බොරු කියා රට හදන්න බැහැ - සත්‍ය සමඟ ඉදිරියට යමු

• නැවත රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු අවස්ථාවක් නැහැ.

• අසීරුවෙන් ගොඩගත් රටේ ආර්ථිකය විනාශ කරන්න එපා.

• සජිත් කියන විදියට කෝටිපතියන් හොයන්න ගියොත් තානාපතිවරුන් අමාරුවේ වැටෙනවා.

• බොරු පොරොන්දු දෙන සජිත් ජනාධිපති නොවෙයි, අමාත්‍ය ධූරයටවත් සුදුසු නැහැ -  ජනපති කුරුණෑගල දී.  

මේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව මුලා කිරීම නිසා රටේ ආර්ථිකය කඩා වැටුණු බවත්, නැවත රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති අතර බොරු පොරොන්දුවලට මුලාවී අසීරුවෙන් ගොඩගත් රට විනාශ නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) කුරුණෑගලදී පැවැති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විශේෂ මහා සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා විසින් මෙය සංවිධානය කර තිබූ අතර  සමුළුවට පැමිණි ජනාධිපතිවරයාව මහත් හරිසරින් පිළිගනු ලැබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

ශ්‍රි ලංකා මහජන පක්ෂයේ මෙම සම්මේනයට මට ආරාධනා කිරිමත්, මට සහයෝගය ලබාදිම ගැනත් මම පළමුව ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක අවස්ථාවේ විජය කුමාරතුංග මහතා සහ මම 13 වන සංශෝධනය වෙනුවෙන් සහයෝගය ලබාදී එම වැඩකටයුතු සිදු කළා. එහිදී එතුමාගේ ජීවිතය පූජා කිරීමට සිදු වුණා.

2022 වසරේ ජූලි මාසයේ මම ආණ්ඩුව භාරගෙන ජනාධිපතිවරයා ලෙස පත් වු අවස්ථාවේ අසංග නවරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා මහජන පක්ෂය ලබාදුන් සහාය මම විශේෂයෙන් සිහිපත් කරනවා. අපි රට භාරගත්තේ ඉතා ඇසීරු අවස්ථාවකයි. කෙසේ හෝ එම අභියෝග භාරගෙන වසර දෙකක් යන විට අපි රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කළා. එහිදී අකමැත්තතෙන් වුවද බදු වැඩි කිරීමට අපට සිදු වුණා. නමුත් මේ කාලය තුළදී ජනතාවට සහන ලබාදෙමින් ඉදිරියට යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.

එම සහන ලබාදීමට හැකිවුණේ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩසටහන නිසයි. එසේනම් අප මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහායි. අප මේ රට තවත් දියුණු කළ යුතුයි. අපට හැමදාම මේ තත්ත්වයේ ඉන්න බැහැ. අප දියුණු වීමට නම් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. අප පක්ෂ දේශපාලනය අමතක කර කටයුතු කරන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි.

විසඳී නැති ප්‍රශ්න මෙම ප්‍රදේශයේ තිබෙනවා. අලි වැට භාරව සිටින නිලධාරින්ගේ සේවය ස්ථිර කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ගොවිතැන් කටයුතු දියුණු කළ යුතුයි. ගොවිතැන දියුණු නොකර මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. දුප්පත්කමින් 80%ක් තිබෙන්නේ ගම්මානවලයි. එසේනම් අප ගමේ ආර්ථිකය දියුණු කළයුතුයි. ගමේ ආරථිකය දියුණු කළ යුත්තේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම හරහායි. අප එම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ දැන් ආරම්භ කර තිබෙන අතර මැතිවරණයෙන් පසු එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම මේ ප්‍රදේශවල වී වගාව, පොල් වගාව, කුරුදු වගාව සහ කොකෝවා වගාව දියුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. වගකීමක් ඇතිව ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙළ මෙයයි. රට දියුණු කළ හැක්කේ මෙම ක්‍රමය තුළින් පමණයි.

ඒ වගේම මේ කුරුණෑගල විශාල ආර්ථික නගරයක් බවට පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම දියුණුව සෑම පළාතකමට ගෙන ඒමට අප කටයුතු කරනවා. අද රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කරන්න බැහැ. රටේ ආර්ථිකය ගැන බොරු කියලා ජනතාව මුලා කරන්න බැහැ. විවිධ පක්ෂය මෙය කළා. ඒ නිසා තමයි අප මෙම තත්ත්වයට පත් වුණේ. ඒ නිසා ඇගිල්ල දිගු කර ගිනිමින් නොසිට අපි ඉදිරියට යා යුතුයි.

ඒ වගේම අධ්‍යාපනය සහ පාසල් දියුණු කළ යුතුයි. කුරුණෑගල විශාල අධ්‍යාපන දියුණුවක් තිබෙන ප්‍රදේශයක්. මෙම දිස්ත්‍රික්කවල අධ්‍යාපනයේ නවීකරණයක් කළයුතුයි. ලංකාවේ සුහුරු පන්ති කාමර තිබෙන පළමු පාසල අපි කුරුණෑගල ආරම්භ කළා. ලබන වසරේ සිට ක්‍රමනුකූලව මෙම පාසල් නවීකරණය කිරීම අපි ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් වෙනම ගුරුවරු පුහුණු කිරීම් ද සිදු කරනවා. ඊළග දශකයේ දී පාසල් නවීකරණය සහ ගුරුවරුන් පුහුණු කිරීම් සිදු කළ යුතුයි.

අපි අපනයන ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට යා යුතුයි. බදු අඩු කරනවා, බඩු මිල අඩු කරනවා කියලා බොරු පොරොන්දු දීලා මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ. මේවා සිදු කළ යුත්තේ ක්‍රමනුකූලවයි. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යා යුතුයි.

2022 වසරට වඩා මේ වන විට භාණ්ඩ මිල අඩු වී තිබෙනවා. මේ කාලය තුළ අපිට බදු අඩු කිරීමට අවස්ථාවක් තිබුනේ නැහැ. නමුත් ආර්ථිකය ශක්තිමත් කළ නිසා රුපියලේ වටිනාකම වැඩි වුණා. ඒ නිසා භාණ්ඩ මිල අඩු වුණා. අපි මේ අයුරින් ඉදිරියට යමු.

අනිත් අපේක්ෂකයන් කියනවා බදු අඩු කරනවා කියලා. බදු අඩු කර රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන නතර වුණොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා ඩිජිටල් අධ්‍යාපන ගෙනවිත් සෑම පාසලකම සුහුරු පන්තිකාමර ඇති කරනවා කියලා. අවුරුද්දකින් මේක කරන්න ලෝකයේ කෝටිපතියෝ 10,000ක් හොයා ගන්නවලු. හැම කෝටිපතියටම පංතිකාමරයක් භාර දෙනවලු. මේවා කරන්න පුළුවන්ද,

තානාපතිවරුන්ට කියනවලු කෝටිපතියෝ 10,000ක් හොයා ගන්න කියලා. රටවල් 180 අතර අපට තානාපති කාර්යාල 50ක්වත් නැහැ. ඔහු මේ දෙන පොරොන්දු කරන්න පුළුවන් ඒවද, තානාපතිවරුන්ගේ කාර්යය වන්නේ තමන්ගේ රට නියෝජනය කිරීම මිස වෙන වැඩකටයුතු නොවෙයි. ඔහු ගිහින් කෝටිපතියන්ගෙන් සල්ලි ඉල්ලුවොත් ඔහුව ඒ රටින් පන්නලා දමනවා. එවිට සෑම මාසයකම නව තානාපතිවරයෙක් යවන්න වෙනවා.

මෙවන් බොරු ප්‍රකාශ සිදු කරන පුද්ගලයෙකු ජනාධිපතිවරයෙකු නොවෙයි, ඇමතිවරයෙක් වෙන්නවත් සුදුසුද කියා මම අහනවා. මෙහෙම බොරු කියන්න හොද නැහැ. එයින් තහවුරු වන්නේ සජිත් ප්‍රේමදාස මේ තනතුරට නුසුදුසු බවයි. ජනතාවට බොරු කිව්වා ඇති. මුලා කළා ඇති. බොරු කියලා මේ රට හදන්න බැහැ. අපි පසුගිය වසර දෙක තුළ දුක් වින්දේ මේ රටේ ආර්ථිකය ගොඩනැගීමටයි. ඒ නිසා අපි නැවත පරණ තත්ත්වයට පත්විය යුතු නැහැ. අපි ශක්තිමත් ආර්ථිකයක් සමග ඉදිරියට යමු කියලා සියලුදෙනාට ආරාධනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා,

ශ්‍රී ලංකා මහජන පක්ෂයට වටිනා ඉතිහාසයක් තිබෙනවා .මේ පක්ෂය ආරම්භ කළේ විජය කුමාරතුංග මහතායි.  1988-89 කාලයේදී විජය කුමාරතුංග මහතා කිරුළපන දී ඝාතනයට ලක් වෙනවා .  පක්ෂ නායකයින් මරා දැමුවත් එම පක්ෂ මරා දැමීමට නොහැකි බව පෙන්වා දෙමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා  කුමාරතුංග මැතිනිය  හා අනෙකුත් නායකයන් මේ පක්ෂය ඉදිරියට ගෙන ආවා.

1948 වසරේ දී එකට එක්ව සිටින කණඩායමක් ලෙස නිදහස ලබා ගත්තා.  ඒ ආකාරයෙනම අදත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා සියලු පක්ෂ එකතු වී සිටිනවා. මෙවර මැතිවරණයේදී සොයන්නේ කුලයකට හෝ සංස්කෘතිකයකට  නායකයෙක් නෙමෙයි . මෙවර හදන්නේ රටට නායකයෙක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  චරිතය දෙස බැලූ විට එතුමාට වසර හතලිහක පාර්ලිමේන්තු  දේශපාලන අතීතයක් තිබෙනවා. හය වතාවක්  අග්‍රාමාත්‍ය ධූරය හොබවා තිබෙනවා . මේ වන විට වසර දෙකක් ජනාධිපති ධූරය  හොබවා තිබෙනවා .

ලෝකයේ රටවල් 06ක් අද වන විට බංකොලොත් වී තිබෙනවා .  ඒ අතරින් ආර්ථික  වශයෙන් කඩිනමින්  යථා තත්වයට පත් වුණේ ශ්‍රී ලංකාව පමණයි . ශ්‍රී ලංකා ඉතිහාසයේ නායකයින් විවිධ හේතූන් මත ඝාතනයට ලක් වුණා . සිංහල ,දෙමළ මුස්ලිම් නායකයින් ඝාතනය කළා. ඒ  නිසා ශ්‍රී ලාංකික ජාතිය වැනසුණා. රට දියුණු  වුණේ නෑ. රටේ ආර්ථිකය  බිදවැටුණා.  ඒ හමුවේ රට මුදා ගැනීමට නායකයෙක් හිටියෙ නැහැ . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් වී ආර්ථිකය  යථා තත්වයට පත් කරන්න කටයුතු  කළා. ඒ වගේම යළිත් ආර්ථික කඩා වැටීමක් සිදු වීම  කඩා වැටිම  නැවැත්වීමට නව නීති ගෙනවිත් තිබෙනවා . දූෂණ විරෝධී පනත සම්මත කර තිබෙනවා . කාන්තාවන්  සවිබල ගැන්වීමේ පනත, ආර්ථික පරිවර්තන පනතද ගෙනවිත් තිබෙනවා . දැන් තව දුරටත් වේදිකාවල සම්ප්‍රදායික බොරු, චෝදනා කරන්න බැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයම නීතිගත කර තිබෙනවා . ඒ අනුව මේවා ඉටු නොකළොත්  අධිකරණයට යන්න පුලුවන් .  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  2001 වසරේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනත් දේශපාලන පක්ෂ අද ඉදිරිපත් කරමින් සිටිනවා.

පුරවැසියා වැටුණොත් ආර්ථිකය වැටෙන බව දන්න නිසා තමයි ජනාධිපතිවරයා වැටුප් වැඩි කළේ. ජනතාවට  උරුමය ලබාදුන්නේ. ඒ වගේම මේ යන වැඩපිළිවෙළ බිද වැටුණොත් රට නැවත බංකොලොත් වීම වළක්වන්න බැහැ.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක  පාර්ලිමේන්තු මන්ත්රී  අසංක නවරත්න මහතා,

ශ්‍රී ලංකා මහජන පක්ෂය දිගු කාලයක් ගමන් කළ, දේශපාලන ගමන් මග වෙනස් කර  රටේ ආර්ථිකය ගොඩනැගූ නායකයාට සහයෝගය දක්වන්න තීරණය කළා. වසර දෙකක් තුළ ආර්ථිකය ගොඩ නැඟූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර පහ සඳහාද මේ රටේ නායකත්වය  ලබා දිය යුකු බව  අපේ පක්ෂය තීරණය කළා. 1988-89 වකවානු තුළ  ජනතාව විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයන් 149ක් ඝාතනය කර තිබෙනවා. නැවත ඒ ලේ තැවරු කණ්ඩායම් ආර්ථිකය බිඳ දැමීම සඳහා ඉදිරියට පැමිණ තිබෙනවා. අප ඊට ඉඩ දෙන්නේ නැහැ. එම නිසා  ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටින  ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීමට අපේ පාක්ෂිකයන් කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්මිල් මහතා,

අප පළමු වතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන්න තීරණය කළා. අප සියලු දෙනාටම සමගිව ජීවත්වීම සඳහා යහපත් ආර්ථිකයක් සහිත රටක් තිබිය යුතුයි . එක එක හීන පස්සේ  ගිහින් සවිමත් ආර්ථිකයක් සහිත රටක් හදන්න බැහැ. අද බංග්ලාදේශයට සිදු  වී තිබෙන දේ බලන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ ක්‍රියාත්මක නොවුනා නම් අපේ පාර්ලිමේන්තුවත් වටලා අරගලකරුවන්  රට අරාජිකත්වයට පත් කරනවා. තවත් බංගලාදේශයක් වීමට තිබුණු රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම පිළිබඳව  ජනාධිපතිතුමාට කෘතඥතාව පළ කළ යුතුයි. ඒ නිසා සිලින්ඩරයට මෙවර ඡන්දය ලබා දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පත් කරමු.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී හේරත්, ශාන්ත බණ්ඩාර,  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ඇල්ෆ්‍ර්ඩ් රාමනායක, හිටපු අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම් ,එස්.බී.නාවින්න යන  මහත්වරු සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more