ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික වරද නිවැරදි කරනවා

• නිලාවේලි සිට ත්රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාපයක් ලෙස දියුණු කරනවා.

• ත්රිකුණාමලය බලශක්ති කේන්ද්රස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර ගෙන අවසන්.

• ධීවර කර්මාන්තය දියුණු කිරීමට සහනාධාර ක්රමයක්.

• සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුවද කඩිනමින් විසඳනවා.

• සේරුවිල විහාරයත්, කෝණේෂ්වරම් කෝවිලත් සංවර්ධනයට පියවර - ජනපති ත්රිකුණාමලයේ දී පවසයි.

• සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසන සංවිධායක නලින් ගුණවර්ධනගේ සහ කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් මහතාගේ සහාය ද ජනපතිට

ආසියාවේ විශාලම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (31) ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට  අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීමද විශේෂත්වයක් විය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් ත්‍රිකුණාමලයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි.

ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටළුවද කඩිනමින් නිරාකරණය කරන බව සඳහන් කළේය.

සේරුවාවිල විහාරය සංවර්ධනය කිරීමට සහාය ලබා දෙන බව මෙහිදී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂිණකෛලාශ්  ලෙස ලෝකය පුරා හින්දු බැතුමන්ගේ ගෞරවයට පාත්‍ර වූ කෝණේෂ්වරම් කෝවිලට අඩු පාඩුවක්ව පවතින ගෝපුරම් ඉදි කිරීමේ වගකීම නව රජය යටතේ සිදු කිරීමේ වගකීම භාරගන්නා බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් අප රට දියුණු කළයුතුයි. එම දියුණුව ලබාගත යුත්තේ අපනයන ආර්ථිකයක් තුළින් පමණයි. ඒ සඳහා අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් වී වගාවෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 08ක් ලබා ගැනීමට අවශ්‍ය සහාය අප ලබා දෙනවා.

ඒ වගේම අපි ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගත යුතුයි. ඒ වෙනුවෙන් අපි නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට  ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරනවා.

ඒ වගේම ආසියාවේ ලොකුම ස්වභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය මේ වන විට  සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් මෙය දියුණු කිරීමට අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස  දියුණු කිරීම මගින් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්පූර් සූර්යබලශක්ති ව්‍යාපෘතිය ද අප මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ පළාතේ අක්කර දහසකට වැඩි විශාල ආයෝජන කලාපයක් ඇති කර නව කර්මාන්ත ගෙන ඒමට ද අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ද දියුණු කිරීමට  අප කටයුතු කරනවා.

මේ අතර සේරුවිල විහාරය දියුණු කිරීම වෙනුවෙන්  ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එසේම කෝණේෂ්වරම් කෝවිල ඉතා පැරණි කෝවිලක්. කෝණේෂ්වරන් කෝවිල කියන්නේ දක්ෂිණ කෛලාශ් කියලා ලෝකයේ හින්දු ජනතාව පිළිගන්නවා. එහි ගෝපුරම් තවම ස්ථාපිත කර නැහැ. කෝණේෂ්වරන් කෝවිලේ ගෝපුරම් නිර්මාණය කිරීමේ  වගකීම අපේ ආණ්ඩුව භාර ගන්නවා.

මෙම කටයුතුවලදී දිවංගත ආර්. සම්බන්ධන් මහතා මට සිහිපත් වෙනවා. එතුමා සෑමවිටම කිව්වේ ත්‍රිකුණාමලය දියුණු කළ යුතුයි කියලා. මම එතුමාට ඒ පොරොන්දුව ලබා දුන්නා. අපි සියලුදෙනා එක්ව එම පොරොන්දුව ඉටු කරමු.

ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ ගැටළු විසඳීමට ද අප කටයුතු කරනවා. සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට කතිරය ගසා අපි එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්රී කපිල නුවන් අතුකෝරළ මහතා,

ත්‍රිකුණාමලයේ දේශපාලන කඳවුරු කිහිපයක සිටි අපි අද එකම කඳවුරක රොද බැඳ ගෙන සිටින එකම ජයග්‍රහණයක් බව කිව යුතුයි. ඒ ජයග්‍රහණයට පාර කැපුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

පසුගිය කාලය තුළ ආර්ථිකය බංකොලොත් වන විට ජනතා විමුක්ති  පෙරමුණේ හැසිරීම කොහොමද කියලා කල්පනා කරන්න. කොවිඩ් වසංගතයෙන්, ආර්ථික අර්බුදයෙන් බැට කෑ මිනිසුන් ජනතා විමුක්ති පෙරමුණේ පටු දේශපාලන වාසි වෙනුවෙන් තවත් අපහසුතාවයට පත් වුණා. මෙරට රාජ්‍ය සේවය ලබා ගන්නා අපේ අහිංසක ජනතාව ඔවුන්ගේ වර්ජන, උද්ඝෝෂණ නිසා තවත් අසරණ වුනා. රෝහලට, පාසලට ගිහින් ආපසු ආවා.  මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන් කලේ ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම පමණයි.

අඩුම තරමේ ඔය සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් ඉල්ලා ජනතාව අතරට යන්න අයිතියක් නෑ. ඒ සඳහා එකම අයිතිය තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. මේ රට නැවත ආර්ථික වශයෙන් වැටුනොත් ගොඩ ගන්න වෙනත් නායකයෙක් නෑ. පක්ෂ පාට, ආගම්, ජාති බේදයකින් තොරව ඉදිරියට යා හැක්කේ එතුමා සමග පමණයි.  

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සන්දිත් සමරසිංහ මහතා,

මීට දෙවසරකට පෙර ධීවරයන්ට මුහුදු යන්න බැරි කාලයක් තිබුණා. ඩීසල්, භූමිතෙල් ගන්න බැරි වුණා. ඒ වගේම වගා කරන්න පොහොර මීල දී ගන්න බැරි කාලයක් තිබුණා. දරුවන්ගේ පාසල් ගමන නැවතුණා.  විදුලිය තිබුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගත්තේ මේ වගේ කාලයකයි.  නමුත් අද වන විට ඒ සියළු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් මේ රටේ ආර්ථිකය ස්ථාවර කර  ඔබට පහසුවෙන් ජීවත් විය හැකි තත්ත්වයට රට පත් කර තිබෙනවා.

එදා  ඒ තීරණාත්මක අවස්ථාවේ එතුමා මේ රට භාර ගන්නා විට අද ඡන්දය ඉල්ලාගෙන එන නායකයන් යැයි කියා ගන්නා අය කොහෙද හිටියේ කියා අසිය යුතුයි.  ඔවුන් මඟ හැර ගියා මිස වචනයකින්වත් මේ රට ගොඩ ගන්න සහයෝගයක් ලබා දුන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ දර්ශනයත් සමඟ අද මේ රටේ විශාල පරිවර්තනයක් සිදු කර තිබෙනවා.  විශේෂයෙන් ජනතාවට සින්නකර ඉඩම් ඔප්පු ලබා දීමට කටයුතු කළා. ඒ වගේම පාසල් දරුවන්ට  සුරක්ෂා රක්ෂණය නැවත ආරම්භ කළා. අනාගතය ඉලක්ක කර සෑම කේෂත්‍රයක්ම දියුණු කිරීමට සැලසුම් සහගතව ක්‍රියාකර තිබෙනවා. රටට ආදාරය කරන නිසා අද අපි සියලු දෙනා පක්ෂ පාට ජාති භේද වලින් තොරව කටයුතු කරනවා. දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ මේ රට ආරක්ෂා කළොත් පමණයි . එපමණක් නොවෙයි තමුන්නාන්සේලාගේ දරුවන්ට ඉගෙන ගෙන  වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වීමට හැකි වන්නේද මේ රට ආරක්ෂා කළොත් පමණයි.

රාජ්ය අමාත්ය   එස්. වියාලේන්ද්රන්  මහතා,

අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දිය යුත්තේ ඇයි? පසුගිය කාලයේ අපේ රට විශාල ආර්ථික අවපාතයකට ගියා. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. රටම ගිනි ගත්තා. මහ දවල් මහ මඟදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා. විදුලිය, ගෑස්, ඉන්ධන, ඖෂධ  ඉල්ලා ජනතාව පාරට ආවා.අපේ රට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අවපාතයට තල්ලු කළා. සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානයක හිටපු ජනාධිපතිවරයාට පෙම් හසුන් ලියමින් සිටියා මිස රට භාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. අද ජනතාවට විවිධ පොරොන්දු දෙන ඔවුන්ට එදා ජනතාවගේ දුක දැනුනේ නැහැ.

මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න බැහැ කිව්වා. මේ රටසිම්බාබ්වේ, ඉතියෝපියාව වැනි රටක් බවට පත් වෙනතුරු ඔවුන් බලා සිටියා. එවැනි වටපිටාවක් තුළ මේ රට භාරගෙන යථා තත්ත්වයට පත් කළේ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. එතුමාගේ වඩාත් නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුව ජනාධිපති ලෙස යළිත් පත් කර ගැනීමට ඔබේ ඡන්දය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

අමාත්ය අලි සබ්රි මහතා,

මීට වසර දෙකකට පෙර මේ රට කඩා වැටුණු අවස්ථාවේදී අපි සියලු දෙනාම අනාථ වෙලා හිටියේ. බය වෙලා හිටියේ. රට ගැන හිතලා ඒ අවස්ථාවේ අපි රට භාර ගන්නා ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා. එතුමා තමන්ගේ ආර්ථික ඔස්තාර්වරුත් සමඟ ඇවිත් සැබෑ තත්ත්වය දැන ගෙන වගකීම භාර නොගෙන පැනලා ගියා. පැනලා ගිහින් මොවුන් කළේ තවදුරටත් මේ රට වට්ටවන්න මිනිසුන් දුක් විඳිනවා වැඩි කරන්න කටයුතු කිරීමයි. ඔවුන්ගේ ස්ථාවරය වූයේ රට අන්තයටම බිඳ වැටුණට පසුව බලය ගැනීමයි.

ඒ අවස්ථාවේ සියලු වගකීම් කරට අරගෙන තනි පුද්ගලයෙක් වශයෙන් මේ රට යළි ගොඩ නඟන්නට නායකත්වය දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

මීට පෙර අපි එතුමාට පක්ෂව වැඩ කර නැහැ. අප වැඩ කර තිබෙන්නේ එතුමාට විරුද්ධවයි. නමුත් පහුගිය අවුරුදු දෙක තුළ එතුමා සමඟ කටයුතු කරද්දී  එතුමාට ඇති  රාජ්‍ය පාලනය පිළිබඳව තිබෙන දැණුම, ජාත්‍යන්තර සම්බන්ධතා,  ආර්ථික දැක්ම පිළිබඳව අපට වැටහුණා. එතුමා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාටම කිසිදු බේදයකින් තොරව සළකන ආකාරය මේ රටේ නායකත්වයට ඉතාමත් වැදගත් ගුණාංගයක්.

එක්තරා ෆේස් බුක් පිටුවක මේ ආකාරයේ සටහනක් තිබුණා. “මේ සැප්තැම්බර් මාසයේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දැම්මොත් එතුමා තමයි ජනාධිපති. හැබැයි වෙන කාටහරි කතිරේ ගැහුවොත් ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නැවතත් ජනාධිපති  වන්නේත් එතුමාම තමයි” . ඒකෙන් කියන්නේ වෙන කාටවත් මේක කරන්න බෑ කියලයි.

නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය,

අපට නිවැරදිව කටයුතු නොකළොත් බංග්ලාදේශයට වුණු දේ මේ රටටත් සිදු වෙනවා. එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට භාරගත්තේ නැත්නම් අපට රටක් නැහැ.

මම මේ අවස්ථාවට එක් වන්නේ ශෝකයෙන් සිටින මොහොතකයි. මගේ පුතා නැතිවෙලා දවස් දහයයි. වෙන අම්මෙක් මෙහෙම එන්නේ නැහැ. මම අද මෙතන  ආවේ රට වෙනුවෙන්.මේ යන ගමන සාර්ථක වෙන්න නම් නිවැරදි නායකයෙක් අවශ්‍යයි. ඒ නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍ය පුත්‍ර සිගාමනී, එක්සත් ජාතික පක්ෂයේ  මූතූර් සම්බන්ධීකාරක ඒ.බී අමීන්,  යන මහත්ම මහත්මීන් සහ පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් මෙන්ම විශාල ජනතාවක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more