යාපනයේ ජනතාවගේ ගැටළු විසඳීමට දේශපාලන බලය බෙදීම මෙන්ම සංවර්ධනයත ද අවශ්‍යයි

• යාපනයත් රටත් සංවර්ධනයේ නව අදියරකට ගෙන එනවා - ජනපති යාපනයේ වෘත්තියවේදීන් හමුවේ පවසයි.

යාපනයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට දේශපාලන බලය බෙදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රදේශයේ සංවර්ධනය එහි අනිවාර්ය අංගයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අනෙක් සෑම පළාතකම සංවර්ධනයක් දක්නට ලැබුණත් යාපනයේ සංවර්ධනයක් සිදුවී නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය වෙනස් කරමින් යාපනයත් රටත් සංවර්ධනයේ නව අදියරකට ගෙන යාම තම අපේක්ෂාව බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ යාපනයේ වෘත්තීයවේදීන් සමඟ යාපනය වාලම්පූරි හෝටලයේ අද (14) පැවති හමුවකට එක්වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුවේදී වෘත්තීයවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබාදෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

මම අද ඔබ හමුවීමට පැමිණියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙනුයි. මීට වසර දෙකකට පෙර මේ රට භාර ගැනීමට කෙනෙකු නොසිටි අවස්ථාවේ මම මේ රට භාරගත්තා. නමුත් මේ වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 38 දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ අවස්ථාවේ ඔවුන් රට භාර ගැනීමට ඉදිරිපත් වුණා නම් මට ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ රට වෙනුවෙන් ඉදිරිපත් වුණේ මා පමණයි. අපි මෙතෙක් ලබාගෙන ඇති ජයග්‍රහණ තහවුරු කළ යුතුයි. අපි රට ස්ථාවර කර තිබෙනවා. නමුත් දැන් අපි නව ආර්ථිකයක් සමඟ ස්ථිර ක්‍රමයක් ඇති කරගත යුතුයි.

ලබාගත් ස්ථාවරත්වය මත අප ගොඩනැගිය යුතුයි. මෙතෙක් පැමිණි ගමන් මගේදී මුදල් මුද්‍රණය කිරීමෙන් වැළකීම සහ වැඩි වශයෙන් ණය ගැනීමෙන් වැලකීම වැනි දුෂ්කර තීරණ ගැනීමට මට සිදු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා අපට උපදෙස් දුන්නා. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා අපට වැට් බද්ද ඉහළ නැංවීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල ශක්තිමත් වී ඩොලරය රුපියල් 300ක මට්ටමට පැමිණියා. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් 10% සිට 40% දක්වා පහත වැටුණා. නමුත් මෙය ප්‍රමාණවත් නැහැ. බොහෝ දෙනෙකුට තවමත් එහි බලපෑම දැනෙන බව මා දන්නවා. ලබන වසරේ රුපියල තවත් ශක්තිමත් වන විට ජීවන වියදම තවත් සැහැල්ලු කිරීමට මා කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් ආකාරයට අපේ රට නැවතත් ඇද වැටීමකට ලක් නොවන බවට සහතික විය යුතුයි. ඒ සඳහා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව ඉදිරියට කටයුතු කළ යුතුයි.

මගේ ප්‍රතිවාදීන් විසින් බදු අඩු කිරීමට යෝජනා කරනවා. මමත් ඊට කැමති වුවත් ආර්ථිකය අවදානමට පත් කරමින් එවැන්නක් සිදු කළ නොහැකියි. අප එවැනි දුර්වල තීරණ ගතහොත්, ග්‍රීසිය වැනි රටවල සිදුවූ ආකාරයට වැට් බදු අනුපාතය 13% සිට 23% දක්වා වැඩි කිරීමටත්, රජයේ සේවකයින්ගේ වැටුප් අඩකින් අඩු කිරීමටත් සිදුවෙනවා. ග්‍රීසිය මුහුණදුන් තත්ත්වයේදී සමහරුන්ට රැකියා පවා අහිමි වුණා.

රැකියා කප්පාදුව සහ ආදායම් අඩුවීම් වළක්වා ගැනීමට පියවර ගනිමින් මම දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා. ප්‍රමාණවත් විදේශ විනිමයක් නොමැතිව, ආනයන මත යැපෙන ආර්ථිකයක් අපට ඇති කළ නොහැකියි. ගෙදරක වගේ අපිට හිතුමතේ ණය ගැනීමට බැහැ. එනිසා අප අපනයනය මූලික කරගත් ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි.

විශේෂයෙන්ම අපනයන සඳහා යාපනයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම තවත් ප්‍රමුඛතාවයක් වෙනවා. විශේෂයෙන්ම අප්‍රිකාවේ සහ ආසියාවේ ගෝලීය ජනගහනය වැඩි වන විට, කෘෂිකාර්මික අපනයන පුළුල් කිරීම මගින් අප මෙය ප්‍රයෝජනයට ගත යුතුයි. මීට අමතරව, ඩිජිටල් ආර්ථිකයක් බිහි කිරීම සහ උතුරේ නව ආයෝජන කලාප පිහිටුවීම කෙරෙහි ද  අපි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් සූර්ය හා සුළං බලය ඇතුළුව පුනර්ජනනීය බලශක්තිය ද ඒ තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.

මම යාපනයේ දේශපාලන ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා. නමුත් බලය බෙදීමට පමණක් යාපනයේ ප්‍රශ්න සීමා කළ නොහැකියි. මෙම ප්‍රදේශය සංවර්ධනය විය යුතුයි. අනෙක් සෑම පළාතකම සංවර්ධනයක් දක්නට ලැබුණත් යාපනයේ සංවර්ධනයක් සිදුවී නැහැ. යුද්ධයට පෙර යාපනය, කොළඹ, මහනුවර සහ ගාල්ල සමඟ රටේ තුන්වන හෝ හතරවන විශාලතම නගරය බවට පත්ව තිබුණා. අද ගාල්ල සහ මඩකලපුව යන නගර යාපනයට වඩා විශාල ලෙස සංවර්ධනය වී තිබෙනවා. එසේනම් අප දැන් යාපනයත් රටත් සංවර්ධනයේ නව අදියරකට ගෙන යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු වූ ප්‍රශ්න සහ ඒ සදහා ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය:

පසුගිය දශක කිහිපය තුළ උතුරු පළාතේ පිහිටා තිබූ රජයේ කර්මාන්තශාලා කිහිපයක් වැසී ගියා. එමඟින් විශාල පිරිසකට රැකියා අහිමි වුණා. ඔබේ රජය මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද?

පිළිතුර:

පසුගිය දශක කිහිපය තුළ බොහෝ කර්මාන්තශාලා වැසී ගියා. පරන්තන්හි සිමෙන්ති කම්හල වැනි ආයතන යුද්ධය හේතුවෙන් අක්‍රිය තත්ත්වයට පත් වුණා. කෙසේ වෙතත්, අපි දැන් නව ආයෝජන කලාපයක් සඳහා කන්කසන්තුරේ ප්‍රදේශය යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. පළමු කොටස කන්කසන්තුරේ ප්‍රදේශයේත්, දෙවන අදියර පරන්තන් ප්‍රදේශයේත්, තුන්වන අදියර මාන්කුලම් ප්‍රදේශයේත් වන ලෙස අක්කර දහසක් ඒ සඳහා යොදාගන්නවා. ඩිජිටල් කලාපයක් නිර්මාණය කිරීමට ද අප අවධානය යොමු කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ද මෙම සැලැස්මේ කොටසක් බවට පත් වෙනවා. ජාත්‍යන්තර තරගකාරී ප්‍රමිතීන්ට ළඟා වීම සඳහා උතුරේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට මගේ මූලික අවධානය යොමු වී තිබෙන බව ද කිව යුතුයි. ධීවර කර්මාන්තය ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් සූර්ය බලය සහ සුළං බලය උතුරේ සැබෑ මුදල් උපයන ක්‍රම බවට ඉදිරියේදී පත්වෙනවා.

ප්‍රශ්නය:

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වන ආචාර්ය සෙල්වා මහතා සහ මා, කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කරගත් පස් අවුරුදු සැලැස්ම සකස් කර ජනාධිපති කාර්යාලය ඇතුළු අදාළ ආයතන වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබතුමා දැනුවත් ද?

පිළිතුර:

ජාතික කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන අපට වාර්තාව ලැබී තිබෙනවා. මේ පිළිබඳ නව නීතිය සම්මත වන තෙක් බලා සිටිනවා. කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු එමඟින් ඔබ ඇතුළු මෙවැනි ව්‍යාපෘති සම්බන්ධීකරණය කරනු ලබනවා. අමාත්‍ය කනක හේරත් මහතා සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වන විට එම වාර්තාවේ තොරතුරු සමාලෝචනය කරමින් සිටිනවා.

මෙම අවස්ථාවට ආගමික නායකයින් ඇතුළු යාපනය ප්‍රදේශයේ සිටින විවිධ වෘත්තීන්වල නියැලී සිටින වෘත්තියවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more