ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත් මෙරට ආර්ථිකය නැවත කඩා වැටෙනවා

• NPP යෝජනා අනුව ලබන වසරේ වියදම ට්රිලියන 8.9යි : ආදායම ට්රිලියන 4.9යි. ට්රිලියන 04ක හිඟය පියවා ගන්නේ කොහොමද?

• ජනතාව මුලා නොකර අනුර තම නිවැරදි ආර්ථික ප්රතිපත්තිය රටට කිවයුතුයි.

• මම රාජපක්ෂලාව ආරක්ෂා කළා නම් මේ  වෙලාවේ ඔවුන් මාව දාලා යන්නේ නැහැ.

• “පුළුවන් ශ්රී ලංකා” යනු රට ගොඩනඟන වැඩපිළිවෙළයි - ජනපති හඟුරන්කෙත දී.

ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත් නැවත රුපියලේ අගය පහත වැටී රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු තමා ආර්ථික විශේෂඥයන් මඟින් පරීක්ෂා කර බැලු බවත්, එම යෝජනා අනුව ලබන වසරේදී ඔවුන්ගේ වියදම ට්‍රිලියන 8.9ක් බවත්, බදු බර අඩු කිරීම වැනි එකවර කළ නොහැකි පොරොන්දු ඉටු කිරීමට යාමෙන් ආදායම ට්‍රිලියන 4.9ක් වන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ට්‍රිලියන 04ක හිඟය ඔවුන් පියවා ගන්නේ කෙසේද කියා රටට පැවසිය යුතු බවද ප්‍රකාශ කළේය.

එබැවින් ජනතාව මුලා කරන පොරොන්දු වෙනුවට සැබෑ ආර්ථික සැලැස්ම රටට හෙළි කරන ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට අභියෝග කළ ජනාධිපතිවරයා තමන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු නොදි මඟහරින ඔහු දිගටම ජනතාව රවටමින් සිටින බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (09) පස්වරුවේ හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාවට ආහාර, ඖෂධ සහ ඉන්ධන සපයාගත නොහැකිව දුක් විඳින විට මේ රට භාරගත් තමා ජනතාව ජීවත් කරවීමේ මූලික වගකීම ඉටු කළ බවයි.

තමා මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වගකීම ආරම්භ කළ බවත් “පුළුවන් ශ්‍රී ලංකා” යනු රට ගොඩනැඟිය හැකි වැඩපිළිවෙළ බවත් පැවසු ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරම තමා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවගෙන් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

2022 වසරේ මම මේ රටේ වගකීම භාර ගත්තා. ඒ ඔබට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ සපයාදෙමින් පොලිම් යුගය නැති කිරීමටයි. ඒ මූලික යුතුකම මම ඉෂ්ට කළා. මම මේ වගකීම භාරගත්තේ අනෙක් නායකයන් වගකීම භාරගැනීමට බිය වූ අවස්ථාවකයි.

ජනතාව ආහාර නැතිව ඉන්නවා බලාගෙන ඉන්න මට බැරි වු නිසා මම ආණ්ඩුවේ වගකීම භාරගත්තා. ජනතාව ඖෂධ නැතිව මිය යනවා බලාගෙන සිටීමට මට නොහැකි වුණා. ඉන්ධන නැතිව රටේ ආර්ථිකය ක්‍රියාත්මක නොවී හිඟමනයට වැටෙන එක නතර කරන්න මට අවශ්‍ය වුණා. මම මේ රට භාරගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස මම සජිත්, අනුර ඇතුළු සියලුදෙනාට ආරාධනා කළා. නමුත් ඒ කිසිවෙක් ආවේ නැහැ. මම ජනතාවට අවශ්‍ය ආහාර සපයා දුන්නා. ඖෂධ සපයා දුන්නා. ඉන්ධන ලබා දුන්නා. ඒ වගේම ජනතාවගේ ජීවන මාර්ග දියුණු කර ජිවත්විය හැකි පරිසරයක්ගොඩනඟා දුන්නා. මම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට මට රනිල් රාජපක්ෂ කියලා කිව්වා.

එහෙම කියපු ඔවුන් සිදු කළේ පැන යාමයි. මට එය ගැටළුවක් නොවෙයි. මේ රටේ ජනතාවට කන්න දෙන නිසා මට බනිනවා නම් මම එය භාර ගන්නවා. මම රාජපක්ෂලව ආරක්ෂා කළා නම් මේ  වෙලාවේ ඔවුන් මාව දාලා යන්නේ නැහැ. පක්ෂයේ බහුතරයක් මා සමඟ සිටින විට ඔවුන් ගියා. මේ රටේ ජනතාවගේ ජීවත්විමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් කවුරු හරි මට සහාය දුන්නා නම් මට ඒකට මොකුත් කියන්න බැහැ.

මම සජිත්ගෙන් සහ අනුරගෙන් සහාය ඉල්ලු විට ඔවුන් පැන ගියා. ඉතින් මම ඉන්න පිරිස එක් කර ගනිමින් රටේ ආර්ථිකය හදනවා මිස වෙන මොකක් කරන්නද?. අද අපි රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන ඉදිරියට ගෙනත් තිබෙනවා.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව  එම ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. “පුළුවන් ශ්‍රී ලංකා” කියන්නේ රට ගොඩනඟන වැඩපිළිවෙළයි. මම වසර දෙකකින් පසුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමටයි.

අද සමගි ජන බලවේගයටවත් ජනතා විමුක්ති පෙරමුණටවත් ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ.

අපනයන ආර්ථිකයකයට යනවද, ආනයන ආර්ථිකයේ සිටිනවාද කියා ජනතා විමුක්ති පෙරමුණ දන්නේ නැහැ. මම ඒ ගැන ප්‍රශ්න කළත් අද වන තෙක් පිළිතුරු ලබා දුන්නේ නැහැ. මම පසුගිය සිකුරාදා අනුර කුමාරට මගේ මිතුරා කියලා කිව්වහම එතුමා කියනවා මිතුරා කියන්න එපා කියලා, ඒ නිසා හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායකගෙන් මම අහනවා ඇයි තවම පිළිතුරු ලබා දෙන්නේ නැත්තේ කියලා. ඇයි ඒකට උත්තර දෙන්න බය කියා මම ඔහුගෙන් අහනවා.

මම මාලිමාවේ අය වැය යෝජනා කියෙව්වා. එම යෝජනා ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 400 –‍425ක් බවට පත් වෙලා මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. උද්ධමනය 25%ක් බවට පත් වෙනවා. මම විශේෂඥයන් කිහිප දෙනෙකුට කිව්වා මාලිමාවේ  යෝජනා පරීක්ෂා කර මට අය වැය සකස් කර දෙන්න කියලා. ඒ අය වැය දෙස බැලූ විට අප පුදුම වුණා.

ලබන වසරේදී අපේ වියදම රුපියල් ට්‍රිලියන 6.8ක් වෙනවා. නමුත් අපට ලැබෙන ආදායම රුපියල් ට්‍රිලියන 5.1යි. අපිට පුළුවන් දළදේශීය නිෂ්පාදනයෙන් 5%ක් දක්වා බැදුම්කර සහ බිල්පත් ලබා ගන්න. එය ලබාගත් විට අපට ප්‍රශ්නයක් නැහැ. අපේ ආදායම රුපියල් ට්‍රිලියන 6.8ක් බවට පත් වෙනවා. අපිට මුදල් මුද්‍රණය කරන්න බැහැ. එම නිසා අපි ගෙන යා යුත්තේ මෙම වැඩපිළිවෙළයි.

නමුත් මාලිමාවේ යෝජනා අනුව වියදම රුපියල් ට්‍රිලියන 8.9ක් වෙනවා. ඔවුන් බදු බර අඩු කිරීම වැනි එකවර කළ නොහැකි පොරොන්දු ඉටු කිරීමට යාම නිසා ඔවුන්ගේ ආදායම ට්‍රිලියන 4.9ක් වෙනවා.  එවිට ට්‍රිලියන 4ක වෙනසක් ඇති වෙනවා. ඔවුන් මේ හිඟ මුදල හොයන්නේ කොහොන්ද?

අපට දළ දේශීය නිෂ්පාදනයෙන් ගන්න පුළුවන් 5%ක් පමණයි. ඒ නිසා දළ දේශීය නිෂ්පාදනයෙන් ඔවුන්ට එම මුදල ලබා ගන්න බැහැ. එසේනම් ඔවුන් මේ මුදල් සොයා ගන්නේ කොහෙන්ද, ඔවුන්ට වෙළෙඳපළින් තවත් මුදල් ලබා ගන්න වෙනවා. වැඩි වැඩියෙන් මුදල් ගන්න විට පුද්ගලික අංශයට තිබෙන මුදල් අඩු වෙනවා. එවිට පුද්ගලික අංශයේ පොලිය 25%ක් බවට පත් වෙනවා. නැත්නම් මුදල් මුද්‍රණය කරන්න වෙනවා. එවිට අපේ රටට ලැබෙන ආධාර සියල්ල නවතිනවා. එවිට ඩොලරය රුපියල් 500ක් බවට පත් වෙනවා. එසේ වන විට උද්ධමනය ඉහළ ගොස් බඩු මිල විශාල වශයෙන් ඉහළ යනවා. මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කළහොත් සිදු වන්නේ නැවත මේ රටේ ආර්ථිකය කඩා වැටීමයි.

තමන්ට ආර්ථික සැලැමක් තිබෙනවා කියලා මාලිමාව කියනවා නම් මේ සැලැස්මෙන් ඔවුන් අවසන් වෙනවා. ඒ නිසා මම හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායකට කියනවා තමන්ගේ අය වැය අපට පෙන්වන්න කියලා.  අපි කියන දේ වැරදි කියලා රටට කියන්න. ඇයි අනුර කුමාර කතා කරන්නේ නැත්තේ? තමන්ට වැඩසටහනක් නැති නිසා ඔවුන් කරන්නේ අනිත් අයට චෝදනා කිරීම පමණයි.

ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ අනාගතය ගැන හිතලා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියලයි.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා,

රට ආර්ථික අර්බුදයට මුහුණ දෙන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 58කට ආසන්න පිරිසක් සිටියත් රට ගොඩ නඟන වගකීම භාර ගැනීමට ඔහු ඉදිරිපත් වුණේ නැහැ. අනුර කුමාරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් හිටියා. නමුත් ඔහුත් ඒ අභියෝගය භාර ගැනීමට කැමති වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි ආසනයක් හිමි කර ගෙන සිටි ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමා තනියම ඒ අභියෝගය භාර ගත්තා. ඒ විතරක් නොවෙයි ඒ අභියෝගය එතුමා ජය ගත් බවත් කිව යුතුයි.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කර තිබෙනවා.  කඳුකර දශකය වැඩසටහන තුළින් කඳුකර ජනතාව වෙනුවෙන්ම වෙන් වූ විශේෂ වැඩසටහනක් ද දියත් කර තිබෙනවා. එතුමා ආරම්භ කළ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නම් ඉදිරි වසර 05ත් මේ රටේ ජනාධිපතිධූරය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා,

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් කළේ 69 ලක්ෂයක් ඡන්ද ලබා දීලයි. ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා දීලා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ද කටයුතු කළා. එහෙම වෙලාවක අපේ ඇස් ඉදිරියේ ආර්ථිකය කඩා වැටිලා ගුවන්තොටුපොළ, වරාය වසා දමන්න සිදුවුණා. කර්මාන්ත ව්‍යාපාර ලක්ෂ හතක් වසා දමන්න සිදුවුණා. ලක්ෂ දොළහකට රැකියා අවස්ථා අහිමි වුණා. සාමකාමී උද්ඝෝෂණයක්  ලෙස ආරම්භ කළ  අරගලය මිනී මරණ තැනට පත්වුණා.නාමල් බබාගේ ගේ ගිනි තිබ්බා. රටේ බස් එකසිය පනහක් ගිනි තියලා දැම්මා. ගෙවල් දෙසීයක් පමණ ගිනි තිබ්බා.

එදා සජිත්ට අනුරට රට භාරගන්න ආරාධනා කළා. සජිත්  බය වුණා. අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා යෝජනා කළා.නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ආර්ථිකය නිවැරදිව  කළමනාකරණය කලා. ශ්‍රී ලංකාව අවස්ථා ගණනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් තිබෙනවා. එහිදී ලබාදුන් කිසිදු කොන්දේසියක් අනුගමනය නොකර ගිවිසුම් කඩ කර ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා.

එවන් වටපිටාවක වුවත් මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදල ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසය මතයි. ඉන් පසුව මේ බංකොලොත් වී තිබුණු රට වේගයෙන් යථා තත්වයට පත්වුණා. මෙය ලෝක වාර්තාවක්.

ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු වෙන කිසිදු රටක් මෙතරම් ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී නැහැ. එම නිසා ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන  මේ වැඩපිළිවෙළ ඉදිරියටත් රැක ගැනීමට අවශ්‍යයි. ඒ වගේම ජාතිය වෙනුවෙන්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපේ කෘතවේදීත්වය පළ කළ යුතු වෙනවා. අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 5ත් මේ රටේ ජනාධිපතිධුරය සඳහා පත් කර ගත යුතුයි.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා,

එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණට අයත් දෙපාර්ශ්වයම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මෙතනට රැස්ව සිටීම ඉතාමත් සතුටට කාරණයක්. එකම ප්‍රදේශයේ වේදිකා දෙකක සිටි එස්. බී දිසානායක මහතාත් මමත් අද එකම වේදිකාවකට පැමිණ තිබෙනවා. එතුමාගේ සහෝදරයා වන සාලිය දිසානායක මහතාගෙන් හඟුරන්කෙත ජනතාව සමඟ වැඩ කළ යුතු ආකාරය මම ඉගෙන ගත්තා. මගේ පියා ගාමිණී දිසානායක මහතා වගේම සාලිය දිසානායක මහතාගේත් ප්‍රාර්ථනාව ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට අප සූදානම් වෙනවා.

ජාති භේද, පක්ෂ භේද නැතුව රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට සියලු දෙනා එක්වී සිටින වෙලාවයි. එයට අප සියලු දෙනා දායකත්වය ලබාදිය යුතුයි. අත්දැකීම් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේදී ජනාධිපති ධූරය සඳහා පත්කර මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇතිවුනා. පෝලිම් යුගයක් ඇතිවුණා. ඒ වෙලාවෙදි කිසිදු නායකයෙක් රට භාරගන්න ඉදිරියට ආවේ නැහැ.

ඒ අවස්ථාවේ රට  භාරගෙන ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට කටයුතු කළේ පලපුරුද්දක් ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි. මේ වන වනවිට ආහාර, ඉන්ධන ,ගෑස් ඇතුලු  ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල හිඟයකින් තොරව ලබාදීමට වත්මන් රජට හැකිවී තිබෙනවා. එහෙම නොවුනා නම් අද ශ්‍රී ලංකාවත් බංගලාදේශයක් බවට පත්වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා,

පොදුජන පෙරමුණේ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණයක් ගත්තා. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කතා කරලා කිව්වේ ඔබතුමා අයිති මේ රටේ ජනතාවටයි, ඒ නිසා ඔබතුමා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටියා. අනෙක් සෑම අපේක්ෂකයෙක්ම තමන්ගේ පක්ෂය ජයග්‍රහණය කරවන්න කටයුතු කරනකොට අද අපි ජනතාවගේ නියෝජිතයා ජයග්‍රහණය කරවන්න අත්වැල් බැඳ ගත්තා.

අපි පෝලිම්වල හිටපු ආකාරය මේ ජනතාවට මතක් කර ‍දිය යුතු නෑ. තවමත් ඒ දුක් විඳපු දවස් මතකයි. ඒ දුකෙන් මේ ජනතාව බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. පහුගිය කාලයේ කඩ කාමරයක්වත් විවෘත කරන්න හැකියාවක් තිබුණේ නෑ. පොඩි ව්‍යාපාරයක්වත් කර ගන්න හැකියාවක් තිබුණේ නෑ. මේ මිනිස්සු ආහාර නැතුව හිටපු කාලයක් තිබුණා. අද මේ ජනතාව තමන්ගේ දෙපයින් නැඟී සිටින්නේ ජනාධිපතිතුමා ලබා දුන් ශක්තිය නිසයි. අපි කවදාවත් ඒ ශක්තිය නැති කර ගන්නේ නැහැ. ඔබ සැම වෙනුවෙන් එතුමා නැවත ජනාධිපති පුටුවේ වාඩි කරන්න උපරිමයෙන් කැප වෙන බව මම කියන්න කැමතියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා,

රටට නායකයෙක් නැතුව සිටි වෙලාවක, රටට නායකයෙක් අවශ්‍යව සිටි වෙලාවක රටේ වාසනාවට ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. දැන් අපට එතුමා ජයග්‍රහණය කරවීමට ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා.  

එදා කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා රට  විශාල ලෙස පහත වැටුණා. ඒ ඇතිවූ අරාජිකත්වය හමුවේ විවිධ ත්‍රස්තවාදී බලවේග ඉදිරියට එමින් තිබුණා. ඔවුන් ජනාධිපති මන්දිරය අල්ල ගත්තා.  පාර්ලිමේන්තුව වැටලීමට පැමිණි අවස්ථාවේ එම ත්‍රස්තවාදීන්ගෙන් පාර්ලිමේන්තුව බේරාගෙන රට සාමකාමී වාතාවරණයක් දක්වා ගෙන ගියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි.

ඒ වගේම වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට එතුමා ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරය පවා පුදුමයට පත් ක‍ර තිබෙනවා. අද ජනතාව එහි ප්‍රතිලාභ අත්විඳිමින් සිටිනවා. නැවත පෝලිම්  යුගයකට නොයන්න නම් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළ යුතු එකම නායකයා රනිල්  වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය,

අද මම ස්වාධීන කෙනෙක්. අද මම පැමිණ සිටින්නේ මේ රටේ කාලීන අවශ්‍යතාව වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවන්නයි. මම එළියට ආවේ වසර 20ක් තිස්සේ හොබවපු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය එය ලබා දුන් පිරිසටම ගෞරවණීය ආකාරයට භාර දීලයි. මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ ජයග්‍රහණය ස්ථිරයි.

ඒ ගැන වචන දෙකක් නැහැ. නමුත් මට අවශ්‍ය වුණේ  එම ජයග්‍රහණයේ කොටස්කාරයකු වීමටයි.

මේ රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිට ගත්තේ මේ රටේ ජනතාවගේ පැත්තේයි. අර්බුදයක් පැමිණි සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ සෑම අර්බුදයක්ම ජය ගත්තා. මේ තමයි පරිණත නායකත්වයේ ලක්ෂණය.

2022 වසරේ ආර්ථිකය කඩා වැටෙන විට ජනතාව හිතුවේ වසර විස්සකින්වත් මේ රට ගොඩ ගන්න බැහැ කියලයි. 69 ලක්ෂයක් ජනතා වරමක් ලබා ගත් ජනාධිපතිවරයෙක් පස්සේ දොරෙන් පැනලා යන විට අනෙක් කිසිදු නායකයෙක් මේ රට භාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ.

රුපියල් 450 ට තිබුණු කිරිපිටි රුපියල් 1050 වෙන කොට, රුපියල් 750ක්ව තිබුණු  සිමෙන්ති කොට්ටය රුපියල් 3500ක් වෙනකොට මේ රට භාර ගන්න කවුරුත් හිටියේ නෑ. දැන් සමහර නායකයින් පන්සල් ගානේ පල්ලි ගානේ ගිහිල්ලා පොරොන්දු දේශපාලනය සිදුකරමින් තිබෙනවා. ඒ පොරොන්දු දේශපාලනය පිටිපස්සෙන් නැවත වතාවක් ජනතාව ගියොත් වෙන්නේ නැවත පෝලිං යුගයකට යන්නයි.  අපට පුද්ගලයන් දිනවීමට අවශ්‍ය නැහැ. නමුත් රට දිනවීමට අවශ්‍යයි.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකයින්, විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more