමිකාවක් පවතින බව සඳහන් කළේය. එසේම ජාතික අවශ්‍යතා පවත්වා ගනිමින් අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් බවට මෙරට පත්කිරීම වෙනුවෙන් තමා ප්‍රමුඛ රජය කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කොවිඩ් වසංගත සමයේ මළ සිරුරු ආදාහනය කිරීමට එවකට පැවති රජය විසින් කටයුතු කළ බවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙත සාධාරණය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සියොන්වාදී රටවල් සමඟ පවතින සබඳතා පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ඊශ්‍රයලයේ ටෙල් අවිව්හි තානාපති කාර්යාලයක් පවත්වාගෙන යන නමුත්, ජෙරුසෙලමහි නව තානාපති කාර්‍යාලයක් ආරම්භ කර නොමැති බවයි. ගාසා තීරයේ සිදුවන ක්‍රියා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, පලස්තීන රාජ්‍යය පිහිටුවීම වෙනුවෙන් තමා අඛණ්ඩව සහාය පළ කරන බව ද සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ ගැටුම් පැවති අවධියේ උතුරු පළාතේ මුස්ලිම් ජනතාව අවතැන් වීම පිළිබඳව යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ මේ වන විටත් බොහෝ පිරිසක් වෙනත් ස්ථානවල පදිංචි වී ඇති අතර ඔවුන් ආපසු තම මුල් ප්‍රදේශ වෙත පැමිණීමට මැලිකමක් දක්වන බවයි. මෙහිදී නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම්, මූලික වශයෙන් රජය සතු වන බැවින් සාකච්ඡා මාර්ගයෙන් එම ගැටළු සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, ඒ. එච්. එම්. ෆවුසි, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ඇතුළු සිවිල් සමාජ නියෝජිතයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more