ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිවැරදි බව අනුර කුමාර පිළිගෙන අවසන්

• සජිත්ට IMF වැඩසටහන ගැන කිසිඳු අවබෝධයක් නැහැ.

• බලය වෙනුවෙන් බොරු කියන නායකයන්ට රටේ අනාගතය භාරදීමේ වරද කරන්න එපා.

• ජනතාව වෙනුවෙන් මා භාරගත් වැඩ කොටස නිසි ලෙසම ඉටු කළා.

• නියත වශයෙන් රට දියුණුව කරා ගෙන ගොස් තරුණ පරපුර වෙනුවෙන් වු යුතුකම ද ඉටු කරනවා - ජනපති හෝමාගමදී පවසයි.

වැටුණු රට ගොඩගැනීම වෙනුවෙන් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කළ වැඩසටහන නිවැරදි බව අනුර කුමාර ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති බවත්, සජිත් ප්‍රේමදාසට ඒ පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ හෝමාගම පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙහිදී ජනතාව  ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාව වෙනුවෙන් 2022 වසරේදී තමා භාරගත් වගකීම නිසි ලෙසම ඉටු කරමින් පසුගිය වසර දෙක තුළ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට කටයුතු කළ බවයි.

සැප්තැම්බර් 21 වනදා ලැබෙන ජනවරම සමඟ රට දියුණුව කරා ගෙන යමින් තරුණ පරපුර වෙනුවෙන් වූ වගකීම ද නිසි අයුරින්ම ඉටු කරන බව ජනාධිපතිවරයා  අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිවැරදි බව මේ වන විටත් අනුර කුමාර පිළිගෙන අවසන් බැවින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට තමන් සමඟ එක්වන ලෙස ඔහුට ආරාධනා කරන බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාසට IMF වැඩසටහන පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බැවින් එවැනි නායකයන්ට රට භාර දීමේ වරද මේ රටේ ජනතාව සිදු නොකළ යුතු බවද පැවසූ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට යාමට සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී තම යුතුකම ඉටුකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

මේ රට දැවැන්ත අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ සජිත් ප්‍රේමදාසත් අනුර කුමාරත් රටේ වගකීම භාර නොගත් බව අපේ බොහෝ කථිකයින් සාක්ෂි ඇතුව විස්තර කළා. ඒ ඉතිහාසගත වගකීම භාර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වීමත් සමඟ ඒ දැවැන්ත අභියෝගය ජයගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ අවස්ථාවේදී විපක්ෂයෙන් එල්ල වූ විවිධ බාධාවන් එතුමා තවත් පියවරක් ඉදිරියට තැබීමට ශක්තියක් කර ගත්තා.

හිටපු අමාත්‍යවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් ලෙස මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා සහ අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයකු වූ  රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් වෙනත් සුදුසු පුද්ගලයෙකු ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නෑ. ඒ බව මේ වසර දෙක තුළ එතුමා තහවුරු කර තිබෙනවා.  

රටේ ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට නම් මෙවන් ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. රාජ්‍ය පාලනය මෙහෙය විය හැකි නායකත්වයක් අවශ්‍යයි. ඒ වගේම ආර්ථික හා දේශාපාලන ස්ථාවරත්වය ඇති කිරීම හා නව අදහස් හරහා ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි පෞර්ෂයක්ද තිබිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ මේ සියල්ලෙන් පරිපූර්ණ එකම නායකයා ලෙස වගේම වැටුණු රට ගොඩ ගත් නායකයා ලෙසයි. එතුමාගේ අහලකින්වත් තැබිය හැකි අයෙක් අනෙක් අපේක්ෂකයන් අතර නැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදාට උදෙන්ම ඡන්ද පොළට ගොස් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම මාතෘ භූමියත් ජයග්‍රහණය කරවන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

මෑත දේශපාලන ඉතිහාසය තුළ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් සියලු දෙනාම හෝමාගම රැස්වීම් පැවැත්වූවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති රැළියට වැඩිම ජනතාවක් සහභාගී වී තිබීම සතුටට කරුණක් බව කිව යුතුයි.

මෙවර පැවැත්වෙන්නේ අපේ ජීවිත කාලයේ ජනාධිපතිවරුන් පත්කර ගැනීම සඳහා පැවති මැතිවරණ වලින් ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් බව කිව යුතුයි. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය 21වෙනිදාට ගෑස් සිලින්ඩරයට ලබා දීම ඉතාම වැදගත් වෙනවා.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීම මත ලංකාව ඉදිරියට ගමන් කරනවද? නැද්ද? යන්න තීරණය වෙනවා. වෙනත් අපේක්ෂ්කයෙකුට බලය දී මේ රට සහමුලින්ම වැනසිලා ඇෆ්ඝනිස්ථානයේ සිම්බාබ්වේ වැනි රටක් බවට පත්වෙනවාද? නැත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවා  සිංගප්පූරුව,  චීනය,  ඉන්දියාව, මැලේසියාව වැනි දියුණු මාවතට යනවද? යන තීරණය ඔබ ගත යුතුයි. දරුවන්ට හෙටක් තියෙනවද? අනාගතයක් නැති නරා වළකට වැටෙනවද? යන්න තීරණය කිරීමේ තීරණාත්මක කතිරය සැප්තැම්බර් 21 වෙනිදාට පාවිච්චි වෙනවා.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පූර්ණ ශක්තියක් ලබා දෙනවා. 1956 මේ රටේ සමාජ පරිවර්තනයක් ඇති කරපු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා, දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා ආරම්භ කරපු මහජන එක්සත් පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකොට, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙනවා.

ලෝකයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යතුමිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පෝෂණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් හෝ පුටුව ලකුණෙන් මේ මැතිවරණයට ඉදිරිපත් නොවී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය වෙනවා. ඒ නිසා 21 වෙනිදා ගෑස් ලකුණට කතිරය ගසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වරක් ජනාධිපති කරමු කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ආමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

සැප්තැම්බර් 22  වනදා පාර්ලිමේන්තුව විසුරුවන බව අනුර කුමාර කියනවා. අවශ්‍යනම් දැන් වුණත්  පාර්ලිමේන්තුව විසුරුවන්න හැකියාව තිබෙනවා.  නමුත් විසිරුවුවොත් පාර්ලිමේන්තුව නැහැ, පළාත් සභා නැහැ. ප්‍රාදේශීය සභා සහ නගර සභා නැති වෙනවා. මහජන නියෝජිතයන් කවුරුත් නැහැ. තනි පුද්ගලයෙක් මුළු රටේම බලය ගන්නවා. ව්‍යවස්ථාවේ 04 (ආ) වගන්තිය අනුව ආරක්ෂාව ද ඇතුළුව. ජනතාවගේ විධායක බලයයි ඒ පුද්ගලයාට ලැබෙනවා.  ලක්ෂ තුනක ත්‍රිවිධ හමුදාවක්. පොලිසියේ ලක්ෂයක් ඇතුළු සමස්ත රාජ්‍ය පාලනය ඔහුට හිමි වෙනවා.

එවැනි කණඩායමක නායකයෙකුට මේ සියලු බලතල සැප්තැම්බර් 22 දා ලැබු‍ණොත් රටේ ජනතාවට මොකද වෙන්නේ කියා සිතා බැලිය යුතුයි. ඉතිහාසය තුළ ආයුධ නැතුව, ඒවා හොරකම් කර ගෙන  ඔවුන් කළ කී දේ අපට මතකයි. එහෙම පිරිසකට නීතියානුකූලව ලැබෙන්නාවූ මේ බලය ඔවුන් මොන විදියට ක්‍රියාත්මක  කරයි ද කියා අප සිතිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා පස්වතාවක් මේ රටේ අගමැති ධුරය දැරුවා. දැන් ජනාධිපති ධුරය දරනවා. එතුමා අරගලය නවතා රට සන්සුන් කළා. එක උණ්ඩයක් වැය කළේ නැහැ.  

මම නීතිඥයෙක් විදියට කටයුතු කරන කාලයේ ඒ භායානක තත්ත්වය 88,89 කාලයේ දී අත්දුටුවා. වේනදා මෙන් සාමාන්‍ය තත්ත්වයක් යටතේ පැවැත්වෙන  මැතිවරණයක් නොවෙයි. මේක අවධානම් කාලයක පවත්වන මැතිවරණයක්. මේක කළමනාකරණ කළ යුත්තේ  දේශපාලනඥයෝ නොවෙයි රාජ්‍ය තාන්ත්‍රික ලෙසයි. මම අපේක්ෂකයන් 39 ක් දෙනාගෙන් අහනවා එක්කෙනෙක්වත් අතර රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඉන්නවාද කියලා රාජ්‍යතාන්ත්‍රිකභාවය කියන්නේ දේශාපලනයට එහා ගිය දෙයක්. බුද්ධිය,  උගත්කම,  කළමනාකරණය, වෙනත් රාජ්‍යයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාව, පරිනතභාවය ඇතුළු මේ සියලු දේ තියෙන එකම අපේක්ෂකයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අමාත්‍ය අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, මේජර් ප්‍රදීප් උඳුගොඩ, මධුර විතානගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල, නන්දන ගුණතිලක යන මහත්ම මහත්මීන්, හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

Read more