උතුරේ ජනතාවට සම්පූර්ණයෙන් නීතියේ ආරක්ෂාව ලබා දෙනවා : ජනපතිගෙන් සහතිකයක්

• උතුරේ ජනතාවට අනුර සිදු කළ තර්ජනය පිළිබඳ ලැජ්ජා විය යුතුයි.

• අනුර උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතුයි.

• යාපනය රැකියා මධ්‍යස්ථානයක් බවට පත් කරනවා.

• ආර්ථිකය වගේම සාමයත් ආරක්ෂා කරනවා - ජනපති.

උතුරේ ජනතාවට සම්පූර්ණයෙන්ම නීතියේ ආරක්ෂාව ලබා දෙන බවට ජනාධිපතිවරයා ලෙස තමා සහතික වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ගෙන යන අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවට තර්ජනය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔහු උතුරට පැමිණ සිදු කළ ප්‍රකාශය පිළිබඳ උතුරේ දෙමළ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බව කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (07) පස්වරුවේ යාපනය උඩුප්පිට්ටි ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

උතුරු ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කළ ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය නැවත ශක්තිමත් කරමින් සෑම පළාතකටම පුළුල් සංවර්ධනයක් ලබාදීම තම අරමුණ බවද කියා සිටියේය.

මෙහිදී ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අපි කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ උතුරට ගේනවා. එමඟින් ආහාර නිෂ්පාදනය ඉහළ නංවා අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා. එවිට මේ ප්‍රදේශවල ගොවි ජනතාවගේ අතට වැඩි මුදලක් ලැබෙනවා. නවීන කෘෂිකර්මාන්තයේ නිරතවන අයට අප විශේෂ ණය ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.

ඒ වගේම මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 50ක් දක්වා ඉහළ නංවා ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. අප පලාලි ගුවන් තොටුපොළ ආරම්භ කර දියුණු කළේ ද ඒ සඳහායි. මේ ප්‍රදේශයට සංචාරකයක් පැමිණීමත් සමඟ ජනතාවගේ ජිවනෝපායමාර්ග ඉහළ යනවා.

කංකසන්තුරේයි, පරන්තන්, මාන්කුලම් ආශ්‍රිතව සංචාරක කලාප තුනක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම යාපනය ඩිජිටල් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. යාපනයේ ජනතාව රැකියා සඳහා පිට යවන්නේ නැතිව යාපනය රැකියා මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි. ඒ වගේම මෙහි ධීවර කර්මාන්තය දියුණු කරනවා. යාපනය ජනතාවගේ  ජල ගැටලුව විසඳා දීමට අප යාපනයට ගංගාවක් වැඩසටහන ආරම්භ කරනවා.

ඒ වගේම මෙහි අධ්‍යාපනය වෙනුවෙන් අපි සුවිශේෂ වැඩකොටසක් කරනවා. පුහුණු විද්‍යාල වෘත්තීය විද්‍යාල බවට පත් කිරීම අපේ අරමුණයි. 2040 වසරට ගැළපෙන පරිදි පාසල් අධ්‍යාපනය සකස් කරනවා. මෙම වැඩපිළිවෙළ මම “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම අපි පළාත් සභා ක්‍රියාත්මක කරනවා. දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කළ විට එය මධ්‍යම ආණ්ඩුවට විතරක් කරන්න බැහැ. එම වැඩකටයුතු පළාත් සභාවලට ද පැවරෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යනවා.

මම තව එක් කාරණයක් සඳහන් කළ යුතුයි. මගේ මිත්‍ර අනුර කුමාර දිසානයක යාපනයට පැමිණියා. එහිදී ඔහු කිව්වා “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළගැසී තිබියදී එම වෙනසට එරෙහිවන්නන් බවට ඔබ පත්වුවහොත් කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වෙයිද කියා සිතන්න” කියලා. “ඒ වෙනසට විරුද්ධවූවන් ලෙස යාපනය හදුන්වනවට ඔබ කැමතිද” කියා ඔහු ප්‍රශ්න කරනවා.

මෙය තර්ජනයක්. ඒ වගේම බලහත්කාරකමක්. ජනතා විමුක්ති පෙරමුණේ තර්ජනය කිරීම් ඔහු පුරුදුවෙලා තිබෙන්නේ. උතුරේ ජනතාවට සම්පූර්ණයෙන් නීතියේ ආරක්ෂාව ලබා දෙන බවට ජනාධිපතිවරයා ලෙස මම සහතික වෙනවා. මෙවන් තර්ජන සිදු කිරීම් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ ලැජ්ජ විය යුතුයි. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාට මම කියනවා උතුරේ දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා. ඒ වගේම දකුණේ ජනතාව මේකට ගාව ගත්තට ඔහු දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතුයි.

ඒ නිසා රටේ ආර්ථිකයත්, සාමයත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා,

මීට අවුරුදු දෙකකට පෙර රට දැඩි අර්බුදයකට මුහුණ පා සිටියත් ක්‍රමිකව මේ වන විට රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වී තිබෙනවා.අද මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් වී තිබෙනවා.  නමුත් පසුගිය කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති දරුව්නගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට  උද්ඝෝෂණ, වැඩ වර්ජන සිදු කළා.ඔවුන්ගේ ඒ උත්සාහයන් සියල්ල පරාජය කරමින් ගුරුවරු ඇතුණ රාජ්‍ය සේවයකයින් සඳහා වාර්තාගත වැටුප් වැඩි වීමක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පියවර ගෙන තිබෙනවා. එපමණක් නොවෙයි. ලබන වසරේ ගුරු පත්වීම් ලක්ෂයක් ලබාදීමටද එතුමා සැලසුම් කර තිබෙනවා.

ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනාධිපතවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාපත් වන බව අපට විශ්වාසයි. පසුගිය දින කිහිපයේ පැවති තැපැල් ඡන්දය දෙස බලන විට ඉන් බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය පාවිච්චි කළ සුබ ආරංචි අපට දැන ගන්න ලැබී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරවා හරින බවට විවිධ ප්‍රචාර දියත් වෙනවා. නමුත් ජනාධිපතිතුමා 22වැනදා දිවුරුම් දීමෙන් පසු විසුරුවා හැරීමක් සිදු කරන්නේ නැහැ. රජය ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම මෙන්ම,  ලබන වසර සඳහා වූ අයවැය සම්මත කළ යුතුව තිබෙනවා. ජනවාරි 01 වන සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. වෙනත් කිසිම අපේක්ෂකයෙක් වැටුප් විෂමතාව විසඳන බව ප්‍රකාශ කර නැහැ. ඔවුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඉඩ නොදිය යුතුයි.

එනිසා විපක්ෂයේ බොරු සමීක්ෂණ වාර්තාවලට, සමාජ මාධ්‍ය වාර්තාවලට රැවටෙන්න එපා. උතුරේත් දකුණේත් අති බහුතරයකගේ ඡන්ද ලබා ගනෙ ලබන 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,  

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව මෙරට ජාතික දේශපාලනය වෙනුවෙන් විශාල සහායක් ලබා දෙනවා.අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නේ පුද්ගලයෙක් හෝ පක්ෂයක් ජයග්‍රහණය කරවීමට නොවෙයි. මේ රට දිනවීමටයි. එදා මේ රට කඩා වැටීමට ලක් වූ අවස්ථාවේ එතුමා රට නැවත ගොඩ ගැනීමේ අභියෝගය භාර ගත්තා. එතුමා දේශපාලන වාසි ගැන හිතුවේ නැහැ.එතුමා රටත් ජනතාවත් මුහුණ පා සිටි විපතින් ගොඩ ගැනීමට කැප වුණා. ඒ සඳහා දුෂ්කර  තීන්දු තීරණ ගැනීමට සිදු වුණා. එහි ප්‍රතිඵල අද රටේ ජනතාවට භුක්ති විඳීමට හැකි වී තිබෙනවා.

එතුමාගේ නිවැරදි දේශපාලන නායකත්වය නිසා රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. අපට දේශපාලනය කිරීමටද හැකියාව ලැබුණේද ඒ නිසයි. මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ  දකුණේ ජනතාව පමණක් නොව උතුරේ ජනතාවත් පීඩාවට පත්වුණා. කෘෂිකර්මාන්තය නිසියාකාරව කරගෙන යන්න බැරිවුනා. අද ඔබට පොහොර, ගෑස් ලැබෙනවා. තම ව්‍යාපාර නිදහසේ කරගෙන යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්,

මේ රටේ පැවැති මැතිවරණවලදී යාපනයේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තම ඡන්දය භාවිතා කළා. මෙවරද තමන් කාටද ඡන්දය දෙන්නේ කියාමේ වන විට යාපනය ජනතාව තීන්දු කර අවසන් බව කිව යුතුයි. යාපනයේ ජනතාව මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දී තිබුණත් මම එතුමාට ඡන්දය ලබා දෙන්නේ පළමු වතාවටයි.

විනාශයට පත් වී තිබූ මේ රට එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාර නොගත්තා නම් මේවන විට රට සෝමාලියාවට සමාන තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුණා. ඒ නිසා අවශ්‍ය වෙලාවට පැමිණි නායකයා  සමඟ අප සිටගත යුතුයි.

හින්දු ආගමික නායකයන්,  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් , යාපනය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති එස්. ත්‍යාගලිංගමි යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more