අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම අගෝස්තු 29 වනදා රටට ඉදිරිපත් කරනවා

• සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණියන් වෙනුවෙන් සුරක්ෂිත ශ්රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත්.

• ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු ආදායම් අඩු කළහොත් රුපියල් බිලියන 200කට වැඩි රාජ්‍ය ආදායමක් අහිමි වෙනවා.

• රාජ්‍ය ආදයම් අඩු කර, වියදම් ද ඉහළ නංවන්නේ කෙසේද යන ගණිත ගැටළුව ඔවුන් ජනතාව ඉදිරියේ විසඳිය යුතුයි.

• වැල් පාලම කපා දැමුවහොත් රටම ගඟට වැටෙනවා - ජනපති මාවනැල්ලේ දී කියයි.

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු  29 වන බ්‍රහස්පතින්දා රටට ඉදිරිපත් කරන බවත්, සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මාවනැල්ල බස් නැවතුම්පොළ අසළ අද (27) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

මාවනැල්ල ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම ජන රැලියට එක්වී සිටි අතර ඔවුහු මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගත්හ.

ජාතික ජනබලවේගයේ මාවනැල්ල අලුත්නුවර කොට්ඨාස සංවිධායක ප්‍රසන්න ඉන්දික මහතා ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීම ද විශේෂත්වයකි.

එමෙන්ම විශ්‍රාමික හමුදා සමූහයේ මාවනැල්ල ආසන සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමක් ද වේදිකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට සහාය පළ කළ අතර රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සවිබල ගැන්විම සඳහා ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර උදෙසා උපහාර පුද කිරීම ද සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට නම් වැල් පාලමේ ගමන ඉදිරියටම යා යුතු බවත්, වැල් පාලම කපා දැමුවහොත් වැටෙන්නේ ගඟට යන සත්‍යයද ජනතාව අවබෝධ කරගත යුතු බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු ආදායම අඩු කිරීම සිදු කළහොත් රාජ්‍ය ආදායම බිලියන 200කට වැඩි මුදලක් අඩු වන බවත් ඔවුන් පවසන අන්දමට  බඩු මිල අඩු කිරීමක් ද සිදු කළ නොහැකි අතර ආදායම් අඩු කර, වියදම් වැඩි කර ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද යන ගණිතය නොදන්න ඔවුන් ජනතාව නොමග යවමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මම මීට පෙර මාවනැල්ල දේශපාලන වේදිකාවක කථා කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇමතීම සඳහායි. අද මම මේ දේශපාලන වේදිකාවට පැමිණියේ සියලු පාක්ෂිකයන් වෙනුවෙන් කතා කිරීමටයි. මගේ නායක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා උගන්වා තිබුණේ රටට අසීරු කාලයේ පක්ෂය අමතක කර රට ගැන හිතන්න කියලයි. 1971 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ලෙස  එතුමා ප්‍රකාශ කළා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේ සහයෝගය ආණ්ඩුවට ලබා දෙනවා කියලා. එම අවස්ථාවේ අපේ පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුතා සිර භාරයට ගෙන තිබුණා. නමුත් එතුමා ප්‍රකාශ කළේ ඒවා අපි පසුව විසදා ගමු පළමුව රට බේරාගත යුතුයි කියලයි. එවන් අවස්ථා ගණනාවක් අපේ දේශපාලන ඉතිහාසයේ තිබෙනවා. ඒ නිසා රටට අසීරු අවස්ථාවේ පක්ෂ වශයෙන් අප එක් විය යුතුයි.

අද සෑම පක්ෂයකම කණ්ඩායම් මෙහි සිටිනවා. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අනුගමනය කරනවා නම් පක්ෂ දේශපාලනයට පෙර රට ගැන සිතා කටයුතු කරමු කියා මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසීමට කැමතියි. මම ගිහින් මේ පක්ෂ සමඟ එක් වුණා කියා කිසිවෙක් හෝ මට චෝදනා කරනවා නම් ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන බව මම ප්‍රකාශ කරනවා.

විපක්ෂනායකවරයා කියන්නේ රටේ විකල්ප අගමැතිවරයායි. ඔහු රට අසීරු අවස්ථාවකට මුහුණදුන් විට ඒ වගකීම භාරගත්තේ නැහැ. ඒ නිසා ඔහු එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවෙයි.

එදා ගෑස් පෝළිම්, තෙල් පෝළිම් තිබුණා. ප්‍රචණ්ඩත්වය රටම වෙළාගෙන  තිබුණා. සෑම කෙනෙක්ම දුක් වින්දා.  මම රට භාරගත්තේ එම දුක නැති කිරීමටයි . ඒ වෙනුවෙන් මට සියලුදෙනා සහාය ලබා දුන්නා. ඒ නිසා මට රට ගොඩගැනීමට හැකියාව ලැබුණා.

අද අප ආර්ථික ස්ථාවරභාවය කරා සාර්ථකව ගමන් කරනවා. ජිවන බර තවත් අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කරනවා. ආර්ථිකය ස්ථාවර කර අප අපනයන ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි.  අප මෙම සටන ජයග්‍රහණය කරන්නේ එවිටයි. අප  දරු පරපුර වෙනුවෙන් හොඳ අනාගතයක් ගොඩනඟා දියු යුතුයි.

ඒ වෙනුවෙන් අප පැමිණි මාර්ගයේ ඉදිරියටම ගොස් වැල් පාලම තරණය කළ යුතුයි. එතැනින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ඇතැම් අය කියනවා බදු අය කිරීම නවත්වනවා කියලා. එවිට රටේ ආදායම අඩු වෙනවා. ඔවුන් ඒ කියන්නේ වැල්පාලම කපා දමනවා කියලයි. වැල් පාලම කැපුවොත් අප රටම ගඟට වැටෙනවා. ඒ නිසා වැල් පාලමේ ඉදිරියට යනවද, වැල් පාලම කපනවද කියා තීරණය කළයුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බදු ආදායම අඩු කළහොත් රටේ ආදායමට රුපියල් බිලියන 200කට වැඩි මුදලක් අහිමි වෙනවා. මෙම වියදම් පියවා ගන්නේ කොහොමද, එසේනම් ඔවුන් වැල් පාලම කපා දමනවාද කිව යුතුයි. එක පැත්තකින් රජයේ ආදායම් අඩු කර ගන්නා විට අනිත් පැත්තෙන් බඩු මිලද අඩු කරන බව පවසනවා.  ආදායම් අඩු කර වියදම් වැඩි කළ නොහැකිය  කියන ගණිතය ඔවුන් දන්නේ නැතිව ඔවුන් කටයුතු කරන්නේ වැල් පාලම එක පැත්තකින් නොවෙයි දෙපැත්තෙන්ම කපා දැමීමටයි. ඔවුන් ජනතාව නොමඟ යවමින් සිටිනවා.

මම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වා. සියලුදෙනා මෙය කියවිය යුතුයි. එය කියවීමට අඩුම තරමින් මාස 02,03ක් වත් යනවා. ඒ අතර සැප්තැම්බර් 21 වනදා ඔබ ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.

අපේ උත්සාහ යන්නේ වැල් පාලමේ ගමන අතහරින්නේ නැතිව ඉදිරියට යාමටයි. අපි ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතුයි. අපනයන ආර්ථිකයක් පමණක් නොව ආර්ථික සංවර්ධනය සමඟ ශක්තිමත් වූ පසු අපට බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙනවා.  ඉන් පසුව ක්‍රමානුකූලව බදු අඩු කළ හැකියි. එසේ පැවසීම මට දේශපාලන වශයෙන් අවාසි වුණත් මෙම සත්‍ය ජනතාව දැන සිටිය යුතුයි.

මෙම ආර්ථිකය ඇති කිරීමට අවශ්‍ය නීති අප මේ වන විටත් සම්මත කරගෙන තිබෙනවා. දැන් තිබෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට පමණයි. නමුත් අනෙක් පාර්ශ්වයන්ට මෙවන් වැඩපිළිවෙළක් නැහැ. අද සමගි ජන බලවේගය තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය දන්නේ නැහැ. එක පැත්තකින් හර්ෂ ද සිල්වා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා අනිත් පැත්තෙන් නාලක ගොඩහේවා තව එකක් කියනවා. එම පක්ෂය තුළ කඹ ඇදිල්ලක් පමණයි තිබෙන්නේ.

අලුත් ලංකාවක් වෙනුවෙන් අපගේ සැලැස්ම සහ දැක්ම මෙම බ්‍රහස්පතින්දා මම රටට ඉදිරිපත් කරනවා. සියලු ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උදා කර දී තරුණ තරුණියන්ට හොද අනාගතයක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළ එහි ඇතුළත් වෙනවා. අප සියලුදෙනා එකතුවෙලා ඉදිරියට යමු.

අමාත්ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා,

අපි ඉතා තීරණාත්මක මැතිවරණයක් අභියසට පැමිණ තිබෙනවා. ඕනෑම මැතිවරණයක් පැවැත්වුණු පසු කවුරුන් හෝ ජයග්‍රහණය කරනවා. අනෙක් අය පරදිනවා. නමුත් වැදගත් වන්නේ මැතිවරණය ජයග්‍රහණය කිරීම පමණක් නොවෙයි. ඡන්දයෙන් පස්සේ රට පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඔබ ඒ ගැන සිතා බැලිය යුතුයි.

2019 වසරේ අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හැට නව ලක්ෂයක් ඡන්ද ලබාදී ජයග්‍රහණය කරවූවා. නමුත් ඉන්පසුව අපේ ජනතාවට විඳීමට සිදුවූ දුක් සහ ගැටළු පිළීබඳ මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. කොටින්ම කියනවා නම් මුදල් අමාත්‍යාංශය භාර ගැනීමට කෙනෙක් නැති වුණා. හිටපු ජනාධිපතිතුමා මට මුදල් අමාත්‍යධූරය භාරගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව මම මුදල් අමාත්‍යාංශය භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ මොහොතේ රට වෙනුවෙන් සියලුදෙනා එකතු කරගන්නා ලෙස ඔවුන් සඳහන් කලා. ඒ අනුව අප විපක්ෂ නායකතුමා ඇතුළු පිරිසට ආරාධනා කළා. නමුත් ඔවුන් පැනගියා. ඔවුන් රටේ අනාගතයට වඩා තමන්ගේ අනාගතය ගැන හිතුවා. නමුත් අපි පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධූරයක් තිබූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආරාධනා කළ අවස්ථාවේ එතුමා නොබියව මේ අභියෝගය භාරගත්තා. එහි ප්‍රතිඵල අද ඔබ සියලුදෙනාමට ඇස්පනාපිට දක්නට තිබෙනවා. එනිසා ඒ ප්‍රගතිය රටට අත්කරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ජාති ආගම් කුල භේදයකින් තොරව එක්වන ලෙස අප සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා ජාති ආගම් කුල භේදයකින් තොරව රටේ සියලුම පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් බැඳී සිටිනවා.

රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා,

ආර්ථික ආගාධයේ ගිළෙන්නට ගිය මේ රට බේරා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට විවාදයක් නැහැ. හැබැයි අද ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වී සිටිනවා. නමුත් එදා පැවති දැවැන්ත අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජාතියේ වගකීම භාර නොගත්තා නම් මොකක්ද වෙන්නේ? ඒ බව  මේ රටේ ජනතාවට මතකයි. මම මේ ප්‍රශ්නය පසුගියදා පැවති කුඩා කණ්ඩායම් රැස්වීමකදී ඇහුවා. එවිට වයසක අම්මා කෙනෙක් පිළිතුරු දෙමින් පැවසුවේ ‘එතුමා නොහිටියා නම් අපි මැරිලා කියලයි. ඒ තමයි මේ රටේ ජනතාවගේ හැඟීම. මේ රටේ හඬක් නැති අහිංසක ජනතාව සැප්තැම්බර් 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ වෙනුවෙන් කෘතගුණ සළකන්න සූදානමින් සිටිනවා. එතුමා වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන්න මේ රටේ පොඩි මිනිස්සු සූදානමින් සිටින බව මම කියන්න කැමතියි. ඔවුන් ජීවත් වෙන්නේ ඔබතුමා නිසා කියා ඔවුන්ගේ හදවතේ තිබෙනවා.

මේ කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කර මා වටහා ගත් එක් දෙයක් තිබෙනවා. මේ කටයුත්ත කළ හැකි වෙන කෙනෙක් නොමැති බව මා කියනවා. ළිඳට වැටුණු අපි දැන් ළි‍ඳේ කට පෙනි පෙනී ඉන්නේ.ඒ වැටුණු ළි‍ඳෙන් මේ රට ගොඩ ගන්න ඒ වෙන්ුවෙන් නායකත්වය දෙන්න ඔබතුමාට සම කරන්න, ඒ අත්දැකීම්, උගත්කම සහිත තීරණ ගත හැකි ඒ වගේම ජාත්‍යන්තරයට කෙළින් කතා කර තීරණ ගත හැකි එක් අයෙක්වත් මේ අපේක්ෂකයින් තිස් නවයේ නැහැ. ඒ නිසා කළ හැකි යහපත් සියල්ල කරමින්, අපේ අභිමානය රකිමින් සැප්තැම්බර් 22 වනදාට එළි වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාගත ජයග්‍රහණයක් අත් කර දෙමු.

රාජ්ය අමාත්ය තාරක බාලසුරිය  මහතා,

2022 දී විදේශයන් හිදී අපෙන් ඇහුවේ ඔබලාට කෑම තියෙනවා ද? බෙහෙත් තියෙනවා ද? ඉන්ධන තියෙනවාද?  අපට ඔබලා වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියලයි. ඇත්තටම ඒ අවස්ථාවලදී අපට ඇති වුණේ ලැජ්ජාවක්. නමුත් ඒ අද අපි රට නියෝජනය  කරමින් වෙනත් රටකට යනවිට  ඔවුන් අහන්නේ, අවුරුදු දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළ දී මෙවැනි ආර්ථික වර්ධන වේගයක් ඇති කර ගන්න පුළුවන් වුණේ කොහොමද කියලයි. ශ්‍රී ලංකාව  ඉතාම කෙටි කාලයකින් ගොඩ ගැනීමට හැකි වුණේ කොහොමද කියලයි.  මම ඒකට පිළිතුරු දෙකක් දෙනවා.

පළවෙනි පිළිතුර අපට  නිවැරදි නායකත්වයක් ඇති නායකයෙක් හම්බ වුණා. දර්ශනයක් තිබෙන නායකයෙක් හමුවුණා .  ඒ නායකයාගේ වැඩපිළිවෙළ මත ඉතා කෙටි කාලයකින් අපට මේ රට අනෙක්  පැත්තට හරවා ගන්න පුළුවන් වුණා කියලා මා ආඩම්බරයෙන් පිළිතුරු දෙනවා. ඒ වගේම  මාගේ දෙවෙනි පිළිතුර වන්නේ අපේ විදේශ සබඳතා යි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ  නායකත්වය නිසා අපට අද සියලුම රටවල් සමඟ හොඳ විදේශ සබඳතා තියෙනවා. ඒ නිසා  අපට ඉතාම කෙටි කාලයක දී විදේශ රටවල් 18ක් සමඟ සාකච්ජා කර ඉතා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරන්න හැකි වුණා. ඒ තමයි නායකත්වයේ වෙනස. එකම එක නායකයටයි,  එවන් විදේශ සබඳතා තිබෙන්නේ. ඒ  නායකයා ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මැතිතුමායි.

රාජ්ය අමාත්ය කනක හේරත් මහතා,

ජනාධිපතිතුමනි, ඔබතුමා ඉතාම කෙටි කාලයක් තුළ රටේ ආර්ථික සමාජ සහ දේශපාලන ස්ථාවරභාවය ඇති කරමින් කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ද ඔබතුමා විශාල දායකත්වයක් ලබාදුන්නා. ඒ වෙනුවෙන් අප ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. වසර ගණනාවක් සිදු නොවී තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන කටයුතුද ඔබතුමා ආරම්භ කළා.  අපේ දිස්ත්‍රික්කයේ සිටින තරුණ ප්‍රජාව වෙනුවෙන් යෝජිත කුරුණෑගල විශ්ව විද්‍යාලයේ පීඨයක්, පින්නවලට ලබාදුන්නා. රටේ අනාගතය අපේ තරුණ පරපුරයි. දෙමාපියන්ගේ බලාපොරොත්තුව අපේ තරුණ පරපුරට හොඳ අනාගතයක් උදාකර දීමයි.

අපත් සමඟ අද එක්වුණු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයා ප්‍රකාශ කර සිටියේ අපේ රටේ තරුණ පරපුරට අනාගතයක් නිර්මාණය කර දිය හැකි නායකයා වෙනුවෙන් සහයෝගය ලබා දිය යුතු බවයි. එනිසා මේ මැතිවරණයේදී ඔබතුමා ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය විජයග්‍රහණය කරද්දී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම ප්‍රතිශතයකින් ඔබතුමා ජයග්‍රහණය කරවීමට අප කැපවී සිටින බව සඳහන් කළ යුතුයි. ඔබතුමා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරියෙන්ම සිටින දිස්ත්‍රික්ක අතර කෑගල්ල දිස්ත්‍රික්කය ද තිබෙනවා. ඒනිසා මාවනැල්ල ආසනයත් අප ඉහළම ප්‍රතිශතයකින් ඔබතුමාව ජයග්‍රහණය කරවනවා. ඒ නිසා අපට තිබෙන්නේ කාරණා දෙකයි. වැඩ කරලා වැඩ පෙන්වපු නායකයා ජයග්‍රහණය කරනවාද? නැත්නම් කයිවාරු ගහමින් අභියෝග භාරනොගෙන පැනගිය අය තෝරාගන්නවාද කියලා ජනතාව තීරණය කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්රී උදයකාන්ත ගුණතිලක මහතා,

වසර දෙකකට පෙර මේ රටේ තිබුණු තත්ත්වය අපිට මතකයි. ජනතාවට තිබුණු බිය සැක නැති කරන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක ඒ සඳහා විට ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙකු ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එදා රජයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වූ ජනාධිපති කාර්යාලය ඇතුලු පරිපාලන ගොඩනැඟිලි අල්ලා ගත් පිරිස් පාර්ලිමේන්තුවත් අල්ලා ගැනීමට සූදානම් වුණේ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව අල්ලාගෙන ගිනි තිබ්බා නම් අපේ රටට අද ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් පැවැත්වීමට හැකිවන්නේ නැහැ. එසේ වූවා නම් අපේ රට අද පාලනය වන්නේ තුවක්කුවෙන් බයිනෙත්තුවෙන්.

ඒ සියල්ල වෙනස් කර මේ රට නිවැරදි මාර්ගයට ගෙන ඒමට හැකි වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මහතාටයි. 1971දී වගේම 1988, 1989 කාලයේදීත් ඡන්දය දුන්නා කියලා ඇඟිලි කැපුවා අපට මතකයි. අහිංසක මිනිසුන්ව අල්ලා ගෙන තට්ටේ බූගාපු හැටි මතකයි. ගල්කටස් එකෙන් වෙඩි තිබ්බ හැටි මතකයි. ත්‍රිවිධ හමුදාවන්ගේ රාජකාරී වැලැක්වීමට සිදු කළ බලපෑම් අපට මතකයි. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැදිහත් වීම ඉතා වැදගත්. එනිසා එතුමාගේ ජයග්‍රහණය කර මේ රට ජයග්‍රහණය කරවීම සඳහා ගෑස් සිලින්ඩරය ඉදිරියේ ඔබේ ඡන්දය සලකුණු කරන ලෙස ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්රී සුදත් මංජුල මහතා,

පක්ෂ පාට බේදයකින් තොරව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳ ගෙන සිටින්නේ ඇයි කියන කාරණය ඔබ සියලු දෙනා දන්නවා. ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීමේ අභියෝගය බාර ගත් ජනාධිපතිතුමාට ජාතියේ යුතුකම ඉටු කළ යුත්තේ ඇයි කියන කාරණයත් ඔබ දන්නවා. ඒ වෙනුවෙන් අද කෑගල්ලේ මුළු පාර්ලිමේන්තු බල මුළුවම එකට එක්ව සිටිනවා.

කෑගල්ලේ අපි කවදත් කළගුණ දන්න, කළගුණ සැළකීමට දන්න පිරිසක් බව කිව යුතුයි. ඒ යුතුකම ඉටු කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කෑගල්ලේ අපි සූදානම් බව අද ප්‍රකාශ කරනවා. මේ රටේ සැබෑ සංවර්ධනයත්, සමෘද්ධියත් ඇති කිරීමට සැප්තැම්බර් 21 වැනිදාට එතුමා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න කෑගල්ලේ අපි සියලු දෙනා කටයුතු කරන බව ඔබ සියලු දෙනා වෙනුවෙන් මම මේ අවස්ථාවේ සඳහන් කරනවා.

පාර්ලිමේන්තු සාරතී දුෂ්මන්ත මිත්රපාල මහතා,

මේ රටේ ප්‍රධාන පක්ෂ සියල්ලක්ම පාහේ නියෝජනය කරන මහජන නියෝජිතයින් මේ වේදිකාවට එක්ව සිටිනවා. ඒ සියලුදෙනා දෙන එකම පණිවුඩය සැප්තැම්බර් 22වෙනිදා උදාවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් මේ රටේ ජනාධිපතිධූරයට පත්කරමින් බව කිව යුතුයි. පසුගිය සතියේ මාවනැල්ලේ සමගි ජනබලවේගයේ රැස්වීමක් පැවැත්වුණා. ඒ රැස්වීමට සහභාගී වූ ජනතාවට වඩා තුන් හතර ගුණයක ජනතාවක් අද මේ මාවනැල්ල නගරයට එක්රැස්ව සිටිනවා. එයින්  කියාපාන්නේ නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරන බවයි.

අපට දේශපාලන ප්‍රශ්න තිබිය හැකියි. නමුත් ඊට එහා ගොස් විසඳිය යුතු ජාතික ගැටළුක් තිබෙනවා. අද මේ රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් තිබෙනවා. එනිසා අපේ ජනතාව තව දුරටත් අත්හදා බැලීම් සිදු කරන්න සූදානම් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රොටී කඩයක්වත් කරලා නැති අනුර කුමාරට මේ කටයුතු කරන්න පුලුවන්ද? එතුමා පසුගියදා ලක්ෂ 500ක 600ක ප්‍රාඩෝ එකකින් ගිහින් ජනරැළියකට ගිහින් බැස්සා.  හැබැයි එතුමා ඒ දවස්වල කතා කළේ මරුටියෙන් ඇල්ටෝ එකෙන් ගිහින් කරන දේශපාලනයක් ගැනයි. එහෙම කියපු අනුර කුමාරට අද මොකද වුණේ? ජනතාව මේ ගැන අවධානය යොමු කළාම ඊට බයවුණු අනුර කුමාර පහුවදාම හයි ඒස් වෑන් එකකින් ජනරැළියට ආවා. අනුර කුමාර දිසානායක මහත්තයාට ගිය කළ. ඒ නිසා ජනතාව තවදුරටත් අන්දන්න බැහැ. ජනතාව මේ මොහොතේ පෙළ ගැසී සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.

පාර්ලිමේන්තු මන්ත්රී රාජිකා වික්රමසිංහ මහත්මිය,

එදා 2022 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  නික්ම යාමත්, මේ රටේ ඇතිවු ආර්ථික හා සංවර්ධන පසුබෑමත් සමඟ අනෙක් නායකයින් සියලුම දෙනා රටේ වගකීම බාර නොගෙන පසුබැස්සාම එදා මේ රටේ වගකීම භාරගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ලෝකයේ ගන්න අමාරුම බලය දේශපාලන බලයයි. හැබැයි බන්දේසියක තියලා දෙනකොටත් ඒක භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එනිසා මේ මැතිවරණයේදී ඔබ ජයග්‍රහණය කරා ගෙන යා යුත්තේ කාවද යන්න ඉතාම බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි.

වෛරී දේශපාලනයෙන් මිදී අපේ අනාගත පරපුරට සුරක්ෂිත හා සංවර්ධිත රටක් නිර්මාණය කළ යුතුයි. ඔබ වැරදි තීරණයක් ගතහොත් ඒ වෙනුවෙන් සියලුදෙනාටම වන්දි ගෙවීමට සිදුවෙනවා. එනිසා ගමක් ගමක් පාසා යන්න. ගෙයක් ගෙයක් පාසා යන්න. මේ මැතිවරණයේ පවතින වටිනාකම සහ අනාගතයේ පවතින අවධානම පිළිබඳ ජනතාව  දැනුවත් කරන්න. ඒ හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනවා රට දිනවන්න එක්රොක් විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් මහතා,

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබ තෝරා ගන්නේ අභියෝගවලට බය නායකයෙක්ද, එසේත් නැත්නම් බය නැතුව අභියෝග භාරගන්නා නියකයෙක්ද කියා මම අහන්න කැමතියි. එදා පසුබැස ගිය අය අද ආණ්ඩු බලය ඉල්ලා සිටිනවා. . එදා ඔවුන් කිව්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තොත් රටම අඳුරේ ගිලෙනවා කියලා.  ඩොලරයේ වටිනාකම රුපියල් 2000ක් වනු ඇති බව කිව්වා. ඒ සියල්ල අද බොරු වෙලා තිබෙනවා.

ලංකාව බංග්ලාදේශය වගේ වෙනවා දකින්න ඔබ කැමතිද? මේ මැතිවරණයේදී ඔබ වැරදි තීරණයක් ගන්න එපා. ඔබ එසේ කළහොත්, තවත් මාස 6 කින් ඔබ‍ට එදා වගේ නැවතත් පාරට එන්න සිදු වනවා නියතයි.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා,

මේ මැතිවරණයේදී අපට සිතන්නට තිබෙන්නේ සුළු කාරණා කිහිපයක් පමණයි. අපි අද මේ වේදිකාව වටා එක්රොක් වී සිටින අවස්ථාවේ බංගලාදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය දෙස බලන්න. ඒ තත්ත්වයට මේ රට කඩා වැටෙමින් තිබුණු අවස්ථාවේදී, දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන නායකයෝ පැනලා ගියා. ඒ මොහොතේදී කිසිඳු බියකින් තොරව මේ රට ගොඩගැනීමට තමන් සතු අත්දැකීම්, දේශපාලන පරිණතභාවය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවන් භාවිතා කරමින් මේ රට භාරගත් එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා අද අප එක්ව සිටිනවා. එනිසා එතුමාට ඉදිරි වසර 5 සඳහා මේ රට භාරදිය යුතුයි. එසේ නොමැති නම් ගෑස්, ඉන්ධන, ආහාර තියා දරුවෙකුට කැඳ ටිකක් හෝ ලබාදීමට හැකියාවක් නොමැතිව එදා විඳපු දුක් සමඟ ගෙවන කාලයකට නැවතත් මේ රට ඇදගෙන වැටෙනවා.

දැන් මහලොකුවට කෑ ගහන සමගි ජනබලවේගය හෝ ජාතික ජනබලවේගය එදා හිටියේ නැහැ. අද අපට සිතන්නට තිබෙන්නේ ඒ පිළිබඳවයි. මේ අපේක්ෂකයින් සියලු දෙනා අතර අත්දැකීම්, දේශපාලන පරිණතභාවය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවන් මේ සියල්ල සපිරි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඔය කයිවාරු ගහන කිසිම කෙනෙකුට ඒ කිසිවක් නැහැ.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

අද අපි ඓතිහාසික අවස්ථාවකට එළඹ සිටිනවා. මේ රටේ අනාගතය තෝරා ගන්නේ ඔබගේ කතිරයෙන් බව කිව යුතුයි. ඔබේ දූ දරුවන්ගේ අනාගතය තීරණය කරන මැතිවරණය මෙයයි. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී අප දුන් ඡන්දයෙන් බලාපොරොත්තු වූ දේ අපට ලැබුණේ නැහැ. ඒ බලාපොරොත්තු සුන් වුණා.  අපේ සිහින කඩා වැටුණා.

අද රටක් ලෙසත් ජාතියක් ලෙසත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව සිටිනවා. එතුමා 2022 වසරේ සිට මේ දක්වා පියවරෙන් පියවර මේ රට ඉදිරියට ගෙන ගිය ආකාරය අප දුටුවා. අද පක්ෂ රැසක නායකයින් එතුමා පිළිබඳ විශ්වාසය තබා තිබෙන්නේ ඒ නිසයි. මේ අවස්ථාවේ දීත් විවිධ පක්ෂ නියෝජනය කරමින් විවිධ වර්ණයෙන් සැරසී බොහෝ පිරිසක් පැමිණ සිටිනවා. එයින් අප රටට පෙන්වන්නේ අද පක්ෂ පාට බේදයකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් මේ රටේ නායකත්වය බාර දීමට ජනතාව පෙළ ගැසී සිටින බවයි.

Read more