රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්න : එම කටයුත්ත දැනටමත් ඉටු කර අවසන් -ජනපති සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට කියයි

• අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට මම වේදිකාවට පැමිණෙන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි.

• අද මෙලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙක් සිතුවේ නැහැ.

• කිසිඳු අපේක්ෂකයෙක් කාන්තාවන් බල ගැන්වීම පිළිබඳ කථා කරන්නේ නැහැ :කාන්තාවන් බල ගැන්වීමේ නීතිය අප සම්මත කළා.

• අනෙක් අය දූෂණය ගැන කථා කරද්දි අප දූෂණයට වැට බඳින්න ක්‍රියාකරනවා.

• සජිත්ට දිනන්න බැහැ, ඔවුන් කරන්නේ මනමේ කුමරිය මෙන් අනුර කුමාරට අත දීමයි - ජනපති රත්නපුරයේදී කියයි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත්, තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පැවසීය.

අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට, තමන් සෑමවිටම වේදිකාවට පැමිණියේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර බව පැවසු ජනාධිපතිවරයා අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව තමන්ට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙකු නොසිතු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (03) පැල්මඩුල්ල සතිපොළ භූමියේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන හමුවට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි. ඔවුන් කරන්නේ මනමේ කුමරිය මෙන් අනුර කුමාරට අත දීම බව පැවසු ජනාධිපතිවරයා එය කිරීමට ඉඩ නොදෙන ලෙස තමා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ වාර්තාව අද මට ලැබුණා. එසේනම් මම අද මෙම වේදිකාවට පැමිණීයේ එක පොරොන්දුවක් ඉෂ්ට කරලයි. මම පොරොන්දු දීලා යන්නේ නැහැ. පොරොන්දු ඉෂ්ට කර ඇවිත් ඒ බව කියනවා. ඒ නිසා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ඊට අදාළ යෝජනා  ඉවත් කර ගන්නා ලෙස මම සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට කියනවා.

මීට වසර දෙකකට පෙර අප මේ රට භාර ගන්නා විට අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැහැ. එදා මෙම කණ්ඩායම මා සමඟ බිය නැතිව මෙම අභියෝගය භාර ගත්තා. විවිධ පක්ෂවල කණ්ඩායම් මා සමඟ එක් වුණා. රුපියල බේරා ගනිමින් රටේ අර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අප මෙම පියවර නොගත්තා නම් අද අපට මෙම තත්ත්වයෙන් ඉන්න වෙන්නේ නැහැ. ග්‍රීසිය මුහුණ දුන් තත්ත්වයට පත්වීමට සිදු වෙනවා.

අප 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සහන ලබා දුන්නා. ඒ වගේම 2024 වසරේ රජයේ සේවකයන්ගේ දීමනා ඉහළ නැංවීමට මෙන්ම ජීවන බර දරා ගත හැකි තත්ත්වයකට ගෙන ආවා. මෙම වැඩකටයුතු මෙතනින් අවසන් වන්නේ නැහැ. අප දළ දෙශීය නිෂ්පාදනය ඉහළ නංවා තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. මම මෙවර ජනාධිපතිවරණයේදී මා ඉල්ලා සිටින්නේ එම පියවර අනාගතය වෙනුවෙන් ගෙන යාමේ ජනවරමයි. අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගත යුතුයි. අප අවුරුදු 02ක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා කියා තවම රටේ අර්ථික ස්ථාවරත්වය තහවුරු වී නැහැ. නැවතත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපට ඉදිරියට යාමට හැකියාව තිබෙන්නේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණයි.

මැණික් කර්මාන්තය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා මැණික් සඳහා ලෝකයේ තිබු තැන නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප සාකච්ඡා කළා. ඒ වගේම පතල් කර්මාන්තකරුවන් රැක ගනිමින් ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැවීමේ වැඩපිළිවෙළක් ගැන අද අප සාකච්ඡා කළා. කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ මෙම කටයුතු ශක්තිමත්ව ඉදරියට ගෙන යාම අපේ අරමුණයි.

මෙම සියලු සැලසුම් තුළින්  රට තුළ අලුත් ආර්ථිකයක් නිර්මාණය කරනවා. ඒ වගේම පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් ද අප කටයුතු කරනවා. අද මේ රටේ ජනගහණයෙන් 25%ක් අඩු ආදායම්ලාභීන්ගේ ඝනයට ඇතුළත්වනවා පමණක් නොව, ආදායම් ලැබුවත් පිරිසකට සෞඛ්‍ය පහසුකම් හා නිසි අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. මෙම සියලු කණ්ඩායම් වෙනුවෙන් හොඳ අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක්  ලබාදී ආදායම් ඉහළ නංවා සමාජයට ඇතුල් කිරීමේ විප්ලවය අප සිදු කරනවා.

මේ රටේ බහුතරයක් වන කාන්තාවන්ගේ අයිතිය අප තහවුරු කළ යුතුයි. කාන්තාවන් බල ගැන්වීමේ නීතිය අපි සම්මත කළා. එවැන්නක් මෙරට සිදු වුයේ පළමු වතාවටයි. ඒ යටතේ තමන්ගේ අයිතිවාසිකම් ගැන ක්‍රියා කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලැබෙනවා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය  පිළිබඳ වාර්තා කිරීමට දැන් සෑම පොලිස් ස්ථානයකම වෙනම කාර්යාලයක් ආරම්භ කරනවා. වෙන කිසිම පක්ෂයක් ඒ ගැන කතා කරන්නේවත් නැහැ.

ඒ වගේම මේ රටේ සාමජ සාධාරණත්වය සදහා කොමිසමක් පත් කිරීමට අප කටයුතු කරනවා. කුලය නිසා සහ සමාජ  පිළිගැනීමක් නැතිකමින් ඇතමුන් කොන් වෙනවා. එම තත්ත්වය අවසන් කිරීමට සමාජ සාධාරණත්ව කොමිසමක් අපි ඇති කරනවා. එතනින් අපි සමාජය වෙනස් කරනවා. ඒ සමඟම දේශපාලන ක්‍රමයත් අපි වෙනස් කරනවා.

අනෙත් අය දූෂණය ගැන කථා කරද්දි අප දූෂණය පිටුදැකීමට ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් ලෝකයේ තිබෙන හොඳම නීති සකස් කර දූෂණ විරෝධි පනත අප සම්මත කර තිබෙනවා. ඒ වගේම තවත් නීති කෙටුම්පත් කිහිපයක් සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. දූෂණය ගැන කථා කරලා වැඩක් නැහැ. ඒ සඳහා ක්‍රියාකිරීමට වැඩසටහනක් තිබිය යුතුයි. එම වැඩසටහන තිබෙන්නේ මට විතරයි කියලා මම කියනවා.

ඔවුන් හොරු අල්ලනවා කිව්වට, හොරු අල්ලන්න ආයතන තිබිය යුතුයි. අපි ඒ ආයතන ශක්තිමත් කරනවා. හොරු ඇල්ලීම සහ නීතිමය පියවර ගැනීම දේශපාලඥයන්ගේ වැඩක් නොවෙයි. අධිකරණයේ වැඩක්. ඒ සඳහා අප එම ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා. දඩුවම් කිරීම අධිකරණයේ වැඩක්. දේශපාලනඥයන්ලෙස අපට මෙය භාර ගන්න බැහැ. එතකොට එදා ඌරගස්මං හන්දියේ ජනතා විමුක්ති පෙරමුණ දාපු උසාවියේ මේජර් මල්ලිකා දුන් තීරණය වගේ වෙනවා. මම කැමති නැහැ මේජර් මල්ලිකාගේ වැඩේ කරන්න.

ඒ වගේම ද්විතිය මණ්ඩලයක් ගෙන ඒමටත්, ජන සභාවක් ඇති කර තරුණ සහ කාන්තා නියෝජනය ඉහළ නැංවීම, මේ රටේ ඡන්ද ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කිරීමේ නව ක්‍රමවේදය අප සකස් කරනවා. එම සම්පුර්ණ වෙනස කරන්නේ අපි කියලා මම සඳහන් කරන්න කැමතියි. අනෙක් අය කථා කර කර ඉද්දි එම ආර්ථික, සමාජ හා දේශපාලන වෙනස කළ හැක්කේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් පමණයි.

අද මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා එක්සත් ජාතික පක්ෂයේ සැබැ ප්‍රතිපත්ති තිබෙන්නේ අප ළගයි. අප ඉදිරියට යන්නේ ප්‍රතිපත්ති සමඟයි. එසේනම් එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඔබ ඡන්දය ලබා දිය යුත්තේ ගැස් සිලින්ඩරයටයි.

සජිත් ප්‍රේමදාසට දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දයෙන් සිදු වන්නේ අනුර කුමාර ශක්තිමත් කිරීම පමණයි. ඔවුන් කරන්නේ අනුර කුමාරට අත දීමයි. මනමේ කුමාරි කළ වැඩේ ඔවුන් කරන්නේ. එය කරන්න එපා කියලා මම ඔවුන්ට කියනවා.

අමාත්ය පවිත්රා දේවි වන්නිආරච්චි මහත්මිය,

පැල්මඩුල්ල දේශපාලන ඉතිහාසයේ ඉතාම සාර්ථක, ජයග්‍රාහි රැලියකට සහභාගී වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම මේ සියලු අභියෝග හමුවේ ඉතාම බුද්ධිමත්ව හොඳ දේශපාලන විඥානයෙන්, නිර්භීතව අපි සමඟ එකට හිට ගනිමින් මේ රැස්වීමට සම්බන්ධ වු ඔබ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. සියලු දෙනාම මේ රැස්වීමට සහභාගී වන්නේ ඉතාම උනන්දුවෙන් සහ ඉතාම නිර්භීතවයි.

අද අපි එක්ව සිටින්නේ ස්ථාවර වූ මේ රට තවදුරටත් ස්ථාවරභාවයකට පත් කිරීමටත්, නැවත අස්ථාවරභාවයකට යා නොදී රැක ගැනීමේ අරමුණු ඇතිවයි.  

එදා අපි සමඟ ඡන්දය ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් 39 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. අනුර කුමාර, ලාල් කාන්ත, චන්ද්‍රසේන විජේසිංහ සහ විජිත හේරත් සමඟ මමත් එකට කැබිනට් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළා. රත්නපුරයේ මට පසුව වැඩිම මනාප ගත්තේ ජවිපෙ නියෝජනය කළ අචල ජාගොඩයි. අනෙක් දිස්ත්‍රික්ක ගණනාවක මහින්ද රාජපක්ෂ මැතිතුමත්, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමත්, මංගල සමරවීර මැතිතුමත් හැර වැඩිම මනාප අරගෙන ජවිපෙ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

හැබැයි අපි එක්ක ඒ ආණ්ඩු හදපු අය වැඩක් කරලා තියෙනවාද? අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිවරයා විදියට, වාරිමාර්ග ඇමතිවරයා විදියට වැව් 1000ක් හදනවා කියලා මහ මුදලක් වියදම් කරලා පෝස්ටර් ගැහුවා. නමුත් ඔවුන් රත්නපුර දිස්ත්‍රික්කයට එක වැවක් නෙවෙයි ඇනිකට් එකක් හැදුවද?

මෙතන ඉන්න අපි ‍මොනවද කලේ ඇහුවොත් වටපිට පොඩ්ඩක් බලන්න කියන්න. එවිට පාරවල් හදලා, විදුලිය දීලා, වතුර දීලා, පාසල් හදලා, රෝහල් හදලා තිබෙන බව  පෙනෙන්න තිබෙනවා.

මේ වන විට අනුර කුමාර මහත්තයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලියට දාලා කියනවා,  සෘජු බදු අඩු කරනවලු. වක්‍ර බදු අඩු කරනවලු. සහන දීලා රාජ්‍ය වියදම වැඩි කරනවලු. බදු අඩු කරලා රාජ්‍ය ආදායම අඩු කරනවලු. ඒ එක්කම  සජිත් ප්‍රේමදාසයි, අනුර කුමාර දිසානායකයි ජනතාවට කරන්න බැරි පොරොන්දු රැසක්  දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පාලන කාලයේ ඔය විදියට බදු අඩු කරන්න ගිහිල්ලා තමයි මේ ආර්ථික අර්බුදය ආවේ. යල් පැනපු ආර්ථික ඔස්තාර්ලා එතුමට උපදෙස් දුන්නා. එතුමා ඒ උපදෙස් අනුව සෘජු බදු අඩු කලා, වක්‍ර බදු අඩු කලා. අන්තිමට අපිට රටේවත් ඉන්න බැරි වුනා. අනුර කුමාර කරන්න යන්නේත් ඒ කටයුත්තම බව කිව යුතුයි. එවැනි රටක් යළිත් අවශ්‍යයද කියා ඔබ සිතිය යුතුයි.

මේ වෙලාවේ මේ රටට අවශ්‍ය වන්නේ පොරොන්දු මලු දීලා මිනිස්සු රවට්ටන, ජෝකර් නායකයෙක්ද?, සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙලාවේ  ඕන දෙයක් පොරොන්දු දෙනවා. එයාගේ සපත්තු දෙකට බැහැපු අනුර කුමාරත් හිතෙන හිතෙන පොරොන්දු වෙනවා. පොරොන්දු පිට පොරොන්දු‍ දෙමින් මිනිස්සුන්ව රවට්ටන ඒ සාම්ප්‍රදායික දේශපාලන නායකයන්  තව දුරටත්  මේ රටට අවශ්‍ය නැහැ. මේ රටට අවශ්‍ය වෙන්නේ රටට ඇත්ත කියන නායකයෝ. මේ රටට අවශ්‍ය වෙන්නේ යථාර්ථවාදී දර්ශනයකින් යුතුව මේ රටේ ආර්ථිකය නැගිට්ටවන්න පුලුවන් දර්ශනයක්, දැක්මක් තියෙන, වැඩ පිළිවෙලක් තියෙන නායකයෙක් බව කිව යුතුයි.

රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතා,

සජිත් ප්‍රේමදාස මහතා කියනවා 2015 ඒ හිටපු අයට විශ්‍රාම වැටුප ලබා දෙනවා කියලා. අපි එදා රැකියා ලක්ෂය වැඩසටහන යටතේ විසිනවදාහසක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. රාජ්‍ය සේවකයින් ස්ථිර වැටුපක් එක්ක තමයි අපි ඒ අය බඳවා ගත්තේ.  පළාත් සභාවල සහ ප්‍රාදේශීය සභාවල හිටපු සියලු දෙනාම ස්ථිර කළේත් විශ්‍රාම වැටුපත් එක්කයි.  

පොහොර රුපියල් 5000  දෙනවා කියලා සජිත් ප්‍රේමදාස කියනවා. අපි රුපියල් 4000 දෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ගේ  වැටුප් වැඩි කරනවා කිව්වාම සජිත් ප්‍රේමදාසත් ඒකම කියනවා. ඒ නිසා ජනතාවට බංකොළොත් දේශපාලන පොරොන්දු දෙන්න එපා කියලා අපි සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාරට කියනවා.

පාර්ලිමේන්තු මන්ත්රී එස්. බී දිසානායක මහතා,

මෙවර ජනාධිපතිවරණය ගැන කතා කරන විට  සජිත් ළමයා ගැන කතා කරන්න දෙයක් නැහැ. එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ පුළුවන් තරම් ආදායම් අඩු කරලා වියදම් වැඩි කරන පොරොන්දු ගොඩක් විතරයි. එය දැක්ක ගමන් දැක්ම කොතරම් දුර්වල එකක්ද කියලා පොඩි ළමයෙකු වුවත්  තේරෙනවා.

අපි වැටිලා, හිරවෙලා, බින්දුවට පාත් වුණ වේලාවේ, රට භාර ගත්ත නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එහිදී තද තීන්දු තීරණ ගන්න සිදු වුණා. ජනප්‍රියා නොවන තීන්දු තීරණ ගන්න සිදු වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක තරග කරන සජිත් ගැන කියන්න තියන්නේ ඒ ළමයාට තේරෙන්නේ නෑ. ඔහුට අවබෝධයක් නැහැ කියලයි. ජනතා විමුක්ති පෙරමුණ ලොකු සද්දයක් දානවා

නමුත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය පටන් ගත්තේ හොරකම් කරලා. මංකොල්ල කළා, මිනී මරලා, අපරාධ කරලා බව කාටවත් අමතක නැහැ. 1971 වසරේදී පොලිස් ස්ථාන 74කට  ගැහුවා. පොලිස් ස්ථාන 4ක් සම්පුර්ණයෙන් ගිනි තියලා ඔවුන්ගේ අතට ගත්තා. පොලිසියේ, හමුදාවේ 67 දෙනෙක් වගේම  සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසක් ඝාතනය කළා. තේ කරිමාන්තශාලා 71 කට ගිනි තිබ්බා. බස් 100කට වැඩි ප්‍රමාණයක් ගිනි තිබ්බා.

පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාජිත සේනාරත්න මහතා,

වසර දෙකකට පෙර ආර්ථිකය කඩා වැටී රට දැවැන්ත අර්බුදයකට මුහුණ පෑවා. ඒ අවස්ථාවේ රට භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාසට මෙන්ම අනුර කුමාර දිසානායකටද ආරාධනා කළා. නමුත් ඔවුන් එදා එම අභියෝගය භාර ගත්තේ නැහැ. ඒ හැමෝම පැන ගියත් එදා තනි මන්ත්‍රී ආසනයක් හිමි රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය භාරගෙන අද වන විට රට ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාරගෙන ආර්ථිකය, රටත් බේර ගත්තා. දුෂ්කර කාලයක ගනු ලැබු ඒ ක්‍රියාමාර්ග සම්බන්ධව අද ලෝකයේම ප්‍රසාදය එතුමාට හිමිව තිබෙනවා. ඒ නිසා මේ රට නූතන දියුණු රටක් බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර 05 සඳහා ද ජනවරම ලබා දෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලනවා.

හිටපු අමාත්ය මනූෂ නානායක්කාර මහතා,

‘බැහැ’කියා පැනලා දුවපු දේශපාලනඥයන් පස්සේ නොයා ‘පුළුවන්’ කියා ජනතාවගේ දුක තේරුම් ගත් මේ රටේ එකම නායකයා වෙනුවෙන් අද මෙතැනට රැස් වී සිටින ජන ගඟට මීට වසර දෙකකට පෙර මේ රට පැවති තත්ත්වය අමතක නැහැ. ඒ දුෂ්කර කාලයේ ඔබට ඔබේ ජීවිකාව අහිමි වුණා. පතල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය වගේම වතු කම්කරුවගේ ජීවිකාව ගෙන යාමට නොහැකිව ඔවුන්  අසරණ වූ වෙලාවේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් වූ එකම නායකයා  රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

ඔබේ ඡන්දය ඉල්ලා ගෙන එන අනෙක් දේශපාලනඥයන්ට එදා ඒ දුක තේරුණේ නැහැ. අරගලයෙන් පසු ඔවුන් ගමින් ගමට ගිහින් රැස්වීම් පවත්වමින් ඔවුන්ගේ පක්ෂ දේශපාලනය කළා. නමුත් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා මේ වසර දෙක පුරාම වෙහෙසුණේ ඔබට හිඟයකින් තොරව ගෑස් ඉන්ධන, ඖෂධ හා ආහාර ලබා දීමටයි. තවත් මාලදිවයිනක්, බංග්ලාදේශක් නොවී මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූයේ එතුමාගේ නිවැරදි ක්‍රියාකාරීත්වය නිසයි.‍

රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසයේ සිට වැටුප් වැඩි කිරීම පොරොන්දුවක් නොවෙයි, අදාළ තීන්දුව අරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ හමුවට පැමිණ සිටිනවා.

මේ රටේ ජනතාව කළ යුතුව  තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔබේ කෘතඥතාව පළ කිරීමේ යුතුකම ඉටු කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්රී අකිල සාලිය එල්ලාවෙල මහතාෙ,

පසුගියදා ජනතා  විමුක්ති පෙරමුණේ රැස්වීමක දී ප්‍රකාශ කර තියෙනවා පවිත්‍රා වන්නිආරච්චි මැතිනියත්, ජානක වක්කුඹුර මැතිතුමාත් මුදිතා සොයිසා මැතිතුමියත්, මමත් පොහොට්ටුවේ ඉඳලා අලියාට පැන්නා කියලා. අපි කවදාවත් පක්ෂ මාරු කරලා නැහැ. නමුත් මේ භූමියේ තියෙන අවශ්‍යතාවය අනුව, මේ අවස්ථාවේ රටේ අනාගතය ගැන හිතලා පටු දේශපාලන අදහස් නැතුව, පටු න්‍යාය පත්‍ර නැතුව ගෑස් සිලින්ඩරයට සහාය දී   රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නැවත වරක් මේ රට භාර දීමට පොදු ජන පෙරමුණේ  අපි තීන්දුවක් ගත්තා .

අපි ඔබතුමාට උදව් කරන්නේ පොදුජන පෙරමුණේ සාමාජිකයින් ලෙසයි.  ඊට හේතුව ඔබතුමාට විතරයි මේ තියෙන ප්‍රශ්නයෙන් මේ රට ගොඩ නගන්න පුළුවන්. එම වැඩකටයුත්ත කිරීමට වෙනත් නායකයෙක් අද නැහැ.  එකම නායකයා ඔබතුමා පමණයි.

සබරගමු පලාත් සභාවේ හිටපු අමාත්ය, අතුල කුමාර රාහුබද්ද මහතා,

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අසීරු අවධියක මේ රට භාරගෙන එතුමා රට බේර ගැනීම වෙනුවෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප ‍‍ඓතිහාසික තීන්දුවක් අරගෙන එතුමාට සහාය දීමට එක් වුණා.

වැටුණු රට භාර ගන්නා ලෙස ඉල්ලා සිටියති එය භාර නොගෙන නායකයන් පැන ගැයා.  නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ස්ථාවර කර තිබෙනවා. එතුමා රට ස්ථාවර කර මේ රට ජයග්‍රහණය කර දුන් මොහොතේදීම මම තීන්දු කලා මගේ පක්ෂය මොන තීන්දුව ගත්තත් මගේ මනාපය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දීමට.

මහාසංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී  හසිත මුහන්දිරම්, ලංකා කම්කරු කොංග්‍රසයේ රත්නපුර දිස්ත්‍රික් නායක රූබන් පෙරුමාල්, එක්සත් ජාතික පක්ෂයේ පැල්මඩුල්ල ආසන සංවිධායක මංජුල  ඩයස්  වික්‍රමනායක යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more