මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

• ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම අත්යාවශ්යයි.

• සජිත්ට හෝ අනුරට  IMF එකඟතාවන් වෙනස් කිරීමට හැකියාවක් නැහැ : ඔවුන්ගේ බොරුවලට හසු වී රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා.

• IMF නිවේදනය අනුව ඉදිරියට ගෙන යා යුත්තේ මගේ වැඩපිළිවෙලයි - ජනපති හොරණදී පවසයි.

තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සජිත් හා අනුර පවසන අන්දමට එම එකඟතා වෙනස් කිරීමට කිසිඳු හැකියාවක් නැති බවද අවධාරණය කළේය.

එසේම සජිත්ගේ හා අනුරගේ යෝජනාවලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන් හිමි නොවන බව පැවසූ ජනාධිපතිවරයා එම සහාය හිමිව ඇත්තේ රජය මේ වන විටත් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සඳහා බවත් “IMF වැඩසටහන තුළ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම වැදගත් බව” එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජූලී කොසැක් මහත්මිය නිල වශයෙන් නිවේදනය කර ඇති බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (15) පස්වරුවේ හොරණ මහජන ක්‍රීඩාංගණයේ දී පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මෙම ජන රැලියට එක්වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොරණ ,වෑවල, ඉසිපතනාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.

එම අවස්ථාවට වැඩම කර සිටී කල්‍යාණි සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට අශිර්වාද පළ කළහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මගේ පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිව අපට උදව් කරන්න වෙන කෙනෙක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා අපට රටවල් 18ක සහාය ලැබුණා. ඒ වගේම අප ගෙවිය යුතු ණය සදහා පොලිය ගෙවිමේදී ඩොලර් බිලියන 10ක වාසියක් ද ලැබෙනවා.

අප රට තුළ අපනයන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. හැමදාම අපට ණය ගන්න බැහැ. අපේ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩියි. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අප අපනයන ආර්ථිකයකට යා යුතුයි. ආර්ථිකය නවීකරණය කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. සහනාධාර ලබාදීමෙන් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ නිසා අප එක්වෙලා දියුණු ආර්ථිකයක් ගොඩනඟමු.

ජනතාව දුක් විදින්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. එම දරුවන් වෙනුවෙන් අප හොඳ රටක් ගොඩනඟා දිය යුතුයි. අද සජිත් හා අනුර කියන්නේ හැම දෙයක්ම නොමිලේ දෙනවා කියලයි. නමුත් එසේ කිරීමට හැකියාවක් නැහැ. ඔවුන් ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ජනතාව මුලා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කථා කරන බව කිව්වට තවමත් ඔවුන් ඒ පිළිබඳ කථා කර නැහැ.

නමුත් දැන් ජාත්‍යනතර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා “ඉතිහාසයේ ඇති වු දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා කියලා. ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා කියලා. එයින් අදහස් වන්නේ මා ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවයි. එසේ නම් මේ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කළ හැක්කේ මටයි.

ඒ වගේම “ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ විට අපට දක්නට තිබෙනවා. ශ්‍රී ලංකාව සිය ඉතාහසයේ මුහුණ දුන් දරුණුම අර්බුදයෙන් පුර්ණ ලෙස යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා  මෙම වැඩසටහන තුළින් අත්කරගෙන ඇති ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයේ සඳහන් වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සජිත්ට හෝ අනුරට  ලැබෙන්නේ නැහැ. එම සහාය හිමිව තිබෙන්නේ අපේ වැඩසටහන සඳහායි. ඒ නිසා ඔවුන්ගේ බොරුවලට හසු වී රෑ වැටුණු වලේ දවල් වැටෙනවද කියා ජනතාව තීරණය කළයුතුයි.

ඒ නිසා රටේ ආර්ථිකයත්, ඔබේ අනාගතයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම ඉල්ලනවා.

රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා,

කළුතර දිස්ත්‍රික්කයේ කාලයක් තිස්සේ පැවති ගැටලුවක් වුණ ගංගා ජලයට ලවණ ජලය එකතු වන ප්‍රශ්නය නැවැත්වීමට අප මේ වන විටත්  කටයුතු කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ කිතුල් රා නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජයට හැකි වුණා. ලුණු ජලය පාලනය කර පුරන් කුඹුරු යළි අස්වැද්දීම සඳහා යොදා ගැනීමට චීනය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තේ රට අර්බුදයක පවතින අවස්ථාවකදීයි. ජනතාව වෙනුවෙන් අද කතා කරන කිසිදු නායකයෙක් එදා ජනතාව පීඩා විඳින අවස්ථාවේ රට භාර ගැනීමට ඉදිරියට ආවේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කළා.අද ජනතාව එය අත්විඳිමින් සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ආර්ථිකය කළමනාකරණය කර  බංකොලොත්භාවයෙන් මුදා  ගැනීමට කටයුතු කළා. ඒ වගේම අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සහන ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා. වතු ගම්මාන  ඇති කිරීමටත් මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. එසේ නම් රට නැවත අපායක් කරනවාද නැද්ද කියන කාරණය විසි එක් වෙනිදා තීරණය කරනු ලබනවා. ඒ නිසා මේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට භාරදිය යුතුයි.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා,

ඇතැම් අය කියනවා රට අනුරට කියා. රට අනුරට ගියොත් රට අඳුරට කියලා හොඳින් මතක තියාගන්න . 1971සහ 1989 ජනතා විමුක්ති පෙරමුණ   ට්‍රාන්ස්ෆොමර් ගිනි තියලා , බස් ගිනි තියලා, ආර්ථිකය දියුණු කරපු හැටි මුළු රටම අත් වින්දා. එවැනි අපායක් බලාපොරොත්තු වෙනවා නම්   ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්න.  රැලි එනවා යනවා. නමුත් රට ආර්ථික වශයෙන් දියුණු කරන්න මේ රැලි වලට බැහැ. නැවත රට අරාජිකත්වයට ගියොත් භාරගන්න කිසිදු නායකයෙක් නැහැ. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ තීරණාත්මක මනාපය නිවැරැදිව භාවිතා කරන්න.

අනුර දිසානායක කියනවා ජනාධිපති වුණා ට පස්සේ ඉන්න හොඳ  ඇමතිවරු ටික අරගෙන කැබිනට් එක කරගෙන යනවලු. ජනතා විමුක්ති පෙරමුණේ  කැබිනට් එකට එන්න අප සූදානම්.නෑ. ඒ වගේම මහ මැතිවරණයෙන් ජවිපෙට ආසන කිහිපයක් වැඩි වෙයි. ඒත් ආණ්ඩුවක් හදන්න නම් පාර්ලිමේන්තුවේ 112ක් අවශ්‍යයි.  අපි ජවිපෙ සමඟ ආණ්ඩු කරන්න බලාපොරොත්තු නැති බව ඒ අයට මතක් කරනවා. ඒනිසා රට බලෙන්ම අරාජික තැනකට ඔවුන් පත් කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයතහවුරු කර රටේ ආර්ථිකය ශක්තිමත් කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා,

මේ ගෙවී යන්නේ තීරණාත්මක දින කිහිපයයි. මේ ජනාධිපති ධූරය 2022 වසරේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා බන්දේසියේ තබා ලබා දුන්නා. නමුත් සජිත් ප්‍රේමදාස එය භාරගත්තේ නෑ. ධනපති පංතිය කවදාවත් බන්දේසියක තබා රාජ්‍ය බලය නිර්ධන පංතියට ලබා නොදෙන බව කාල් මාක්ස් කියා තිබෙනවා. නමුත් එදා  ධනපති ගෝඨාභය රාජපක්ෂ නිර්ධන පංති නායක කියා ගත්ත අනුර දිසානායකට රාජ්‍ය බලය ලබා ගන්න කිව්වා. නමුත් එදා ඒ ජනාධිපතිකම එපා  කියූ  අනුර දිසානායක අද වේදිකා ගානේ සුරංගනා කතා කියමින් ජනාධිපතිකම ලබා ගැනීම වෙනුවෙන්  කටයුතු කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාරගෙන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කළා. ඉන් පසුව උද්ධමනය තනි ඉලක්කමට ගෙන ඒමට කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම කඩාකප්පල් වුවහොත් නැවත රට ආපස්සට යනවා. ග්‍රීසිය කියන රට  බංකොලොත් වුණා . ඔවුන් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට වසර 13 ක් ගත වුනා. ග්‍රීසියේ රට හදන්න පැමිණි සමාජවාදී කණ්ඩායම්වලට  රට පාලනය කරන්න හැකි වුණේ  මාස තුනක් පමණයි.අවුරුද්දක් ඇතුළත ග්‍රීසියේ ආණ්ඩු හතරක් බිහිවුණා. එවැනි අමාරු කාලයක් ගත කරලා තමයි ග්‍රීසිය දැන් යථා තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ.  

ග්‍රීසියට උන දේ ලංකාවට වෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ තැබුවේ නැහැ . නමුත් නැවත වතාවක් ශ්‍රී ලංකාව අර්බුදයට  පත්වුවහොත් බේරගන්න කිසිදු නායකයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ.  මේ වගේම විපක්ෂ  කණ්ඩායම් එකතු වී ග්‍රීසිය විනාශ කළා. ඒ නිසා නැවත රට ආපස්සට යවනවාද නැද්ද කියන කාරණය හොඳින් හිතා බලා සැප්තැම්බර් 21 වනදා ඔබේ මනාපය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

හිටපු ‍නියෝජ්‍ය අමාත්‍ය ප්‍රියංගනී අබේවීර මහත්මිය,

වසර දෙකක් තුළ මේ රට වැටී කිබූ තත්ත්වයෙන් 50%ක් ගොඩ ගත් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. මේ ජනාධිපතිවරණය සඳහා එතුමා ඉදිරිපත්ව සිටින්නේ ඉතිරි වැඩ කොටස නිම කිරීම සඳහායි. මම අද මේ වේදිකාවට ගොඩ වුණේ වෙන කිසිවක්ම නිසා නොවෙයි. මේ සිටින කිසිවෙක් නිසාත් නොවෙයි. මා මේ වේදිකාවට ගොඩ වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාම නිසා පමණයි.

මේ රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අද අපේ ජනතාව පමණක් නොව ජාත්‍යන්තරයද අවබෝධ කර ගෙන සිටිනවා. අපේ යුතුකම  හා වගකීම වන්නේ එතුමා නැවත ජනාධිපති ධුරයට පත් කර අනාගත පරපුර වෙනුවෙන් දියුණු රටක් ගොඩ නගා දීමට අවස්ථාව සළසා දීමයි.

වෑවල ඉසිපතනාරාමාධිපති හොරණ සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තම්ජන්තැන්නේ ධම්මරංසි ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ,අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ගුරු උපදේශක ශාස්ත්‍රවේදී මාලිගාතැන්නේ පඤ්ඤාරථන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ප්‍රමුඛ සහ ආගමික පූජකවරුන්, අමාත්‍ය අලි සබ්‍රි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තලතා අතුකෝරල, ලක්ෂ්මන් විජේමාන්න, එක්සත් ජාතික පක්ෂ හොරණ සංවිධායක නීතිඥ තුෂාර ගුණරත්න යන මහත්ම මහත්මීන්,  විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more