රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නැහැ

• නිදහස් වෙළෙඳ ගිවිසුම් අවලංගු කර අපනයන ආර්ථිකයක්  හදන්නේ කොහොමද? අනුර රටට පැහැදිලි කළ යුතුයි- ජනපති.

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බවත්, රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එළැඹ තිබෙන නිදහස් ‍වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් තොරව අපනයන ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඡන්දදායකයින් ලෙස මේ පිළිබඳ හොඳින් අවධානය යොමුකර සිය තීරණය ගත යුතු බවත්, රටක් ලෙස වෙනස් වීමට සූදානම් නම් අනෙකුත් ක්ෂේත්‍රවල ද වෙනස්කම් ද සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (06) කොළඹ ගලදාරි හෝටලයේදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් "බුද්ධිමත් නායකත්වයක් සමඟ බැංකුකරුවෝ" යන තේමාව යටතේ සංවිධානය කළ බැංකුකරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුවට එක්වෙමිනි.

මෙම සමුළුවේදි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකාව පසුගිය වසර දෙක තුළ අත්පත් කරගත් ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශේෂ දේශනයක් ද සිදු කළේය.

මෙම සමුළුව සඳහා බැංකුකරුවන් විශාල ප්‍රමාණයක් එක්ව සිටි අතර ඔවුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“මීට වසර දෙකකට පෙර අර්බුදය ඇතිවූ අවස්ථාවේ ඔබේ සංගමය ආරම්භ කළා. එතැන් සිට මට ඔබත් සමඟ සම්බන්ධ වීමට ලැබුණා. පසුගිය කාලයේ ඔබ ලබාදුන් සහයෝගය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සඳහන් කළ ආකාරයට අද අපි තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙනවා. 2022 වසරේදී ආර්ථිකය කඩාවැටුණා. අපේ ණය බර ආර්ථිකයට දරාගන්න බැරි තත්ත්වයට පත්වුණා.

එතැන් සිට අපට මේ ගමන ආරම්භ කිරීමට සිදුවුණා. අපේ ගමන පිළිබඳව විශ්වාසය තැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ඇතුළු කණ්ඩායමකගේ සහාය ලබාගෙන අභියෝගය ජයගැනීම වෙනුවෙන් අප ඉදිරියට ගියා. වෙනත් කිසිවෙකුට විකල්ප යෝජනා තිබුණේ නැහැ. විකල්ප යෝජනා කෙසේවෙතත් යෝජනා දෙන්න කෙනෙක් සිටියේත් නැහැ.

අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව කටයුතු ආරම්භ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, චීනය ඇතුළු ණය හිමි රටවල් 18ක් සමඟ සාකච්ඡා කරමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතිනවා. මේ සාකච්ඡාවන්හිදී අප එකඟ වූ සියලු කාරණා ඇතුළත් කර ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර තිබෙනවා.

“පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය ආර්ථිකයට පමණක් සීමා වී නැහැ. ආර්ථිකය කේන්ද්‍රගත කරමින් අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට එයින් බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය දෙස බලන විට අපේ ප්‍රධාන පදනම කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වු ණය තිරසරභාවය පිළිබඳ ගිවිසුම අනුව අප කටයුතු කළ යුතු වෙනවා. එයින් පරිබාහිරව ක්‍රියා කළ නොහැකියි.

අඩු ආදායම්ලාභී රටවලට එක් ආකාරයකටත්, මධ්‍යම ආදායම් ලබන රට වලට එක් ආකාරයකටත් වන ලෙස මෙම ණය තිරසරභාවය පිළිබඳ ගිවිසුම් කොන්දේසි තිබෙනවා. එහි ආකෘතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ දැකගත හැකියි. ඒ අනුව කුමන රජයක් බලයට පැමිණියද මේ කොන්දේසි අනුව ක්‍රියා කළ යුතු වෙනවා. එනිසා මේ අනුව කටයුතු කරනවාද නැද්ද යන්න අද තීරණය කිරීමට තිබෙනවා.

“පුළුවන් ශ්‍රී ලංකා” සංකල්පය අනුව මට ඉලක්ක පහක් තිබෙනවා. පළමුවෙන්ම ජීවන බර සැහැල්ලු කිරීම. දෙවනුව රැකියා බිහි කිරීම. තුන්වන ඉලක්කය, බදු බර සැහැල්ලු කිරීම. ඒ වගේම බදු ගෙවන පිරිස විශාල කිරීම. හතරවන ඉලක්කය, අපේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම. පස්වන ඉලක්කය, අස්වැසුම සහ උරුමය වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම. මේ කාරණා පහ පදනම් කරගෙන අපි ක්‍රියාත්මක වී තිබෙනවා.

රුපියල කඩා වැටීම හමුවේ අපේ වියදම් වැඩි වුණා. මිලදී ගැනීමේ හැකියාව අඩුවුණා. රටක ආර්ථිකයක් කඩාවැටීමේදී මෙවැන්නක් සිදුවෙනවා. නමුත් ඇතැමුන් අද බදු අඩු කරන බව ප්‍රකාශ කරනවා. බදු අඩු කිරීමෙන් අප නැවතත් ගමන් කරන්නේ පෙර රජය රට පත් කළ තැනටමයි. ඒ නිසා එය විකල්පයක් නොවේ. අප කටයුතු කරන්නේ රුපියල ශක්තිමත් කිරීමටයි. රුපියල ශක්තිමත් කිරීම සඳහා රජයේ ආදායම් වැඩි කළ යුතුයි.

මා පාලනය භාරගෙන පළමු වසරෙන් පසුව රජයේ සහන වැඩ කටයුතු අප ආරම්භ කළා. ඒ වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ නිලධාරින්ගේ වැටුප් ඉහල නැංවීමටත් කටයුතු කළා. උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ වාර්තාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. බදු මට්ටම් සංශෝධනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

රට ගොඩ නැගීමට හැකිවන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන් පමණයි. කවුරුන් කෙසේ කුමක් කීවත් වෙනත් මාර්ගයක් නැහැ. එම සත්‍යය දැනගෙන අප කටයුතු කළ යුතුයි.

ආර්ථික ඉදිරියට ගෙනයා හැකි වන්නේ එය දියුණු කිරීමෙන් පමණයි. ඒ නිසා අප මේ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩුවක් වශයෙන් අප සතුව මේ සියල්ලම තිබෙනවා. අවශ්‍යනම් එය සැප්තැම්බර් 22වනදා සිට ක්‍රියාත්මක කළ හැකියි. වෙනත් කිසිම පක්ෂයකට එවන් සැලැස්මක් නැහැ.

“පුළුවන් ශ්‍රී ලංකා” කියන්නේ සැප්තැම්බර් 22 වැනි දා සිට ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක්. “ජය රනිල්ට, රටම රනිල්ට” කියලා මම කියන්නේ නැහැ. පරණ දේශපාලන සම්ප්‍රදායේ වෙනසක් සිදු කළ යුතුයි කියන අය අද ඉන්නේ සාම්ප්‍රදායික දේශපාලනයේයි. සම්ප්‍රදායික දේශපාලනයෙන් කියලා එන අය තමයි වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අප සිදු කරන ඒ වෙනස ආර්ථිකයට සීමා කරන්නේ නැහැ.  

සමාජ හිංසනය වැලැක්වීම, කාන්තාවන් සවිබලගැන්වීම ඇතුළු අංශ ගණනාවකින් වෙනස්කම් සිදු කළ යුතුව තිබෙනවා. අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා තවදුරටත් වැඩි කළ යුතුයි. මේ සියලුම අංශ නවීකරණය කළ  යුතුයි.

රටට දේශපාලන පරිවර්තනයක් ද අවශ්‍යයි. පරිපාලන අංශයක් හැටියට නොව සංවර්ධන අංශයක් ලෙස පළාත් සභා නවයද කටයුතු කළ යුතුයි. ඒවායේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවිය යුතුයි. ඒවගේම දේශපාලනයට සම්බන්ධ නොවන අයට ජන සභා ක්‍රමය ඇති කිරීමට අප කටයුතු කළ යුතුයි. ඒ වගේම පුරවැසියන් ලක්ෂයක් එකතුවී ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තුවේ විවාද කළ යුතුයි කියා ඉල්ලා සිටීමට හැකිවන නීති සම්පාදනය කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

2022 වසරේ අරගලයෙන් පසුව මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් වී තිබෙනවා. අලුත් දේශපාලන ක්‍රමයක් මතුවෙමින් තිබෙනවා. ඒ සඳහා කාලයක් ගතවෙනවා. නමුත් ඊට අවශ්‍ය පසුබිම අප සකස් කරමින් යනවා. හොරු අල්ලන්න හොරා පොලිස් වගේ බැහැ. ඒ සඳහා අවශ්‍ය නීති අප සම්මත කර තිබෙනවා. තවත් සමහර නීති සම්මත කෙරෙමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය පිරිසටද අවශ්‍ය පුහුණුව ලබාදීමට කටයුතු කරනවා. ආර්ථික, සමාජ, දේශපාලන පරිවර්තනයකට අප ගමන් කරනවා.

මැතිවරණ ක්‍රමය පිළිබඳ අප හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ කොමිෂන් සභාව පත් කර තිබෙනවා. එම වාර්තාවේ යෝජනා අසූ හතක් ඉදිරිපත් කර තිබෙනවා. කිසිඳු දේශපාලන පක්ෂයක් මේ පිළිබඳ කතා කරන්නේ නැහැ. මේවා අප ඉදිරියට ගෙනියනවාද නැද්ද යන්න අද තීරණය කළ යුතුව තිබෙනවා.

මීට අමතරව විකල්ප යෝජනා දෙකක් තිබෙනවා. එකක් “බ්ලූ ප්‍රින්ට් 3”. එය ඇත්තෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ සඳහන් වෙන යෝජනාවක්. ඒක සාමාන්‍ය ජනතාවට තේරෙනවද නැද්ද යන්න පිළිබඳ ගැටළුවක් තිබෙනවා. නමුත් එහි තිබෙන ගැටලුව වන්නේ එක පක්ෂයකින් ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එකම පක්ෂයේ කණ්ඩායම් දෙකක් මැතිවරණ ප්‍රකාශන දෙකක් ඉදිරිපත් කර තිබීමයි. අනිත් විකල්ප යෝජනාව තිබෙන්නේ මාලිමාවේයි. එතනදි උත්සහ කරන්නේ වෛරය ඇති කරන්නයි. 1948 වසරේ සිට මේ දක්වා සිටි පාලකයන් කිසිවක් කළේ නැහැ, රට සූරා කෑ බව ප්‍රකාශ කරමින් ඔවුන් විතරක් රටට දේවල් සිදු කරන බව ප්‍රකාශ කරනවා. ඔවුන්ට රට වෙනුවෙන් යෝජනා කිසිවක් නැහැ. මම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු දෙසිය තිස් දෙකම කියවා බැලුවා.

අපේ රටේ ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු විය යුතු බව සැප්තැම්බර් 04වෙනිදා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රතිපත්තියක් ලෙස එය ඉතා හොඳයි. නමුත් ගැටළුවක් තිබෙනවා. ශ්‍රී ලංකාව එළැඹී ඇති නිදහස් වෙළඳ ගිවිසුම් අවලංගු කරන බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඉතින් නිදහස් වෙළඳ ගිවිසුම් වලින් තොරව අපනයන කර්මාන්තයක් ඇති කරන්නේ කොහොමද? එනිසා මෙවැනි ගැටලු තිබෙනවා.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඔවුන්ගේ ආර්ථික විශේෂඥ හර්ෂණ සූරියප්පෙරුම මහතා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණය හමුවට ගියා. ඒ එම කෙටුම්පත අපනයන පදනම් කරගත් ආර්ථිකයක් බවත්, එනිසා ආනයන මත පදනම වූ ව්‍යාපාරවලට අවස්ථාවක් සලසා දී නොමැති බවත් පවසමින්. මේ සියල්ල නිසා පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට විරුද්ධ බව ඔවුන් එම නඩුව ගොනු කරමින් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සඳහන් කර ඇති දෙවන හේතුව වන්නේ, විදේශීය ආයෝජකයන්ටත් දේශීය ආයෝජකයන් හා සමානව සැලකීම ව්‍යවස්ථාවට විරුද්ධ බවයි. මේක  අච්චාරුවක් වගෙයි. එක් පැත්තකින් අවශ්‍යයි කියනවා, අනෙක් පැත්තෙන් එපා කියනවා. මෙවැනි වැඩසටහනක් අපට ඉදිරියට ගෙනයා හැකිද යන්න ප්‍රශ්නයක්. ඔවුන් අපේක්ෂා කරන වෙනස වන්නේ මෙවැන්නක්ද?

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස මම අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළා. මේ ආකාරයට දේශපාලනයෙන් සිදු කළ නොහැකියි. රට බේරා ගන්නවා නම්, හොඳින් සිතා එක්ව කටයුතු කළ යුතුයි. මේ රටේ දේශපාලනය වී ඇත්තේ පොරොන්දු ලබා දී පැන යාමයි. අනෙකුත් රටවල් වල මෙන් වැඩසටහනක් ඉදිරිපත් කර, එය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ නැහැ. අප පළමුවෙන් ඇති කරගත යුතු වන්නේ එම වෙනසයි.

මාලිමාව වගේ වෛරය පතුරවමින් පදනමක් නොමැතිව කතා කරමින් පිටු 232ක පොතක් ඉදරිපත් කිරීමන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. එනිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි. රටේ අනාගතය ගැන කතා කරන්නට නොහැකිනම්, රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නැහැ. රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණයි. ඡන්දදායකයින් ලෙස මේ කරුණූ පිළිබඳ හොඳින් අවධානය යොමුකර කර තීරණ ගත යුතුය.”

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ජාතික බැංකුකරුවන්ගේ සංගමයේ සභාපත් අනුර අලහකෝන්, ලේකම් අසේල ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරී මණ්ඩලය, ඉහළ පෙළේ බැංකු නිලධාරීන් සහ බැංකුකරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more