මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබා දීමට ගොස් අනාගතය අඳුරු කර ගන්න එපා

• අනුරගේ ආර්ථික ප්රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද?  අපනයන ආර්ථිකයක්ද? ප්රශ්නය අහලා දවස් තුනයි, අනුර නිහඬයි.

• හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාරගේ ආර්ථික දර්ශනය ක්‍රියාත්මක කළහොත් නැවත මෙරට ආර්ථිකය කඩා වැටෙනවා.

• ජීවන බර වැඩි කරන අයට  ඡන්දය ලබා දෙන්නේ ඇයි ?

• 2022දී ජනතා දුක නොදුටු අනුර නැවත පෝලිම් යුගයක් ඇති කරන්න හදනවා.

• මට අවශ්‍ය රටේ ආර්ථිකය රැක ගනිමින් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමටයි.

• මෝටර් රථ ආනයනය සඳහා පනවා තිබු තහනම ඉවතට.

• පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය -  ජනපති පුත්තලමේදී අවධාරණය කරයි.

මාලිමාව ඇතුළු අනුර කුමාරට අවස්ථාවක් ලබාදීමට ගොස් තමන්ගේ අනාගතය පිළිබඳ තිබෙන අවස්ථාවන් අහිමි කර නොගන්නා ලෙස ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

නැවත පෝලිම් යුගයක් නිර්මාණය කරන අනුර කුමාරගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තමා විමසු නමුත් දින 03ක් ගත වී තිබුණද ඔහු තවම එයට පිළිතුරු ලබා නොදුන් බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ අනාගතය ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති මාලිමාවට භාරදිය යුතුද කියා තරුණ තරුණියන් තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

තමන්ට අවශ්‍ය රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් නැවත පෝලිම් යුගයකට ඉඩ නොතබා ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව පැවසූ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ජිවන බර වැඩි කිරීමට සූදානම් පිරිසකට රටේ වගකීම භාර දිය යුතු නැති බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (13) පස්වරුවේ පුත්තලම නගරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට පක්ෂ, පාට, ජාති, ආගම් බේදයකින් තොරව විශාල ජනතාවක් එක්ව සිටියහ.

අස්වැසුම ප්‍රතිලාභය ලබන පුත්තලම තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද ජලයේ ගමන් කරන මෝටර් සයිකලය ජාතික කොඩියද සමඟින් පුත්තලම කලපුවේ ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරයාට ගෞරවය පුද කිරීමද මෙහිදී සිදු විය.

රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වී තිබෙන නිසා මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එසේම බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ජනාධිතිවරයා සඳහන් කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පුත්තලම කලපුවේ ප්‍රදර්ශනය කෙරෙන තරුණයෙක් විසින් නිර්මාණය කරන ලද ජලයේ ගමන් කරන මෝටර් සයිකලය පිළිබඳ මට දැනගන්නට ලැබුණා. මම බලාපොරොත්තු වන්නේද  තමන්ගේ ශක්තියෙන් ලෝකය ජය ගත  හැකි තරුණ තරුණයන් සිටින රටක් ඇති කිරීමටයි. ඒ වගේම කල්පිටිය ආර්ථික මධ්‍යස්ථානය සහ ධීවර වරාය ඇති කිරීමේ කටයුතු ක්‍රියාවට නංවන බව ද මම විශේෂයෙන් සඳහන් කරනවා.

හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මහනුවර දී කියලා තිබෙනවා මම එතුමාට මඩ ගහන ව්‍යපාරයක් ක්‍රියාත්ම කර තිබෙනවා කියලා. අනුර කුමාරගේ මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් ඩොලරයේ අගය රුපියල් 400ක් බවට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප සමඟ ඇතිකරගත් ගිවිසුමෙන් ඉවත් වුවහොත් ඩොලරයේ අගය රුපියල් 500ක් බවට පත් වෙනවා.

මාලිමාවේ මැතිවරණ ප්‍රකාශය අනුව අපි අය වැයක් සකස් කර බැලුවා. එම අය වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පටහැනියි. මොවුන්ගේ අයවැය පරතරය කෝටි 40,000ක් වෙනවා. අපිට දළ දේශීය නිෂ්පාදනයෙන් ලබා ගන්න පුළුවන් කෝටි 10,000යි. කෝටි 30,000ක් වැඩි වූ විට අයිඑම්එෆ් ගිවිසුම කඩ වෙනවා.  මුදල් ණයට ගත්තොත් රුපියලේ වටිනාකම අඩු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව අප ක්‍රියා කරනවා නම් රුපියලේ වටිනාකම ආරක්ෂා වෙනවා. අපි එම කොන්දේසි කඩ කළොත්  රුපියලේ අගය අඩු වෙනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.

ඒ වගේම ජනතාවගේ ජීවන වියදම වැඩි වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයට වඩා වැඩි ජීවන බරකට ජනතාවට මුහුණ දීමට සිදු වෙනවා.  අනුර කුමාර දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතිගේ සහ මාලිමාවේ ආර්ථික දර්ශනය තුළ රුපියල ශක්තිමත් වන්නේ නැහැ. රුපියල තවත් බාල්දු වෙනවා. මම අනුර කුමාරගෙන් විමසුවේ එයයි. තමන්ට රුපියල ආරක්ෂා කරන්න බැරිනම් ඔහුට ජනාධිපති ධූරයේ වගකීම් ඉටු කරන්න පුළුවන්ද?

මේ රටේ ජනතාවගේ ජීවන බර වැඩි කරන අයට ඡන්දය ලබා දෙන්නේ ඇයි කියා මම ජනතාවගෙන් අහනවා. මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ජනතාවට විශාල බරක් එල්ල වෙනවා. ඒ පිළීබඳ ඔවුන්ට කණගාටුවක් නැද්ද කියා මම අහනවා

2022 වසරේ රටේ පැවති ආහාර පෝලිම්, ඉන්ධන, ගෑස් හා ඖෂධ පෝලීම් ඔබට මතකද? එවිට ජනතාව විදින දුක දැක අනුර කුමාරට දුක හිතුනේ නැද්ද? ඒ දුක නැති නිසා ඔහු නැවත පෝලිම් ඇති කරන්න හදනවා.

අපි අහන මේ ප්‍රශ්නය කුණුහරපයක් හෝ මඩක් නොවෙයි. මාලිමාවටත්, හිටපු ඇමති අනුර කුමාරටවත් රටේ ආර්ථිකය මෙහෙයවීමට ශක්තියත් තිබෙනවද කියලයි මම අහන්නේ.

මම මේ රටේ ආර්ථිකය ගොඩනැගුවේ අසීරුවෙන්. අසීරු තීරණ ගනිමින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. වැඩිකල් යන්නට මත්තෙන් ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් කියා මා තුළ දැඩි බලාපොරොත්තුවක් තිබුණා. ඒ අනුව පසුගිය සමය තුළ සැලකිය යුතු මට්ටමින් භාණ්ඩ මිල අඩු වුණා. ඒ වගේම අපි ජනතාවට අස්වැසුම ලබා දුන්නා. රාජ්‍ය සේවකයන්ට දීමනාවක් දුන්නා. පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් සිදු වුණා. අපි ක්‍රමයෙන් ජනතාවට  සහන ලබා දුන්නා. මට අවශ්‍ය මේ රටේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමටයි.

ආර්ථිකය දියුණුවීමත් සමඟ අපි ජනතාවට තවත් සහන ලබා දෙනවා. මේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වී තිබෙන නිසා තහනම ඉවත් කර නැවත මෝටර් රථ ලංකාවට ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට අප තීරණය කර තිබෙනවා.

බදු ගෙවන්නන්ගේ  මූලික බදු මට්ටම ලක්ෂ 05යි. අප ඒ මට්ටම හත්ලක්ෂ විසි දහසකට වැඩි කළා. තමන්ගේ ආදායම් වැඩිවීමත් සමඟ තමන් ගෙවන බදු අඩුවීමට යනවා. අද අපි එවන් පියවර ගෙන තිබෙනවා. ඒ හමුවේ තමන්ගේ අනාගතය ආර්ථික ප්‍රතිපත්තියක් නැති මාලිමාවේ කණ්ඩායමට ලබා දෙන්න සූදානම් ද කියා මම අහනවා. ඒ පිළිබඳ හරි පැහැදිළි කිරීමක් නැත්නම් මේ රට ගොඩනඟන්න මාලිමාවට ශක්තියක් නැහැ.

මම අනුර කුමාරගෙන් ඇහුවා ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක් ද, අපනයන ආර්ථිකයක් ද කියලා. දැන් දවස් තුනක් ගත වෙලා කිසිම පණිවිඩයක් නැහැ.

තරුණයන් කිහිප දෙනෙකු මාව මුණ ගැහෙන්න ආවා. ඒ අතර මට සහාය ලබාදෙන අය වගේම මාලිමාවට සහාය දෙන කිහිප දෙනෙකුත් හිටියා. මම ඔවුන්ගෙනන් ඇහුවා මාලිමාවට සහාය දෙන්නේ ඇයි කියලා. නැහැ සර් අපි මේ අයට චාන්ස් එකක් දෙන්න ඕන කියලා කිව්වා. මම ඇහුවා ඔබේ අනාගතය පිළිබඳ ඔබ චාන්ස් එකක් දෙනවද කියලා. නැහැ අපි අනාගතය එක්ක චාන්ස් දෙන්නේ නැහැ කිව්වා. පරණ තත්ත්වයට යන්න බැහැ කිව්වා. අනුරලාට චාන්ස් එකක් දෙනවා කියන්නේ ඔබේ අනාගතය පිළිබඳ අවධානමක් ගැනීම නොවේද කියලා මම මේ අයගෙන් අහනවා. ඒ නිසා ඔබේ අනාගතය ගොඩනඟන වැඩපිළිවෙළ වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා  ඉල්ලනවා.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

සමගි ජන බලවේගය පක්ෂයේ  සිටින පතාක යෝධයන් අද සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවේයි. රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ඒ .එච්.එම් ෆවුසි ඇතුළු සියලු දෙනා ඉන්නේ මේ වේදිකාවේයි. මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව රට පාලනය කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ හැට නමයක ඡන්දයෙන් ජනාධිපති ලෙස පත් වුවත් ඔහුට රට පාලනය කරගෙන යාමට හැකි වුණේ නැහැ. පැය 13ක විදුලි කප්පාදුවක් සමඟ ඉන්ධන ආහාර, ඖෂධ පෝලිම්  යුගයක් ඇතිවුණා.

එදා සජිත් ප්‍රේමදාස මහතාට රට බාරගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කළා. සමගි ජන සන්ධානයේ ආර්ථික ඔස්තාර්ලා ඔවුන්ගේ අනාගතය ගැන සිතා ජනතාවගේ දුක් ගිනි නිවීමට ඉදිරිපත් වුණේ නැහැ. ජනතාවගේ දුක් ගිනි නිවීමට ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

සජිත් ප්‍රේමදාස ‘ඔහුගේ කණ්ඩායම’ ගැන කතා කරනවා. අර්බුදය වෙලාවෙ නැති ‘කණ්ඩායම’, අර්බුදය අවසන් වුනාට පසුව වැඩක් නැහැ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථිකය ස්ථාවර කළ පසු රට පාලනය කරන්න ඉල්ලන නායකයින්ගෙන් ජනතාවගේ දුක් ගිනි නැති කිරීම බලාපොරොත්තු වෙන්න බැහැ.

මාලිමාවේ ආර්ථික විශේෂඥයින්ගේ අයවැය අනුව රට ඉදිරියට ගියොත් ඩොලරයේ අගය රුපියල් 600ක් දක්වා ඉහළ යනවා. අද පොහොර සහනාධාරය ලැබෙනවා, අස්වැසුම ලැබෙනවා, රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධක ලබා දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ රටට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ නායකත්වය අවශ්‍ය වී තිබෙනවා.  මේ මොහොතේ  මේ රටට අත්හදා බැලීම් කරන නායකයෙක් අවශ්‍ය නැහැ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා,

පුත්තලම දිස්ත්‍රික්කය මේ රටේ මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක දිස්ත්‍රික්කයක් බව පැවසිය යුතුයි. පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන අපේක්ෂකයා අනිවාර්යයෙන් මේ රටේ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරනවා. එසේ නම් අද ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ අදත් හෙටත් මතුවටත් මේ රටේ ජනාධිපතිධූරය හොබවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මා දැඩි විශ්වාසයකින් ඔබ හමුවේ ප්‍රකාශ කරනවා.

රට බංකොලොත් වී තිබෙන අවස්ථාවේ රට භාරගෙන ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට එතුමා කටයුතු කළා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයට ගුරු පත්වීම් තුන්දාහක් ලබාදී තිබෙනවා. එතුමා අස්වැසුම වැඩසටහන මඟින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. උරුමය වැඩසටහන මඟින් ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා. මෙවර ජනාධිපතිවරණයේදී  පුත්තලම දිස්ත්‍රික්කය ඉතිහාසයේ  වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරවීමට මේ ජනතාව ඇප කැප වී කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා,

ආනමඩුව, පුත්තලම සමග අප දිස්ත්‍රික්කයේ  හලාවත, වෙන්නපුව සහ නාත්තන්ඩිය යන සියලු ආසනවල ජනතාව එක්ව වැඩි ඡන්ද 75000කින්  ලබන විසි එක් වෙනිදාට  පුත්තලම දිස්ත්‍රික්කයෙන් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජයග්‍රහණය කරවීමට කටයතු කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවද ඔබතුමාගේ විජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙස සටහන් කර ගන්නා ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා,

එළඹෙන 21 වෙනිදා අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ රටේ ජනාධිපති බවට කරනවා. ඒ සඳහා ශක්තිය ලබා දීමට අද පුත්තලමේ ජනතාව දහස් ගණනින් එක් රැස් වී සිටනවා. මේ රටේ නැවත කැරැල්ලක් ඇති වුවහොත් පක්ෂ පාට භේදයකින් තොරව මේ රටේ  සියලු දෙනාටම එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වෙනවා.

පුත්තලම කියන්නේ සිංහල, දෙමල, මුස්ලිම් යන සියළු ජනවර්ගයන්ගෙන් සමන්විත සමාජයක්. අද පුත්තලමේ යම් ප්‍රශ්නයක් තිබේ එය මේ සියළු දෙනාටම අදාළයි.  පුත්තලම රෝහල දිසා රෝහලක් බවට පත් කරන බවත්, කල්පිටිය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරන බවත් මේ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔබට පොරොන්දු වෙනවා.

මේ සියලු ජයග්රහණ අත් කර ගැනීම සඳහා අප පළමුව එතුමාව නැවත වරක් මේ රටේ ජනාධිපතිධූරයට පත් කළ  යුතුයි.  ඒ වෙනුවෙන් එක් වන ලෙස මා ඔබ සැම ගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා,

වැටී තිබූ රට ගොඩ ගත් නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. එතුමා ජනතාව විඳි පීඩනයෙන් මුදා ගත්තා.

ජනාධිපතිතුමනි,  22 වනදා උදෑෂන වන විට මේ පුත්තලම දිස්ත්‍රිකයේ  ආසන පහම ඔබේ ජයග්‍රහණය නමින් ලියැවෙන අපි තහවුරු කරනවා. අපි අපේ යුතුකම ඉටු කර පුත්තලම මිනිස්සු කළගුණ දන්න, රට ගැන හිතන, රටේ දියුණුව පතන පිරිසක් බව එදිනට මේ රටටම පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා,

සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව අද දහස් ගණනින් පුත්තලම නගරයට එකතු වී එක් පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඒ රටේ ආර්ථිකය කළමනාකරණය කර ජනතාවට ජීවත්වීමේ පහසුකම් ලබා දුන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට ජනතාව සූදානම් බවයි.

මේ රටේ නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කර සැමට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මේ දහස් සංඛ්‍යාත ජනතාවගේ විශ්වාසයයි. ඒ නායකත්වය ජයග්‍රහණය කරවීමට මේ දින කිහිපය තුළ හැකි අයුරින් කැප වෙමු කියා මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම් මහතා,

මෙරට ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ අද ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටින නායකයින් රට භාරගත නොහැකි බව කියමින් පළා ගියා.  ඒ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ වගකීම භාර ගෙන ආර්ථික අර්බුදය නිමා කරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළා. අද වන විට ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් හිඟයකින් තොරව ලබා දීමට එතුමා කටයුතු කර තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම පුත්තලම සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත් පුත්තලම රෝහල සංවර්ධනය කිරීමටත් ජනාධිපතිතුමා පොරොන්දු වී තිබෙනවා.  පුත්තලම සිට මන්නාරමට යන මාර්ගය පිළිසකර කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා. එම නිසා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයක් වගේම පුත්තලම දිස්ත්‍රික්කය ලබන ජයග්‍රහණයත් වන බව මට විශ්වාසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය,

වසර විස්සක පාර්ලිමේන්තු  දිවියට සමුදී අද මා මේ වේදිකාවට පැමිණ සිටින්නේ   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජය තහවුරු කිරීමටයි. එතුමා ගෙන් දේශපාලනය ඉගෙන ගෙන ඉදිරියට ගිය අය ලෙස අපි නිවැරදි තැන සිට ගැනීමට බිය වන්නේ නැහැ. ගිය නුවණ ඇද්ද විය යුත්තේ ඇතුන් ලවාමයි.

පෝලිම් යුගය නිමා කර ආර්ථිකය කළමනාකරණය කිරීමට හැකි වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික කළමනාකරණ දැක්ම නිසයි. නැවත නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට එතුමාගේ දැක්ම අනුව මේ රට ඉදිරි වසර පහ තුළත් කටයුතු කිරීම අවශ්‍යයි.

ජාති, ආගම් භේද  පසෙකලා මෙම වේදිකාවට නායකයින් පැමිණ සිටින්නේ රට වෙනුවෙනුයි. නමුත් සමහර නායකයින් ඊළඟ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් රට පාවාදීමට කටයුතු කර තිබෙනවා. නමුත් අද අප පෙනී සිටින්නේ ජාති ආගම් කුල භේද නොසළකා ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයා වෙනුවෙන් බව ආඩම්බරයෙන් කියනවා.

මේ රටට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැකි නායකයෙක් පමණයි. එය කළ හැකි  ජනාධිපති අපේක්ෂක ලයිස්තුවේ සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.  එතුමාට ආර්ථිකය ස්ථාවර කරන්න තව වසර පහක්ම අවශ්‍ය වන්නේ නැහැ. එතුමා වසර හතරක් ඇතුළත ආර්ථික ස්ථාවර කරන බව විශ්වාසයි.  

කිසිම සැකයකින් තොරව ඔබ සැමට ලබන 21 වෙනිදා ඡන්දපොළට ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න.  22 වෙනිදාට එතුමා ජයග්‍රහණය කරන විට ඔබ සියලු දෙනා  එම ජයග්‍රහණයේ සාඩම්බර කොටස්කාරයන් වන ලෙස මා ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් ද, පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අංජන සඳරුවන්, එක්සත් ජාතික පුත්තලම දිස්ත්‍රික් පක්ෂ සංවිධායක මෝසෙස් ජේ. සුදාසන්, හිටපු පළාත් අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ, හිටපු පළාත් සභා මන්ත්‍රී එහියා ආබ්දින්, නාත්තන්ඩිය එජාප කලාප සංවිධායක රොෂාන් ලෝ යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, කලාප සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more