මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ ජනපති මැණික් කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරයි

• මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්ය බලපත්ර ලබාදීමේ නීති  ලිහිල්  කරනවා.

• අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය  ඉහළ නංවා ගැනීම  ඉලක්කයයි - එහිදී මැණික් කර්මාන්තයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා.

• මැණික් කර්මාන්තයේ ප්රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය.

• මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්ය ආයෝජන කලාපයක් රත්නපුරයේ ඇති කරනවා - ජනපති .

මෙරට මැණික් කර්මාන්තයේ  ප්‍රවර්ධනය වෙනුවෙන් මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීමේ නීති  ලිහිල්  කිරීමට කටයුතු කරන බවත්, වැවිලි සමාගම් සතුව පවතින මැණික් ඉඩම් නිසි  සැලැස්මක් ඔස්සේ මැණික් කර්මාන්තකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පැල්මඩුල්ල සිල්වරේ හෝටලයේ අද (03)  මැණික් කර්මාන්ත කරුවන් සමඟ පැවති හමුවකට එක්වෙමිනි.

මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ඇතුළත්  යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය  ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිතිවරයා මැණික් කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින්  ඩොලර් බිලියන 1 – 2ත් අතර ප්‍රමාණයක් ජාතික ආර්ථිකයට එක් කිරීමට හැකියාව ලැබෙන බවද  පැවසීය.

මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන කලාපයක් රත්නපුරයේ ඇති කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපති රනිල්  වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මැතිවරණ සමය නිසා  බොහෝ අපේක්ෂකයන්  ඔබගේ සෑම ඉල්ලීමකටම එකඟ වී තිබෙනවා. නමුත් මම මේ රටේ දියුණුව  අපේක්ෂා කරනවා.

අපි අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය  වැඩිකර ගතයුතුයි. මීට වසර දෙදහකට පෙර සිටම අපේ රටේ  මැණික් කර්මාන්තය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මැණික් කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් අපට ඩොලර් බිලියන 1 - 2 ත් අතර ප්‍රමාණයක්  උපයා ගැනීමට හැකියාව තිබෙනවා.

ඉන්දියාව, බංග්ලාදේශය, ඩුබායි වැනි රටවල්  මැණික් කර්මාන්තයෙන් ඉහළට ගිය රටවල්. නමුත් අපේ රටේ තවමත් මැණික් කර්මාන්තය දියුණු වී නැහැ. එනිසා අපි මෙයින් ඉදිරියට යා යුතුව තිබෙනවා. අප රට මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය සම්පත් හා හැකියාව අප සතුව තිබෙනවා

ඒ අනුව ඒ සඳහා  අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් බව කිවයුතුයි. ඒ සඳහා අපේ මැණික් ප්‍රමාණය වැඩි කරගත යුතුයි. වැවිලි සමාගම් සතු ඉඩම් වල පවතින මැණික් ලබාගැනීමට නිසි සැලැස්මක් ඔස්සේ මැණික් කර්මාන්තකරුවන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

මේ දිස්ත්‍රික්කයේ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවලද මැණික් පවතිනවාදැයි සොයා බැලිය යුතුයි. ඒ සඳහා අපට නවීන තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒ සඳහා සමීක්ෂණයක්ද අපට කරන්න පුළුවන්.

අපට අවශ්‍ය මැණික් කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමටයි. ඒ වගේම  තරගකාරී වෙළඳපොලක් තුළින් අපේ මැණික්වල අගය වැඩිකර ගැනීමට හැකියාව තිබෙනවා.

අප රටේ ඇඟලුම් කර්මාන්තය අද දියුණු වී තිබෙනවා. මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන කලාපයක් මෙහි ඇති කිරීමට අපි අපේක්ෂා කරනවා. අප මේවා ගැන අලුතින් සිතිය යුතුයි.

මැණික් කර්මාන්තය නගා සිටුවීමට නම් පවතින නීති සහ රෙගුලාසි ලිහිල් විය යුතුයි. මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීමේ දී පවතින නීති  ලිහිල්  කිරීමට අප කටයුතු කරන බව කිව යුතුයි.

අපේ මැණික් ඉඩම් විදේශිකයන්ට ලබා  දෙන්නේ නැහැ. එම ඉඩම් මේ ක්ෂේත්‍රයේ නිරත වුවන් වෙනුවෙන් ලබාදීම අපේ අරමුණයි. ඒ වගේම පතල්කරුවන්ව ද අපට අමතක කරන්න බැහැ. ඔවුන්ගේ සුභසාධනය පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා.

ඔබගේ ඉල්ලීම් සම්බන්ධව ඉදිරියේ අප සාකච්ඡා කරමු. ඉන් අනතුරුව යම්කිසි එකකතාවයකින් යුතු ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් වැඩ කරමු. අද මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, හිටපු අමාත්‍ය මනූෂ  නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා, ලංකා මැණික් වෙළඳුන්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන් ඇතුළු මැණික් ක්ෂේත්‍රයේ  නිරත ව්‍යාපාරිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more