ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන්ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙකේදී ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා

• සජිත් සහ අනුර  දෙන්නේ දේශපාලනය අරමුණු කර ගත් පොරොන්දු මිස රට සහ ජනතාව ගැන සිතා ලබා දෙන පොරොන්දු නොවෙයි.

• කවුද ඇත්ත කථා කරන්නේ, කවුද ප්රතිඵල ලබාදුන්නේ කියා සිතා බලා ජනතාව තීරණයක් ගත යුතුයි.

• උදෑසන නැගිට ඇවිදින්න යනවාද ? ගෑස් සහ ඉන්ධන පෝලිම්වල සිටිනවාද? තීරණය කරන්න.

• රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා - ජනපති ජාඇලදී පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන්ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක තුළදි ජනතාවගේ බදු බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වන්නේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර, රුපියල ශක්තිමත් කර සහන ලබාදීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපත්ති අනුගමනය නොකර හිතුමතේ බදු අඩු කළහොත් සිදු වන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාඇල නගරයේ දී අද (30) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

එදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වන බව පවසමින්, බදු අඩු කළ බවත් එහිදී රටේ ආර්ථිකය කඩා වැටුණු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

සජිත් සහ අනුර අද ජනතාවට ලබා දෙමින් සිටින්නේ දේශපාලනය අරමුණු කර ගත් පොරොන්දු මිස රටේ සහ ජනතාවගේ අනාගතය පිළිබඳ සිතා ලබා දෙන පොරොන්දු නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඔවුන් සැබෑ ලෙසම ජනතාව ගැන සිතනවානම් 2022 ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට තිබු බවද ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

සාමාන්‍ය ජනාධිපතිවරණයකදී අප සියලුදෙනා එක වේදිකාවක ඉන්නේ නැහැ. වේදිකාවන් දෙකකට බෙදිලයි ඉන්නේ. නමුත් අද අපි මේ වේදිකවේ එකට සිටිනවා. ඒ අප සියලුදෙනා එකට එක් වූ නිසයි. අපි එකට එකතුවුණේ ජනාධිපතිවරණය කරන්න නොවෙයි. අප එකට එක්වුණේ රටේ ආර්ථිකය ගොඩගෙන ජනතාව බේරා ගැනීමටයි.

මම ජනාධිපති ධූරය භාරගත් පසු හැම කණ්ඩායමකම පිරිස එක්කරගෙන ආණ්ඩුවක් හැදුවා. සාමාන්‍ය විදියට ආණ්ඩු හදන්න ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කළාට විපක්ෂනායකයාවත්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවත් ආවේ නැහැ. ඔවුන් සිතුවේ රට ඉවරයි, ආර්ථිකය ඉවරයි කියලයි.

නමුත් අපි රට භාරගත්තා. එම නිසා ආර්ථිකය වගේම රටත් බේරුණා. එහිදී අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අපි ඒ පිළිබඳ ජනතාවට කිව්වා. අපිට බැන්නත් අපි ඒවා ඉවසුවා. නමුත් එම තීරණ ගැනීම නිසා ආර්ථිකය ශක්තිමත් වුණා. ආර්ථිකය ශක්තිමත් වූ විට රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වූ විට ජනතාවට සහන ලැබෙනවා.

අපි පොහොර සහ ඉන්ධන ලබාදී කෘෂිකර්මාන්තය ආරම්භ කළා. එතැන් සිට ආර්ථිකය දියුණු වෙන්න පටන් ගත්තා. එම දියුණුවත් සමඟ අපි ජනතාවට සහන ලබාදීමට අස්වැසුම වැනි වැඩසටහන් ආරම්භ කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකට වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. 2025 පාදක වසර කර ගනිමින් අවම වැටුප රුපියල් 55,000ක් බවට පත් කිරීමටත් අප කටයුතු කරනවා. එවන් දියුණුවක් අප මේ වන විට ඇති කරගෙන තිබෙනවා.

අපි දැන් ගොවින්ට සහනාධාර ලබාදීම ආරම්භ කර තිබෙනවා. ධීවර කර්මාන්තය නවීකරණය කර අපි ධීවර ප්‍රජාවට ද සහනාධාර ලබා දෙනවා. නව තාක්ෂණය යොදා ගනිමින් මෙම ක්ෂේත්‍ර දියුණු කළයුතුයි.

අද අනෙකුත් අපේක්ෂකයන් වේදිකාවල කියන්නේ බඩු මිල අඩු කරනවා, සහනාධාර ලබා දෙනවා කියලයි. නමුත් මම එහෙම කියන්නේ නැහැ. අප සහනාධාර ලබා දෙන්නේ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නංවා ගැනීමට සහ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමටයි. ජනතාවගේ ආදායම් වැඩි කරනවා වගේම  රැකියා අවස්ථා ද ඉහළ නංවනවා.

අප මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. අද අපත් සමඟ ඉන්නේ පුළුවන් කියු අයයි. විපක්ෂයේ ඉන්නේ බැහැයි කියපු අයයි. කරන්න බැහැ කියපු අය අපට දැන් බනිනවා. අප ඉදිරියට යා යුතුයි.

ඒ වගේම අප මේ ජාඇල ප්‍රදේශය විශාල සංවර්ධනයකට ලක් කරනවා. ගුවන්තොටුපොළ සහ වරාය හරහා එම දියුණුව මේ ප්‍රදේශයට ලැබෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරද දියුණු කළ යුතුයි. රටේ ආර්ථිකය දියුණුවීමත් සමඟ මෙම ක්ෂේත්‍ර දියුණු වෙනවා.

ඒ සමඟ අලුතින් ආයෝජන කලාප ආරම්භ කරනවා. ඒ සඳහා බිංගිරිය, කෑරගල ඇතුළු ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. අපට එම සැලසුම් තිබෙනවා. සැප්තැම්බර් 22 වනදා සිට අප එම කටයුතු ආරම්භ කරනවා.

අප ඉදිරියට යා යුත්තේ මෙම වැඩපිළිවෙළ සමඟයි. බදු අඩු කළොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට මුදල් ලබා දෙන්නේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් පමණයි. ආදායම් වැඩි කරගෙන රුපියල ශක්තිමත් කරගෙන අප ඉදිරියට යා යුතුයි. අපි ජනතාවගේ ආදායම් වැඩි කර  බදු අඩු කරනවා. ඉදිරි වසර දෙකේදී ජනතාවගේ බදු බර සැහැල්ලු කරන බව මම ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් 18ක් සංවිධාන 03ක් අප පිටුපස සිටිනවා.මේ සියලුදෙනා සමඟ අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

කවුද ඇත්ත කථා කරන්නේ, කවුද ප්‍රතිඵල ලබාදුන්නේ කියා සැලකිල්ලට ගෙන දේශපාලන තීන්දු ගත යුතුයි. මෙම පියවර ගන්නේ  මගේ අනාගතය වෙනුවෙන් නොව, ඔබේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි. ඔබ උදෑසන නැගට ඇවිදින්න යනවද, නැත්නම් ඉන්ධන, ගෑස් පෝලිම්වල ඉන්නවද, වෙලාවට බෙහෙත් ගන්නවද, බෙහෙත් නැතිව මිය යනවද කියා ඔබ තීරණය කළ යුතුයි.

රැ වැටුණු වළේ ඔබ දවල් වැටිය යුතු නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා බදු ඉවත් කළ විට ආර්ථිකය දියුණු වෙනවා කියලා. ඔහු බදු අඩු කළා, ආර්ථිකය වැටුණා. නැවත එය සිදු විය යුතුද, තමන්ගේ අනාගතය දෙස බලා තීරණයක් ගන්න, ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා,

එදා අර්බුදයෙන් අනතුරුව රට ගොඩනැගීමේ වගකීම බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා  රටේ ආර්ථිකය ඉහළට ගෙන එමින් ජනතාවට සහන දීමට පියවර ගත්තා.  නමුත් විපක්ෂයට සම්බන්ධ  වෘත්තිය සමිති රට නැවත කඩා වට්ටන්න උත්සාහ ගත්තා. දරුවන්ට ඉගෙන ගන්න දුන්නේ නැහැ. විශ්වවිද්‍යාල සිසුන් පාරට බැස්සුවා. වෘත්තිය ක්‍රියාමාර්ග ලෙස ගුරුවරුන් ලෙඩ නිවාඩු දැම්මා. වැටුප් විෂමතාව විසඳන තුරු වෘත්තිය ක්‍රියා මාර්ග අවසන් ‍නොකරන  බව ප්‍රකාශ කළා.

මේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළා. දැන් මම ප්‍රශ්න කරනවා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සඳහා වන විසඳුම දීලා තියෙන්නේ කාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ‍නයේද කියලා. එය තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පමණයි. පසුගිය වසරේ මැයි මාසයේ පත් කළ දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ වාර්තාව අනුව 2025 ජනවාරි 02 වෙනිදා සිට රාජ්‍ය සේවයේ අවම වැටුප 24% සිට උපරිමය 35% කින්  වැඩි වෙනවා. අවම වැටුප රුපියල් 55,000 යි. ජීවන වියදම් දීමනාව රුපියල් 25,000යි. විශ්‍රාමිකයින්ට එයින් 50%ක් ලැබෙනවා. NVQ ශ්‍රේණි අනුව වෘත්තිය සුදුසුකම් ඇතුලුව  සදහටම වැටුප් විෂමතාව අවසන් වන අයුරින් ඒ වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.

අමාත්ය රමේෂ් පතිරණ මහතා,

මේ රට අරාජික වීමට නොදී  භාරගන්නා ලෙස එදා  විවිධ පක්ෂවල නායකයින්ගෙන් එවකට සිටි  ජනාධිපතිවරයා  ඉල්ලා සිටියා.  ඒ අවස්ථාවේ  සජිත් ප්‍රේමදාස මහතා  මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසු  ඔවුන්‍ගේ ආර්ථික උපදේශක හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ  ට්විටර් පණිවිඩය වුණේ "ශ්‍රී ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම විශ්වාස කළ නොහැකි,  ඇදහිය නොහැකි මහා වික්‍රමයක්"  කියන සටහනයි.  ඒ ඇදහිය නොහැකි මහා වික්‍රමය අප රටේ සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

සිවිල් යුද්ධයෙන් රට ගලවා ගැනීම වගේම  මෙරට ආර්ථික යුද්ධයෙන් මේ රට ගලවා ගැනීමත් විශාල විජයග්‍රහණයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. මෑත ඉතිහාසයේ ආර්ථික අර්බුදයකින් ගොඩ ආ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එයට දිශාණිතිය, නායකත්වය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. මේ තත්ත්වය හමුවේ රට ආපස්සට ගෙන යාමට තවත් අයෙකුට අවස්ථාවක් දෙනවාද එසේත් නැත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කිරීමට ශක්තියක් වෙනවාද යන්න ඔබ තීරණය කළ යුතුයි. ඒ තීරණය ගන්නා අවස්ථාවේදී මීට වසර දෙකකට පෙර මේ වෙලාවේ ඔබ සිටියේ කොතනද, කෙසේද යන්නත් සිහිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා,

මෙම ජනාධිපතිවරණයෙන් අපේ රටේ අනාගතය තීරණය වනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළා. අවුරුදු දෙකක් තුළ රටේ ආර්ථිකය කඩා වැටෙන හැටි, කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි පණ නගන ආකාරය අපි සියැසින් දැක්කා. ඒ අත්දැකීම ලබපු ඕනෑම කෙනෙක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවාට කිසිදු සැකයක් නැහැ.

ලෝකයේ රටවල් ගණනාවක් මෙවැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා. කඩා වැටුණු රටක් ගොඩගන්න ඍජු නායකත්වයක් අවශ්‍යයි. පහුගිය අවුරුදු දෙක තුළ පාර්ලිමේන්තුවේ අණපණත් අසූ හතරක් සම්මත කර තිබෙනවා. ආර්ථික වර්ධනය, වංචා දූෂණ නතර කිරීම, මහ බැංකුව ස්වාධීන කිරීම වැනි වැදගත්  අණපනත් රාශියක් ඒ අතර වෙනවා. අද ජනාධිපති අපේක්ෂකයන් විවිධ පොරොන්දු ගේනවා. 2015 මෛත්‍රී පාලනයක් ගෙනාවා. නමුත් රට ආපස්සට ගියා. 2019 ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය ගෙනාවා. ඒකත් වැරදුනා. ඒ නිසා මේ වාරය වරද්ද ගන්න එපා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමට හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්ය නලින් ප්රනාන්දු මහතා,

අප මෙවර මුහුණ දෙන්නේ ලංකා ඉතිහාසයේ අභියෝගාත්මකම ජනාධිපතිවරණයටයි. දේශපාලන නායකයෙක් වාසියට වැඩ කරන්න ගිහිල්ලා රටක් කඩා වැටුණා. ඒ වෙලාවේ රට බේරාගත්තේ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි මැතිතුමායි . එතුමා සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින  අනෙක් නායකයන් දෙන්නා ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔවුන් තමන්ගේ පරාජය භාරගත්තේ මීට අවුරුදු දෙකකට පෙරයි.

දැන් පොරොන්දු දේශපාලනය ඉවරයි. මීට අවුරුදු දෙකකට කලින් ලෝකයේ ඉහළම උද්ධමනය තිබුණේ අපේ රටෙයි. නමුත් අද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා බඩු මිල අඩු කරන්න හැකි වී තිබෙනවා. දැවැන්ත නායකයෙකුට ජය ගත නොහැකි තවත් අභියෝගයක් නැහැ. ඒ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේඅභියෝගය ජය ගත් ජයග්‍රාහී අපේක්ෂකයා ලෙසයි. .

හිටපු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා,

මේ වන විට තීරණය වී ඇති ආකාරයට ලබන සැප්තැම්බර් විසි එක්වෙනිදා පැවැත්වෙන්නේ තුන්කොන් ඡන්ද සටනක්.  ඒ කියන්නේ රට බේරාගත් නායකයයි, ඇඟ බේරා ගත් නායකයෝ දෙන්නෙකුගෙයි අතර ඡන්ද සටනක් කියලා මම කියන්න කැමතියි.  මේ වන විට මාලිමාව කියන විදියට මාලිමාව ජයග්‍රහණය කරලා අවසන් කියා ඔවුන් කියනවා. නමුත් කල්පනා කරල බලන්න කවුද අනුරගේ මිනිස්සු? සුනිල් හඳුන්හෙත්තිට පුළුවන්ද විදේශ රටකට ගිහින් ණය ගැන කතා කරලා, IMF සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්න විසඳගන්න?

මේ රටේ මිනිසුන්ට මතක ඇති, එදා  චිට් ක්‍රමයක් හඳුන්වා දීලා කිව්. ආර් කෝඩ් මඟින් තෙල් දුන්නා. මාසයෙන්, දෙකෙන්, තුනෙන් හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත් කළා. විදේශිකයන් එන්නේ නැතුව ගුවන් තොටුපොළ වහලා තිබුණේ. අද මේ විදියට තියෙන්නේ එහෙම තත්ත්වයක තිබුණ රටක් කියලා හිතන්නවත් පුලුවන්ද?  

මෙතරම් දේවල් සිදුව තිබියදීත්  අපි අත්හදා බැලීම් කරන්න යන්නේ ඇයි? අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා අපි එක පාරකුත් පරිප්පුවක් කෑවා. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය අත්දැකීමක් තියෙන මිනිහෙක්. මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය පරිණත භාවයක් තියෙන මිනිහෙක්.

සජිත් ප්‍රේමදාස මහත්තයා ගැනත් යමක් කියන්න අවශ්‍යයි. එතුමා දන්නවා මේ මොහොත වෙනකොට එයාම බස් දාලා, එයාම සෙනඟ ගෙනල්ලා, ඔහු ඔහුවම රවට ගන්නවා කියලා.  එයා කතාකරන්නේ හැමදාම කතා කරපු අයට විතරයි කියලා. අපිට මතකයි  සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම සෙනඟ පෙන්නලා තමයි එතුමා දිනනවා කියලා පෙන්නුවේ.

ඒ නිසා රට බේරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරි දින 22, ඔබගේ සහාය , සම්පූර්ණ ශක්තිය යොදවන ලෙස මා ඉල්ලා සිටිනවා. මම එහෙම   කියන්නේ එසේ නොවන්නට තවඅවුරුදු පහක් දුක් විඳින්න වෙයි. මාස හයක් යන්න කලින් ආයෙමත් පෝලිම් වලට යන්න වෙන අවදානම නිසයි.

හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා,

මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු අපේක්ෂකයන් 38 දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා.  ජනපති පුටුවට යාමට කී දෙනෙක් බලන් ඉන්නවා ද කියනවා නම්  අනුර හා සජිත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණයෙන්ම ඒ බව හිතා ගත හැකියි.

නමුත් එදා දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබූ අවස්ථාවේ රට  භාරගන්න ඔය කිසි කෙනෙක් හිටියේ නැහැ. බලය දුන්න වෙලාවේ කවුරුත් බාරගත්තේ නැහැ. ඉතිහාසයේ කිසි දිනෙක  ධනපති පන්තියේ නායකයන් නිර්ධන පන්තියට බලය ලබා දී නැහැ. නමුත් බන්දේසියේ තබා ලබා දුන් ජනාධිපතිකම ඔවුන් බාර ගත්තේ නැහැ.

එවන් ඉතිහාසයක් සහිතව වුවත් අද ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අවස්ථා ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට සිදු කළ වෙනස නිසයි. එතුසමා මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී අපි වරද්දා ගතහොත් මේ රට දෙවනි ග්‍රීසිය බවට පත් වෙනවා. ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අවුරුදු 12ක් ගත වුණා. ලෙබනනය, ආජන්ටිනාව, ඉතියෝපියාව තවමත් බංකොලොත්භාවයෙන් මිදී නැහැ. ඒ අයුරින් බලද්දී අපේ රටේ ආර්ථික අර්බූදය මෙතරම් කෙටි කාලයකින් ජය ගැනීමට හැකි වීම විශ්ම කර්මයක් නොවේද? ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉතියෝපියාවට උපදෙස් දුන්නේ ඒ නිසයි. අද මුළු ලෝකයම එතුමාට ප්‍රශංසා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතා,

වට්ටපු රට අවුරුදු දෙකෙන් ගොඩ ගත්තේ කවුද ? ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. රට වැටුණම සජිත්ට අනුරට එන්න කීවාම ආවද ? තනියෙන් ආවේ කවුද ?  ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. අන්න ඒක විතරක් මතක තියා ගන්න. මතක තියාගෙන  කළගුණ සළකන්න. අපිට පාරට බහින්න  විදිහක් නැතුව, ඉන්ධන, ගෑස්, පොහොර, ඖෂධ නැතුව සිටියදී  අප වෙනුවෙන් සිටියේ කවුද කියා මතක් කරන්න.  

රට ආයේ වැටුණොත් යළිත් ඒ තත්ත්වයට යන එක කාටවත් වළක්වන්න බැහැ. එදා රට භාර ගන්න සජිත්, අනුර ඉදිරිපත් වුණෙත් නැහැ. තනි මන්ත්‍රී ධුරයක් තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා භය නැතුව ඉදිරිපත් වුණා. අද සංචාරකයෝ එනවා. ඉන්ධන , ගෑස්, ඖෂධ ඕන තරම් තිබෙනවා. අද පාසල් විවෘතයි.  විභාග පවත්වනවා. මේවා නේද අපට අවශ්‍ය වුණේ?

විවේචන කරලා, බොරු කියලා රටවල් ගොඩගන්න බැහැ. රට ගොඩ ගන්න  ජාත්‍යන්තර සම්බන්ධතාද  අවශ්‍යයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ජාත්‍යන්තර සබඳතා අනුර කුමාරට තියෙනවා ද?

ඒ වගේම මනා අත්දැකීම්, පළපුරුද්ද තියෙන්න ඕනි. කළ පුරුද්ද තියෙන්න  ඕන. අනුර කුමාරට පුළුවන් කාවහරි විවේචනය කරන්න විතරයි. කාටහරි දොස් කියන්න විතරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු  මේ රට ලබන දැවැන්ත ප්‍රගතිය, සංවර්ධනය කාටවත් වළක්වන්න බැහැ.  

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු අන්‍යාගමික නායකයන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  රාජ්‍ය අමාත්‍ය   සිසිර ජයකොඩි,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී දිල්ෂාන් ජයවර්ධන  යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more