වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කරනවා

• මඩකලපුව ලොව ප්රධාන සංචාරක කලාපයක් ලෙස දියුණු කරනවා.

• රටට අවශ්‍ය සංවර්ධනය ලබා දෙමින් ආර්ථිකය දියුණු කළ හැක්කේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළට පමණයි.

• සජිත් හා අනුර කථා කරනවා විතරයි.

• ඔවුන් ළඟ විසඳුම් නැහැ - ප්‍රශ්න පැමිණි විට පැන යනවා - ජනපති මඩකලපුවේදී කියයි.

වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් මඩකලපුව ලොව ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්  සඳහන් කළේ රට ඉදිරියට ගෙන යාමේ නිසි ප්‍රතිපත්තියක් සජිත්ට සහ අනුරට නොමැති බවයි. ඔවුන් සිදු කරන්නේ කථා කිරීම පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට හමුවේ ඇති අභියෝගවලට විසඳුම් නැති ඔවුන් ප්‍රශ්න පැමිණි විට පැන යන බවද සඳහන් කළේය.

එබැවින් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව රට වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ජයග්‍රහණය කරවා රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන ලෙසද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

2022 වසරේ මම මේ ප්‍රදේශයට පැමිණෙන විට පෝලිම් තිබුණා. මේ රටේ සියලු ජනතාවට පෝලිම් වල දුක් විඳිමට සිදු වුණා. අපි පෝලිම් නැති කළා. ගොවි ජනතාව මගෙන් පොහොර ඉල්ලා සිටියා. මම යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දුන්නා. ගොවි ජනතාවට අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. මේ අයුරින් අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. අපි නැවත ඒ යුගයට යන්න අවශ්‍ය නැහැ. එදා තරුණ තරුණියන් රැකියා නැතිව සිටියා. අද නව රැකිය අවස්ථා බිහි වෙමින් තිබෙනවා.

අද අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගනිමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යමින් තිබෙනවා.  එහිදී අපට දුෂ්කර තීන්දු ගැනීමට සිදු වුණා. එම බර දරා ගත් සියලු ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා.

අද ජනතාවගේ ජීවන බර අඩු වෙලා තිබෙනවා. අප ඉදිරියේ දී ජනතාවට තවත් සහන ලබා දෙනවා. ඒ සඳහා අප ඉදිරියට යා යුතුයි. මෙවර ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ එම ඉදිරි ගමනයි.

සජිත්ට සහ අනුරට ප්‍රතිපත්ති නැහැ. ඔවුන් ප්‍රශ්න ආ විට පැන යනවා. ඔවුන්ව විශ්වාස කරන්න බැහැ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විවිධ හේතු කියනවා. 2022 වසරේ ආර්ථික අභියෝගය හමුවේ ඡන්දය පැවැත්වූවා නම් අද අපිත් බංග්ලාදේශය පත්ව ඇති තත්ත්වයට ඇද වැටෙනවා. සජිත්ට සහ අනුරට අවශ්‍ය රට අවුල් කරන්නයි. ඔවුන් කතා කරනවා විතරයි. විසදුමක් නැහැ. එවන් පිරිසකට රට භාර දෙන්න බැහැ.

අපි “පුළුවන් ශ්‍රී ලංකා ” වැඩසටහන මගින් ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවා. අප රටපුරා  නව කර්මාන්ත සහ ආයෝජන කලාප ඇති කරනවා. ඒ අනුව  ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් වෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ ප්‍රදේශයට ගෙන එනවා. ඒ වගේම මඩකලපුව ඩිජිටල් කලාපයක් බවට පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කර ඒ සඳහා සහනාධාර ලබා දීමට ද අප කටයුතු කරනවා.  ඒ වගේම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50දක්වා වැඩි කරනවා.

මම මේ පළාතට ආවේ 1977 වසරේදීයි. එදා පටන් මේ ප්‍රදේශයේ ජනතාව සමඟ මගේ හොඳ සම්බන්ධතාවක් තිබුණා. මේ ප්‍රදේශයේ හොඳ සංචාරක කලාපයක් නැහැ. එම නිසා වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මම බලාපෙරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දැන් සිටම හිගුරක්ගොඩ ගුවන්තොටුපොළ දියුණු කරනවා. මේ පළාතේ හොඳ වෙරළ තීරයක් තිබෙනවා.  මේ ප්‍රදේශයේ ජනතාවට සංචාරක කර්මාන්තයට අදාළ ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුවීම් ද ලබාදෙනවා.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ආරම්භ කළ විට මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් සිදු වෙනවා. ඒ අනුව අපට ඉදිරියට යා හැකියි. ඒ වගේම මඩකලපුව ප්‍රදේශය ලෝකයේ ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත්කිරීමට අපට හැකියාව තිබෙනවා. ඒකයි “පුළුවන් ශ්‍රී ලංකා” කියන්නේ.

සජිත්ට සහ අනුර මේවා කරන්න බැහැ. මොනව හරි කිව්වොත් මේක දේශීය සංස්කෘතියට විරුද්ධයි කියනවා. මෙවන් පිරිසකට රට දියුණු කරන්න බැහැ. ඒ නිසා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපිට කතිරය ගහන්න කියලා මම සියලුදෙනාට කියනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිම අපේක්ෂකයෙකුට නැති සමගියේ වේදිකාව අද ගොඩ නැඟී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ වේදිකාව කේන්ද්‍ර කර ගෙන බව කිව යුතුයි.

අපේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසි විටක ජනතාවට බොරු පොරොන්දු ලබා දුන් නායකයෙක් නොවෙයි. එතුමා හැම විටම කළ හැකි දේ කිව්වා. බැරි දේ බෑ කියලා කිව්වා. පුද්ගලිකව කොපමණ අවාසියක් සිදු වූවත් එතුමා සිය දේශපාලන ජීවිත කාලය තුළම සත්‍යවාදීව කටයුතු කළා.

එවැනි නායකයෙක් සමඟ දේශපාලනය කිරීමට ලැබීම ගැන අප සතුටු විය යුතුයි. මීට වසර දෙකකට පෙර විනාශ වී ගිය මේ රට නැවත ගොඩ නැඟීමේ අභියෝගය එතුමා නොබියව භාර ගත්තා. ඉතා අමාරුවෙන් එතුමා රට මේ තැනට ගෙනාවා. මෙය ආරක්ෂා කර ගෙන රට තවත් ඉදිරියට ගෙන යා යුතුයි. රටේ තරුණ කරුණියන්ට යහපත් අනාගතයක් උදා කර දිය යුතුයි. එය කළ හැක්කේ ඉදිරි අවුරුදු 5කටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිධුරයට පත් කළොත් පමණයි. ඒ සඳහා උතුරත්, දකුණත් වතුකරයත් රොද බැඳ ගත යුතුයි.

රාජ්‍ය  අමාත්‍ය  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

නැගෙනහිර පළාත ඉතිහාසයේ සිටම ප්‍රසිද්ධ නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ  ගනු ලබන ජනතාවක් සිටින පළාතක් ලෙසයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්ව  සිටිනවා.

එතුමා ලබන 21 වැනිදා මේ රටේ ජනාධිපති බවට පත්වීමෙන් අනතුරුව නැගෙනහිර පලාතේ සංවර්ධන කටයුතු තව දුරටත් පුළුල් වෙනවා. ඒ වගේම එතුමාගේ ජයග්‍රහණයෙන්  අනතුරුව නැගෙනහිර පළාතට බලයලත් දේශපාලන නායකයන් දෙදෙනෙක් පත්වෙනවා.

අද නැගෙනහිර පළාතේ ඇතැම් නායකයන් නිවැරදි තීන්දු තීරණ ගෙන නොමැති වීම කණගාටුවට කරුණක් බව පැවසිය යුතුයි. නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා මෙතෙක් කිසිදු රජයක් කටයුතු නොකළ ආකාරයේ වැඩ කොටසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබෙනවා.

අපේ ජනතාව  තීන්දු තීරණ ගන්නේ සුද්දගේ පාලන කාලයේ සිටම බලය පාවිච්චි කරන ආකාරය පිළිබඳ හොඳින් අධ්‍යයනය කරලයි. එදා සිටම නැඟෙනහිර පළාතෙන්   විශිශ්ට දේශපාලන නායකයන් බිහිවුණා. අපි මීට මාස 6කටත් පෙර සිට  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දෙන බව ප්‍රකාශ කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීම අපේ දිස්ත්‍රික්කයට බලය ලබා ගැනීමේ පළමු පියවරයි. අපේ දිස්ත්‍රික්කයෙන්   වැඩි ඡන්ද ලක්ෂයකින්   ජනාධිපති  ජයග්‍රහණය කරවීමට අප කටයුතු කළ යුතුයි.  

රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා,

ආර්ථික කඩා වැටීමකදී, රට අඳුරේ ගිලෙද්දී අනුරලා සජිත්ලා ජනතාව වෙනුවෙන්  ඉටිපන්දමක් දල්වන්නවත්   ඉදිරිපත් වුණේ නැහැ. හදිසි ප්‍රතිකාර අංශයේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටි රෝගියා මහත් වෙහෙසක් දරා බේරාගෙන සාමාන්‍ය  වාට්ටුවකටකට මාරු කරනවා. මේ රටේ ඇතිව තිබෙන්නේත් ඒ වගේ තත්ත්වයක් බව කිව යුතුයි. සාමාන්‍ය වාට්ටුවක ඉන්න ලෙඩෙක් සුවපත් කර ගෙදර යවනවද?   නැවත හදිසි අනතුරු අංශයට යවනවාද? කියා ජනතාව තීරණය කළ යුතුයි.  වසර 5ක කාලයකට බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළිත් ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම මේ රට සශ්‍රීක තත්ත්වයට පත් වෙනවා.

මේ රටේ සහල් නිෂ්පාදනයෙන් නැඟෙනහිර පළාත ඉදිරියෙන්ම සිටින පළාතක්. එදා රුපියල් 40,000ටවත් සොයා ගත නොහැකි වූ  යූරියා පොහොර මිටියේ මිල අද වන විට රුපියල් අටදහස දක්වා අඩු වී තිබෙනවා . ඉදිරියේදී  එය රුපියල් හයදහස දක්වා අඩුවනු වෙනවා.

මේ රට ඉදිරියට ගෙන යා හැකි විදේශ සබඳතා ඇති එකම පළපුරුදු නායකයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතායි. සජිත්ට හෝ අනුරට 2030 වන විට අපේ ණය ගෙවිය හැකිද? අපේ ජනතාව 80%කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිතුමා  දිනවන බව මට විශ්වාසයි.

හින්දු ආගමික නායකයන් සහ  අන්‍යාගමික නායකයන් ද, එම්. ටී. කේ. පක්ෂයේ මඩකලපුව  දිස්ත්‍රික් සංවිධායක තවයෝගරාජා නිරෝරාජ්, එම පක්ෂයේ සම්බන්ධීකරණ  ලේකම් රාජතුරෙයි රාජේන්ද්‍ර කුමාර්, එම පක්ෂයේ භාණ්ඩාගාරික සාමිත්තම්බි   යසෝදරන් යන මහත්වරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more