තැපැල් ඡන්ද විමසීම ඇරඹුණා : සුබ ආරංචි ලැබී තිබෙනවා

• සජිත්ට දිනන්න බැහැ : ඔහු කරන මෝඩ වැඩවලින් අනුරට සහාය ලැබෙනවා.

• රට රැක ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉටු කරන්න - ජනපති මහියංගනයේදී එක්සත්ජාතික පාක්ෂිකයන්ට  කියයි.

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වූ බවත් ඒ සම්බන්ධව සුබ ආරංචි ලැබෙමින් තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ  රට ගොඩනගන වැඩපිළිවෙළ වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිතා කළ සියලු රාජ්‍ය සේවකයන්ට තම ස්තූතිය පිරිනමන බව පැවසීය.

සජිත් ප්‍රේමදාසට මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත්, ඔහු  කරන මෝඩ වැඩවලින් සිදු වන්නේ අනුරට සහාය ලැබීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා රට රැක ගැනීමේ  එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉටු කරමින් රට වෙනුවෙන් එකට වැඩ කිරීමට එක්වන ලෙස සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගනයේදී අද (04) පැවති " පුළුවන් ශ්‍රී ලංකා" විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර එම ජනතාව මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගත්හ.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂ වශයෙන් බෙදී වෙන් නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ රට තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යමින් රටේ ජනතාවට එදාට වඩා හොඳ අනාගතයක් උදා කර දීම වෙනුවෙන් බවයි.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද  තැපැල් ඡන්දය ආරම්භ වුණා.  සුභ ආරංචි ලැබී තිබෙනවා. මා වෙනුවෙන් ඡන්දය ලබා දුන් සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. වසර දෙකකට පෙර මේ ආකාරයට ඡන්දයක් පැවැත්වීමට හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

එදා මේ රටේ තිබු අවුල්සහගත තත්ත්වය මා අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඉන්ධන, ගෑස් හා ඖෂධ පොලිම් තිබුණා. රට පුරා ප්රචණ්ඩත්වය වපුරා තිබුණා. ආර්ථික අසීරුතා හමුවේ ජනතාව මහත් පීඩාවට පත්ව සිටියා.

මෙවන් තත්ත්වයක් හමුවේ මැතිවරණයක් පැවැත්වීමට හැකිවනු ඇතැයි කවුරුවත් සිතුවේ නැහැ. නමුත් මම සෑම විටම මෙම මැතිවරණය පැවැත්විය යුතු බව සිතුවා. ඒ වගේම මෙම මැතිවරණය පැවැත්විය යුතු බව මා සමඟ සිටි කණ්ඩායම ද සිතුවා. ඒ අනුව මැතිවරණයක් පැවැත්විය හැකි පසුබිමක් සකසා පුළුවන් ශ්‍රී ලංකා තේමාව යටතේ අපේ වැඩකටයුතු ආරම්භ කළා.

අද අප ජනතාව ඉදිරියට  පැමිණ තිබෙන්නේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකරලයි. දැන් රටේ ගෑස්,ඉන්ධන, ඖෂධ තිබෙනවා. ඒ වගේම භාණ්ඩ මිල අඩු වෙලා තිබෙනවා. භාණ්ඩවල හිඟයක් නැහැ. ඒ පිළිබඳ අපට සැහීමකට පත්වීමට හැකියාව ලැබී තිබෙනවා.

අප මෙම ආර්ථික ස්ථාවරත්වය  ස්ථීර කර ගනිමින් රටේ නව අර්ථික ක්‍රමවේදයක් ඇති කළයුතුයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපට ණය ලබාදුන් රටවල් 18ක් සමඟ සාකච්ඡා කර එම වැඩසටහන මේ වන විට සකස් කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවද නැද්ද කියා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණ කළ යුතුයි.

මේ රටේ ජනතාව විඳි දුක ගැන මට අවබෝධයක් තිබෙනවා. අප බඩු මිල අඩු කර ජනතාවට සහන ලබා දුන්නා. නමුත් තවදුරටත් ජිවන බර සැහැල්ලු කළයුතුයි. එම කටයුතු ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර මා ඉල්ලා සිටිනවා.

පක්ෂ වශයෙන් බෙදී වෙන් නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ මේ රටේ ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර රටේ ජනතාවට එදාට වඩා හොඳ අනාගතයක් උදා කර දීම වෙනුවෙන් බව කිවයුතුයි.

ජනතාවගේ ජීවන බර සහ බදු බර තවදුරටත් සැහැල්ලු කළ යුතු බව අප විශ්වාස කරනවා නමුත් මෙය එකවර සිදු කළ නොහැකියි. කැඩුණු ආර්ථිකය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබාගත යුතුයි. ඒ වෙනුවෙන් අනාගත වැඩසටහන අප “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ තුළින් ඉදිරිපත් කර තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හරහා මේ රටේ ගොවි ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. නමුත් සජබෙ සහ මාලිමාවෙන් පොරොන්දු වී තිබෙන්නේ ආහාර සුරක්ෂිතභාවය වැඩි කරනවා කියලයි. අප එම වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඔවුන් සහනාධාර දෙන්නේ දුප්පත්කම පවත්වාගෙන යාම සඳහායි. නමුත් මම සහනාධාර ලබා දෙන්නේ දුප්පත්කම නැති කර ගොවි ජනතාව පොහොසත් කර රට අපනයන කෘෂිකර්මාන්තයට යොමු කිරීම සඳහායි. ඒ නිසා රටට අවශ්‍ය වෙනස කරන්නේ අපියි.

ඕස්ටේ්‍රලියාව, නවසිලන්තයේ වගේ අපේ ගොවි ජනතතාව අපනයන ආර්ථිකයකට යොමු කර අපේ අහාර පිට රට යවා විදේශ විනිමය උපයා ගමු.  අනෙක් අපේක්ෂකයන් රට ගැන හිතන්නේ නැහැ. ඔවුන් තවමත් කටයුතු කරන්නේ පැරණි දේශපාලනය අනුවයි. නමුත් අප අලුතින් සිතා ඉදිරියට යනවා. ඒ නිසා මෙම ගමන යාමට අප සමග එක්වන ලෙස  මම සියලු ජනතාවට ආරාධනා කරනවා.

සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර කුමාර දිසානායකව පරාජය කරන්න බැහැ. හැමදාම මේ රටේ තරගය තිබුණේ දෙදෙනෙකු අතරයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ලෙස දෙදෙනෙක් අතර  තරගය පැවතුණා. අතීතයේ අගමැතිවරයා වීමටත් දැන් ජනාධිපතිවරයා වීමටත් එම තරගය පැවැත්වෙනවා. අගමැතිවරයා තමන්ගේ පක්ෂය බලා ගන්නවා. විපක්ෂ නායකයා තමන් හැර වෙන අයෙක් අපේක්ෂකයා නොවිය යුතුයි යන්න පිළිබඳ බලාගත යුතුයි.

මම විපක්ෂනායකයාව සිටියදී ඒ සඳහා ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා ඉඩ ලබා දුන්නෙත් නැහැ. අපි යහපාලන ආණ්ඩුව සමඟ එක් වුණා. සජිත් ප්‍රේමදාසයත් සිදු කළයුතුව තිබුණේ එයයි. හැමදාමත් පාර්ලිමේන්තුවේ පැය දෙක, තුන කථා කරලා කාලය නාස්ති කරපු සජිත්ට දැන් අනුර දිසානායක තර්ජනයක් වෙලා. සජිත්ට අනුර දිසානායකව පරද්දන්න බැහැ. සජිත් ඔය කරන මෝඩ වැඩවලින් අනුර දිසානායකට සහාය ලැබෙනවා. ඒ නිසා සැබෑ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉටු කරමින් අප සියලුදෙනා රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැතිව සියලු දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා දිනවීම වෙනුවෙන් එක වේදිකාවට පැමිණ තිබෙනවා. මේ රට ආර්ථික වශයෙන් ගොඩගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර දෙක කාලය තුළ කළ මෙහෙය ජනතාවට අමුතුවෙන් කිව යුතු නැහැ  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර නොගත්තානම් අද ශ්‍රී ලංකාවත් බංගලාදේශයක් වී හමාරයි. ජනතා විමුක්ති පෙරමුණ  නිවාස ගිනි තබමින් ජීවිත විනාශ කරමින් මීට වසර දෙකකට පෙර කටයුතු කළා. නමුත් ඔවුන් රටේ ජනාධිපතිකම භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ.  ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍යාංශ භාර අරගෙන ක්‍රියා කරන කාලෙදි වත් මේ රටේ ජනතාව වෙනුවෙන් කළ කිසි දෙයක් නැහැ. නමුත් නිදහසෙන් පසු බිහි වුණු අනිත් ආණ්ඩු සහ ඇමතිවරුන් මේ රට වෙනුවෙන් බොහෝ දෑ සිදු කර තිබෙනවා. ඒ නිසා රට ගිනි තියපු කණ්ඩායමට රට භාර දෙනවද? රට ගොඩනඟපු කණ්ඩායමට රට භාර දෙනවද? කියන මේ මැතිවරණයේදී තීන්දු වෙනවා.

රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා,

මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයන් වූ දිලුම් අමුණුගමලා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්නෙ මේ රට ආර්ථික යුද්ධයෙන් ජයග්‍රහණය කරවීමට එතුමා කටයුතු කළ නිසයි. 2005 වසරේ දී  මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමට කටයුතු කළා. ඒ වෙනුවෙන් අපි පෙනී හිටියා.

2015 වසරෙදි මහින්ද සුළඟ අරඹලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දක්වා ගෙන ඒමට අප කටයුතු කළා. නමුත් කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා එම නායකයන්ට රට ඉදිරියට කරගෙන යාමට නොහැකි වුණා. ජනතාවට දින ගණන් මහ පාරේ දුක් විඳින්න සිදු වුණා . විදුලි කප්පාදුව පැය 13 දක්වා වැඩි වුණා . ගෝඨාභය රාජපක්ෂ මහතා පළ පුරුදු දේශපාලඥයෙක් නොවෙයි . පෝලිම් යුගයකට යාමට සිදු වුණේ ඒ නිසයි . ඒ නිසා රට භාර ගැනීමට විපක්ෂයට ආරාධනා කළා. නමුත්  විපක්ෂය රට භාර ගැනීමට සූදානම් වුණේ නැහැ.  ආණ්ඩුව රට භාර ගත්තෙත් නෑ විපක්ෂය රට භාර ගත්තෙත් නැති වෙලාවක පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තා. එතුමා අසීරු තීන්දු ගෙන රට මුදා ගත්තා. ඒ වෙනුවෙන්  එතුමාට අපි කෘතගුණ දැක්විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා විට තිබුණේ හිස් භාණ්ඩාගාරයක් පමණයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරලා, මුදල් ලබාගෙන ඉන්ධන, ආහාර, ඖෂධ සියල්ල ගෙන ඒමට කටයුතු කළා. අද පකිස්ථානය බංගලාදේශය දිහා බලන්න. ඔවුන් ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදය වසර දෙකක් ඇතුළත නිමා කරන්න රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවුණා. එතුමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ රට වෙනුවෙන් වැඩ කර අභියෝග ජයගත හැකි බව ලොවටම ඔප්පුකළ නායකයෙක් ලෙසයි.

රාජ්ය අමාත්ය  චාමර සම්පත් දසනායක මහතා,

මහියංගනය ආසනය කියන්නේ ඓතිහාසික ආසනයක්. 1994 වසරදි පොදු පෙරමුණ රටේ සියලු ආසන  ජයග්‍රහණය කරන වෙලාවෙදි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ මහියංගන ආසනය පමණයි.  අද මේ මහියංගනයට පැමිණි ජනතාව දිහා බැලූ විට 22 වැනිදාට මේ රටේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම ස්ථිරයි. අද තැපැල් ඡන්ද දිනයයි. අදත් දාපු තැපැල් ඡන්ද වලින් සියයට 75ක් ලැබී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව සමීක්ෂණ කියනවා. රාජ්‍ය සේවකයින්ට රනිල් වික්‍රමසිංහ මහතා කළ සේවාව හොඳින් දන්න බව මට විශ්වාසයි.හෙට සහ අනිද්දා දිනවල පැවැත්වෙන තැපැල් ඡන්දත් රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය සේවකයන් මනාපය පළ කරනවා.

සොරබොර වැව හදලා තියෙන්නේ සමන්ත විද්‍යා රත්න වගේ තමයි අද කතා කරන්නේ. කිසිම දෙයක් කරපු නැති ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් රට හදන්න කතා කරනවා. 2004 බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි මනාපයෙන් සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවට  ගියා. බදුල්ල ජනතාවට මොකද කළේ.  සුනිල් හඳුන්නෙත්ති කියනවා යට ඇඳුම්වල හිල් තියෙනවා කියලා.  බදුල්ල ජනතාව මෝඩ නැහැ. 18 වංගුවේ ධාවනය කරන්න අලුත් රියදුරන්ට ඒ මාර්ගයේ ධාවනය කරන්න  බස් ලබා දෙන්නේ නෑ. ඒ වගේ තමයි ලංකාවේ ආර්ථිකයත් මේ වෙලාවෙ තියෙන්නේ 18 වංගු වගෙයි. ඒ නිසා එය ධාවනය කිරීමට හැකි,  පළපුරුද්ද ක් තියෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දිය යුතුයි.  

හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා,

මෙවර ජනාධිපති වරණයේදී ඔබ ලබාදෙන ඡන්දය ඉතාම වැදගත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයට තම ඡන්ද සළකුණ මාලිමාව කියා ලකුණ මාරු කරගෙන ඇවිල්ලා තිබෙනවා. කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙලා නෑ. මීට වසර දෙකකට පෙර රට තිබුණු තැන ජනතාව දන්නවා. රාජ්‍ය සේවකයින් වින්දා වූ දුක් හොඳ හැටි දන්නවා. අද සිට පවත්වන තැපැල් ඡන්ද වලදී සුභ ආරංචි පැමිණෙමින් තිබෙනවා. සැප්තැම්බර් 22 බදුල්ල දිස්ත්‍රික්කය දිනන්නේ ගෑස් සිලින්ඩර ටයි. ආසියාවේම පරිණතම ජනාධිපතිවරයා ලංකාවේ සිටින වෙලාවේ ඊට ආදේශ ගේන්න අවශ්‍ය  නැහැ. ඒ නිසා බදුල්ලෙ ජයග්‍රහණය අපට ස්ථිරයි .

රාජ්‍ය අමාත්‍ය  වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය , හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහියංනය ආසන සංවිධායක චාමර ප්‍රදීප් උඩවත්ත, මහියංගනය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  එක්සත් ජාතික පක්ෂ සංවිධායක කරූ වීරරත්න යන මහත්වරුන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more