මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?

• මාලිමාව ගණන් සඟවා ජනතාවට බොරු කියනවා.

• ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වහාම රටට කිවයුතුයි.

• හොරු අල්ලන බවට වේදිකාවේ කෑ ගැහුවත් ජවිපෙ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අල්ලා ගත්තේ මොන හොරාද? ආපසු ගත්තේ කාගේ දේපළද?

• ජනප්‍රිය ප්‍රකාශ නොවුණත් මා සෑමවිටම ජනතාවට ඇත්ත කියනවා.

• සජිත් පරාජය පිළිගෙන අවසන්.

• සජිත්ට සහ නාමල්ට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් - ජනපති කැස්බෑවේදී කියයි.

අද මාලිමාව රට පුරා වෛරය වපුරමින් සිටින බවත්, වෛරයේ මුවාවෙන් ඔවුන් බලය ලබාගතහොත් අවසානයේ රටට සිදුවන්නේ කුමක්ද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබාදෙමින් සිටින මාලිමාව තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතු බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය නොවුණත් තමා සෑමවිටම ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන්නේ රටේත්, ජනතාවගේත් හෙට දවස වෙනුවෙන් බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (12) පස්වරුවේ කැස්බෑවේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

එදා අනුර කුමාරට භාරදුන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ වගකීම නිසි ලෙස ඉටු කළා නම් අද මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වී තිබිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රතිපත්තියකින් තොරව වෛරය පමණක් වපුරන ඔහුගේ වැඩපිළිවෙළ රට විනාශය කරා ඇද දමන බවද පැවසීය.

එසේම සියල්ල නොමිලේ ලබාදෙන බව කියන සජිත් අනුර කුමාර සහ තමා අතර ඩීල් එකක් ඇති බව ප්‍රකාශ කරමින් අනුර සහ තමා ඔහුව පරාජය කිරීමට සූදානම් වන බව පවසන බවත්, මේ වන විටත් සජිත් පරාජය පිළිගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එබැවින් සජිත් ප්‍රේමදාසට සහ නාමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් බව ජනතාව අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

ලබන සතිය අවසන් වන විට ඡන්දය ලබාදී තමන්ගේ අනාගතය තීරණය කිරීමට මේ රටේ ජනාතවට අවස්ථාවට ලැබෙනවා. ඒ මත ජනතාවගේත්, මේ රටේත් අනාගතය තීරණය වෙනවා.

වසර දෙකකට පෙර මේ රටේ ජනතාවට ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ නොතිබු අවස්ථාවේ තමන්ගේ වැඩපොළ වසා දමා තිබු අවස්ථාවේ මේ එක නායකයෙක්වත් ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ලබාදීමට ඉදිරිපත් වුණේ නැහැ. එදා ඒ නායකයන් කොහෙද හිටියේ  කියා මම අහනවා. අද ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලා සිටියත් එදා ඔවුන් දකින්න හිටියේ නැහැ.

ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව පෝලිම්වල සිටියා. ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටියා. එය මට එදා දරා ගන්න බැරි වුණා. මගෙන් ඇසු විට අගමැතිකම භාරගන්නවද කියලා මම එකඟ වුණා. මම කාගෙන්වත් අගමැතිකම උදුරා ගත්තේ නැහැ. එය භාර ගැනීමට කිසිවෙක් සිටියේ නැහැ. ඉන්පසුව ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා. අද ජනතාවට ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් තිබෙනවා. පොලිම් නැහැ. රුපියල ශක්තිමත් වී තිබෙනවා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩඑමින් තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරභාවය අප තහවුරු කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි මම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතා වරම ඉල්ලන්නේ. මේ රට දියුණු කිරීමේ සැලස්ම අප මේ වන විට ජනතාවට ඉරිපත් කර තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

නමුත් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කියන්නේ අපි මේවට සම්බන්ධ නැහැ මුන්ව එළවලා දාලා අපිට බලය දෙන්න කියලා. මාලිමාවට ඡන්දය දෙන්න ඕන කියනවා. මාලිමාවට ඡන්දය දුන්නොත් මොකද වෙන්නේ. ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනවා.

ඩොලරය රුපියල් 370 වන විට දරා ගන්න බැරි වුණානම් ඩොලරය රුපියල් 400 – 420 වන විට දරා ගන්න පුළුවන්ද? කියා සිතිය යුතුයි.  

අනුර කියනවා මුන් ඔක්කොම හොරු අපි ඔවුන්ව පන්නා දමා, හිරේ දානවා කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව අයවැයක් හදලා දෙන්න කියලා මම කිව්වා. ඔවුන්ගේ අය වැය පරතරය රුපියල් බිලියන 4000යි. ඔවුන්ගේ අය වැය අනුව රුපියලේ අගය අඩු වෙනවා. එවිට ඩොලරය රුපියල් 420ට යනවා. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා IMF කොන්දේසි කඩ කිරීම නිසා ඔවුන්ගේ සහාය ලබා දෙන්නේ නැහැ කියලා.

අද අනුරලා  කතා කරන්නේ ගණන් වහලයි. ඔවුන් ජනතාවට ඇත්ත කියන්නේ නැහැ. උන් හොරු, උන් අයින් කරලා දාලා අපි බලය ගන්නවා කියනවා. අප හොරුන්ගෙන් මුදල් අය කරගන්නවා කියනවා.

අපි දූෂණ විරෝධි නීතිය ගෙනාවා. මෙම වැඩකටයුතු සඳහා එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මුදල් නැවත ලබා ගැනීමට නම් අපි තවත් පියවර කිහිපයක් ගත යුතුයි.

අපරාධයකින් අත්පත් කරගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත අප ඉදිරිපත් කර තිබෙනවා. ඒක සම්මත කර ගන්නා තෙක් මෙම කටයුතු කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අවුරුදු තුනකින් හොයා ගත්තේ මොනවාද? ඔහු නඩු දැම්මේ කාටද. කාගේ දේපළද ආපසු ගත්තේ කියා මම අහනවා. ඒ නිසා මේ විදිහට බොරු පොරාන්දු දෙන්න එපා කියලා මම  අනුර කුමාරට කියනවා.

ඒ නිසා මාලිමාවට කතිරය ගහන්න කියන්නේ වෛර කරන්නද, මාලිමාවට කතිරය ගැහුවොත් සියලුදෙනා ඉවරයි. ඒ නිසා බොරු පොරොන්දු දෙමින් වෛරයේ මුවාවෙන් මොවුන් බලය ගත්තොත් අවසානයේ සිදු වන්නේ කුමක්ද කියා මේ රටේ ජනතාව සිතා බැලිය යුතුයි.

බදු අඩු කරනවා කියලා ඔවුන් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කරපු දේ ආපසු කරන්න අවශ්‍යද, මම කියන්නේ ජනප්‍රිය දේවල් නොවෙයි. මම සෑමවිටම ඇත්ත කියනවා. ඒ නිසා මේ අයවැය පරතරය පියවා ගන්නේ කෙසේද කියා මාලිමාව රටට කිවයුතුයි.  

හිටපු කෘෂිකර්ම ඇමති අනුර එදා ඔහුගේ වගකීම හරියට ඉටු කළානම් අද රටේ ආහාර හිඟයක් නැහැ. මම ඔහුගෙන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන විමසුවා. නමුත් තවමත් පිළිතුරක් නැහැ. ඒ වගේම අපට ප්‍රශ්න තිබෙනවනම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමු කියලා කිව්වා. මේ කිසිවක් ගැන ඔහුගෙන් ප්‍රතිචාරයක් නැහැ.

මුන් තමයි වගකියන්න ඕන, මුන් තමයි රට විනාශ කළේ කිය කිය ඉන්නේ නැතිව තමන් රට ගොඩනගන ප්‍රතිපත්තිය කියන්න කියා මම අනුර කුමාරට කියනවා.

ඔබ සිතිය යුත්තේ ඔබේ සහ ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි. නැතනම් අපේ රටත් ග්‍රීසිය, ආර්ජන්ටිනාව වැනි තත්ත්වයට පත් වෙනවා. එය වළක්වා ගැනීමටයි මම මේ උත්සහ කරන්නේ.

අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස කියනවා සියල්ල නොමිලේ දෙනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා මමයි අනුර කුමාරයි ඩීල් එකක් දාලලු ඔහුව පරද්දන්න. එයින් අදහස් වන්නේ සජිත් පිළිගන්නවා සජිත් පරිදින්න යනවා කියලා.

සජිත් ප්‍රේමදාසට හා නමල් රාජපක්ෂට දෙන ඡන්දය අනුර කුමාරට දෙන ඡන්දයක් කියලා මම මතක් කරන්න කැමතියි.

මාලිමාවට ඇත්ත කියන්න බැරිනම් ඔබ ඔවුන්ගෙන් අහන්න මාලිමාවේ ආණ්ඩුවක් යටතේ රුපියලේ වටිනාකම කීයක් වෙයිද කියලා. ඒ පණිවිඩ අනෙක් ජනතාවටත් ලබා දෙමින් රටත්, ආර්ථිකයක් බේරගන්න සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත් , නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ නායකයෙක්. බංකොලොත් වී තිබූ රටක් නිවැරදි කළමනාකරණයක් තුළින් වේගයෙන් යථා තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ එතුමායි.

මේ රටේ සුවහසක් කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමට කටයුතු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස විද්‍යා පීඨ ආරම්භ කළා. ගුරු පුහුණු මධ්‍යස්ථාන බහුතරයක් ආරම්භ කළා. මේ රටට අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේම ලක්ෂණයක් බව කිව යුතුයි. මේ රටේ පළමු රූපවාහිනී නාලිකාව ආරම්භ කළේද ඒ වික්‍රමසිංහ පරපුරේ තවත් පුරුකක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහෝදරයායි.

ජනතා විමුක්ති පෙරමුණ රට නොමග යවා බලය ලබා ගැනීමට සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු කිරීමට නොවෙයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර තුනක් පමණක් තබාගෙන ජනාධිපති සිහිනය දකින ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමට යන්නේ බලහත්කාරයෙන්ද කියා මම ප්‍රශ්න කරනවා.  

මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් මෙතක් දුර පැමිණි මාවතේ නොනැවතී ගමන් කළ හොත් සංවර්ධිත රටක් යනු තවත් වචනයක් පමණක්ම නොවන බව කිව යුතුයි. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ ජයග්‍රහණයට ඔබේ සහාය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

නායකයන් බිහි වන්නේ අර්බුදකාරී අවස්ථාවලදීයි. නායකත්වය යනු අභියෝග භාර ගැනීම මිස බයේ පැන දිවීම නොවෙයි. එදා බයෙන් පැන ගිය අය අද ජනාධිපති අපේක්ෂයින් බවට පත් වී සිටිනවා. ඔවුන්ට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්නවත් සුදුසුකම් තිබෙනවාද කියා ඔබ ප්‍රශ්න කළ යුතුයි. මේ රටේ සිටින නායකයින් පිළිබඳ ජනතාවට  අවබෝධයක් ලබා ගැනීමට එය හොඳ අවස්ථාවක් වුණා . සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක අර්බුද අවස්ථාවේදී රටේ වගකීම බාරගන්න ඉදිරියට ආවේ නැති බව මේ රටේ ජනතාව හොඳින් දන්නවා.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ලබන වසරේදී ඉවත් කිරීමට කැබිනට් අනුමතය හිමිව තිබෙනවා. නමුත් වැටුප් ඉල්ලා උද්ඝෝෂණ මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් ගැන සඳහනක්වත් නැහැ. පසුගිය කාලයේ බංගලාදේශයෙන් ගත් ණය ගෙවීමටත් ශ්‍රී ලංකාව සමත් වුණා. එදා අපට ණය දුන් බංග්ලාදේශය අද මුහුණ දී තිබෙන අර්බුදය නැවතත් අපට පාඩමක් කියා දෙනවා.

බලය ලැබුණොත් ඊට පසු දින පාර්ලිමේන්තුව විසුරවනවා කිය අනුර දිසානායක කියනවා. ජනාධිපති රනිල් විකක්‍රමසිංහ මැතිතුමා  එසේ කියන්නේ නැහැ. ජනාධිපතිවරයා යළි බලය ලබා ගත් පසු රට ගොඩ නඟන වැඩ පිළිවෙළ  තව තවත් ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා. මෙය අත්හදා බලන්න සුදුසු අවස්ථාවක් නොවෙයි. අද රටේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනුවෙන් පිබිදීමක් තිබෙනවා. සීයට පනහකට වැඩි ප්‍රතිශතයකින්  එතුමා ජයග්‍රහණය කරවීමට එක් වන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සංගල රත්නායක මහතා,

පසුගිය පෝලිම්  යුගය අද ඇතැමුන්ට අමතක වෙලා . ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ මේ රට ස්ථාවර කළේ රනිල්  වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. පොදු ජන පෙරමුණ, සමගි ජන සන්ධානය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් නියෝජනය කළ මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ සඳහා ජනාධිපතිතුමාට උදව් කළා. එම සහයෝගය ලැබීම නිසා පහසුවෙන්ම ආර්ථිකය කළමණාකරණය කිරීමට එතුමාට හැකියාව ලැබුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයේදී  ලබාදුන් පොරොන්දු  ඉටුකිරීමට යාම නිසා   රට අර්බුදකාරී තැනකට පැමිණියා. බදු අඩු කිරීම , රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය වැනි  තීන්දු නිසා රට වේගයෙන් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කළා. මෙවර ජනාධිපතිවරණයේදීද බදු අඩු කිරීම හා ඉටු කළ නොහැකි පොරොන්දු රැසක් වේදිකාවලින් ඇහෙනවා. නමුත් එවන් කෙනෙකුට රට භාර දුන්නොත් පෝලිම් යුගය නැවත  එන බව මේ ජනතාව දන්නවා.

අර්බුදකාරී අවස්ථාවේදි ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර රටවල් පැමිණියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර සබඳතා නිසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් වඩා මේ රටේ අර්බූදය විසඳා ගැනීමට හේතු වුණේ ජාත්‍යන්තරය තුළ අප තහවුරු කර ගත් විශ්වාසයයි. මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු වීමට හේතු වුණෞද එම විශ්වාසයයි. සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණියේ මේ රට පිළිබඳ විශ්වාස කළ නිසයි.

මේ වසර අවසානය වන විට විදේශ සංචාරකයන් ලක්ෂ 25 කට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇති බව අප විශ්වාස කරනවා.

අද වන විට ඉන්ධන, ගෑස් ,ආහාර, ඖෂධ කිසිම හිඟයකින් තොරව ජනතාවට ලැබී තිබෙනවා. මේ වන විට ණය පාලනය කරමින්  මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවීමට  රජය කටයුතු කර තිබෙනවා. ඒ නිසා ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය වී රට ස්ථාවර වී තිබෙනවා. ලබන වසරේ රැකියා ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය කිරීමටද සැලසුම් සකස් කර තිබෙනවා.

අපනයන ආර්ථිකයක් ඇති කරනවා කියන අනුර කුමාර නිදහස් වෙ‍ළෙඳ ගිවිසුම් අවලංගු කරන බවත් කියනවා. මේ ආකාරයට අපනයන ආර්ථිකයක් ඇති කරන්නේ කොහොමද කියා අනුර කුමාරට අදහසක් නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වන විටත් අපනයන ආර්ථිකය දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික පරිවර්තන පනත ගෙන ඒමට ද කටයුතු කර තිබෙනවා. මේ වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යා හැකි වුවහොත් බදු සහන ලබාදීමට ද අවස්ථාව තිබෙනවා.එම නිසා මෙම ආර්ථික වැඩපිළිවෙළ බිඳ දැමීමට කටයුතු නොකරන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා,

සැප්තැම්බර් 21වැනිදා අප මේ රටට පත් කරන්නේ බියගුළු නායකයෙක් නොවෙයි. අභියෝග හමුවේ පලා නොයන ඊට නිවැරදි විසඳුම් ලබා දිය හැකි නායකයෙක්. ශ්‍රී ලංකාව ජාත්‍යනත්රයේ ඔසවා තැබිය හැකි නායකයෙක්, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් මේ රට දියුණුව කර ගෙන යන නායකයෙක් බව කිව යුතුයි.  ඒ නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ සිටින පිරිස අතරන් අභියෝගය භාරගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. ජනතාව මෙවර වැරදි තීරණයක් ගතහොත්ත් ශ්‍රී ලංකාව බංගලාදේශයක්, මාලදිවයිනක් බවට පත්වීම වළක්වන්න බැහැ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය,

ලබන 22 වැනිදා අලුයම වන විට මේ රටේ නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී පැමිණීම ගැන මා ආඩම්බර වෙනවා. මා වගේම විශාල පිරිසක් සමගි ජන බලවේගය තුළ සිටින බව කිව යුතුයි.  නමුත් ඔවුන් මීළඟ පාර්ලිමේන්තුවට යන සිහිනය දකිමින් සිටිනවා. එහෙත් පාර්ලිමේන්තුවට යනවාට වඩා මේ රටේ ආර්ථික කළමනාකරණය කර,  ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර දීම වටින බව ඔවුන්ට මම කියන්න කැමතියි .

මේ රටේ අනාගතය තීරණය කරන මැතිවරණය මෙයයි. මම නායකයන් දෙදෙනෙක් සමඟ කටයුතු කර තිබෙනවා. වසර ගණනාවක සිට මගේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මා ඒ පිළිබඳව ආඩම්බර වෙනවා.

අපි දැන ගෙන සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අද ජීවතුන් අතර සිටියා නම්, එතුමාගේ සහයෝගය ලැබෙන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව විශ්වාසයි. එදා ආර්. ප්‍රේමදාස මහතාට දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ එය පරාජය කිරීමට නායකත්වය ගත්තේ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.  

පක්ෂය රැකගෙන, ජනතාවත්  රැකගෙන  දේශපාලන නායකත්වයක් ලබා දුන් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මේ රටට ව්‍යසනකාරී  අවස්ථාවන් පැමිණි සෑම අවස්ථාවකම රට බේරා ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යි. එම නිසා කිසිම බයක් සැකක් නැතුව ඔබේ ඡන්දය එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා,

මේ රටට හුස්ම ගැනීමට නොහැකි වූ අවස්ථාවේ රට බාර ගැනීමට ඉදිරිපත් වූ එක ම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. අද බලය ඉල්ලන අනුර කුමාර දිසානායකට එදා  කෘෂිකර්ම ඇමතිකම බාර දුන්නා. ඔහු ඒ කටයුත්ත හරියට කළාද කියා මම අහනවා? ඒ වලේම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දුන්නා, මොනවද කළේ කියලා අහන්න කැමතියි? වැව් දහසක් හදනවා කිව්වා. හදපු එක වැවක් තියෙනවාද කියලා මම අහනවා. අනුර දිසානායක කළේ රටේ සංවර්ධනයට වෙන්කළ ප්‍රතිපාදන තමන්ගේ ගෝල බාලයින්ට බෙදා දීම පමණයි. එසේ නම් මට අහන්න තියෙන්නේ අමාත්‍යංශයක් තබා ප්‍රාදේශීය සභාවක්  කරගන්න බැරි කෙනෙක් රටක් පාලනය කරන්නේ කොහොමද? කියලයි.

අනුර කුමාරගේ මුදල් ඇමති හඳුන්නෙත්ති කියනවා  ඊලෝන් මක්ස් ආර්ථික ඝාතකයෙක් කියලා. රටේ ණය ගෙවන එක මහා කජ්ජක්ද අහන අනුර කුමාර දිසානායක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය ආදායම් එකතු  එකතු කරන ආකාරය නිශ්චිතව සඳහන් කර නෑ.

අරගලය අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂා කර, රටේ සාමය ස්ථාපිත කළා. එසේ නොකළ නම් අද ශ්‍රී ලංකාවත් බංගලාදේශයක් වෙලා ඉවරයි.

සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය හොර මුදල් අච්චු ගහලා නීතියේ රැහැණට හසුවුණා. එහෙම අයට රට පාලනය කරන්න පුළුවන්ද?  ඒවගේම එවන් පුද්ගලයෙකුට මේ රට භාර දෙන්න කියා ඉල්ලා සිටීමට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියා මම ප්‍රශ්න කරනවා.

සිසු දරුවන්ට වසර දහතුනක අධ්‍යාපන අයිතිය වගේම ජනතාවට , අස්වැසුමත් ලබා දුන්නේ, හෘද රෝගීන්ට නොමිලේ ස්ට්‍රෙන්ට් ලබා දුන්නේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. මේ එතුමාගේ සේවයෙන් අංශු මාත්‍රයක් පමණයි.  නොවැටෙන ආර්ථිකයක් , සංවර්ධිත රටක්, දරුවන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවතත් ජනාධිපතිධූරයට පත් කිරීමට එක් වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

නව ජනතා පෙරමුණේ  නායක සුගීස්වර බණ්ඩාර මහතා,

විපක්ෂය වසර දෙකක කාලයක් බලය ලබා ගැනීමට අරගල කරද්දී ජනාධිපතිවරයා ජනතාව ජීවත් කිරීම වෙනුවෙන් අරගල කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අරගලය තිබුණේ ගෑස්, ඉන්ධන, ආහාර, ඖෂධ හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහායි. බන්දේසියේ තබා දුන් ජනාධිපතිධූරය ලබා ගන්තේ නැති සජිත් ප්‍රේමදාසලා, අනුර දිසානායකලා  වේදිකා ගානේ ගොස් ජනතාවට සිහින විකුණමින් සිටිනවා. රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා වුණත් වැඩක් නැහැ පිට කොන්දක් නැත්නම්. අභියෝගයට මුහුණ දෙන්නෙ නැතිව, අභියෝගය රටෙන් පහව ගියාට පසුව බලය ඉල්ලන නිවට නායකයින් ගැන ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතුයි.

සමාජවාදී කණ්ඩායමක පාලනය යටතේ දියුණු කළ රටක් අද ලෝකයේ  නැහැ. අනුර දිසානායක රට භාර ගත්තොත් ශ්‍රී ලංකාව බංගලාදේශයටත් එහා ගිය රටක් බවට පත්වෙනවා. එම නිසා ශ්‍රී ලංකාවට මේ යුගයේ අවශ්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පමණයි. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප සියළු දෙනා කැපවෙමු කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි මහතා,

අරාජිකව තිබූ රටක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රාතිහාර්යයක් පෑ ලෙස යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා. බංකොලොත්භාවයෙන් මිදුණු රටවල් දෙස බැලූ විට ලෝකයේ බංකොලොත්භාවයෙන් වේගයෙන්ම මිදුණු රට ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක්ව තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූල්‍ය කළමනාකරණ  දක්ෂතාවය නිසයි. එතුමා වසර දෙකක් තුළ සිදුකළ විශිෂ්ඨ ආර්ථික කළමනාකරණයේ ප්‍රතිලාභ අද ජනතාව අත්විඳිමින් සිටිනවා.

රට බංකොලොත් වී ජනතාව පෝලිම් ගානේ දුක් විඳින විට, එම අභියෝගය භාර නොගත් පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයින් වේදිකා මත සිහින විකුණමින්  සිටිනවා. අර්බුද අවස්ථාවේදී පලායන නායකයින්ට නැවත රට භාර දුන්නොත් රටේ ඉරණම ඛේදනීය වනවා නොඅනුමානයි.

මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා ,බන්ධුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න , මේජර් ප්‍රදීප් උදුගොඩ,  හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්ම මහත්මීන්,  ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයින් ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more