අවිගත් කැරැල්ලට කිසිඳු සම්බන්ධයක් නැති බව පවසන ජවිපෙ තම නම අවභාවිතා කිරීම පිළිබඳ වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි

• ඉටුකළ නොහැකි පොරොන්දු දෙමින් ඔවුන් නැවතත් ජනතාව රවටමින් සිටිනවා.

• අතීත වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසකට රටේ අනාගතය භාර දෙන්න පුළුවන්ද?

• ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද?  අපනයන ආර්ථිකයක්ද? කියන්න ජවිපෙ අසමත්.

• රට ගොඩනැඟීමට ලැබෙන අවසන් අවස්ථාව 2024 ජනාධිපතිවරණයයි - ජනපති “පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමින් පවසයි.

රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව  හා අවිගත් කැරැල්ලට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බව මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේනම් ඔවුන් තමන්ගේ නම අවභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතු බව ප්‍රකාශ කළේය.

ජනතාවට ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදෙමින් ජනතාව මුලා කිරීමේ වරද ජනතා විමුක්ති පෙරමුණ නැවත සිදු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා අතීත වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසකට රටේ අනාගතය භාරදීය හැකිද කියා ප්‍රශ්න කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ Stables @Park Street හි අද (12) පැවැති ‘පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමිනි.

එළැඹෙන ජනාධිතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට කොළඹ කවය නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් එක්ව සිටි අතර එහිදී තරුණ තරුණියන් යොමු කළ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.

එහිදී තරුණියක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට යළිත් අරගල තත්ත්වයක් ඇති වුවහොත් මුහුණ දීමට සිදු වන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිසේත් නොහැකි බවත් රට ගොඩනැඟීමට ලැබෙන අවසන් අවස්ථාව 2024 ජනාධිපතිවරණය බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙවර මැතිවරණයේදී තීරණය වන්නේ මගේ අනාගතය නොව ඔබේ අනාගතයයි. ආණ්ඩු බලය ලබාගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කිසිවකු කැමැත්තක් නොදක්වන මට්ටමට අපේ රටේ දේශපාලන ක්‍රමය බිඳ වැටී තිබුණා. රට තුළ නීතිය හා සාමය නැතිවී යාමේ අවදානමක් ඇති වුණා. තව ටිකක් දුර දිග ගියා නම් අපේ රටත් බංග්ලාදේශයේ තත්ත්වයට පත් වීමට ඉඩ තිබුණා. ඒ තරමට අප බංග්ලාදේශයේ  මට්ටමට ආසන්නව සිටියා.

මෙම අභියෝගය හමුවේ අනෙක් නායකන් පැනලා ගියා. ඔවුන් ජනතාව වෙනුවෙන් මේ අභියෝගය භාරගැනීමට සූදානම් වුණේ නැහැ. වගකීම භාර ගැනීම අසීරු කාර්යයක්. නමුත් මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන ආවා.

ආර්ථිකය  ගොඩනැගීමේදී මට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. වැට් බදු වැඩිකිරීම එවැනි තීරණයක්. නමුත් එය සිදු නොකළානම් තත්ත්වය වඩා නරක අතට හැරීමට ඉඩ තිබුණා. අප අසීරුවෙන් වුවත් එම තීරණ ගැනීම නිසා රුපියල ස්ථාවර කර ගනිමින් ආර්ථිකය පවත්වාගෙන යාමට හැකි වුණා. මේ තත්ත්වය හමුවේ ජනතාව විශාල පීඩාවකට පත් වුණා. නමුත් අප ක්‍රමයෙන් ජනතාවට සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා.

අප මෙතෙක් කර ඇත්තේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමයි. ආර්ථිකය තවමත් ශක්තිමත් වී නැහැ. ආර්ථික ප්‍රකෘතිය සඳහා අවශ්‍ය ගිවිසුම්වලට අනුව අප කටයුතු නොකළහොත් අද ස්ථාවරව පවතින ආර්ථිකය ඉදිරියේ දී යළි කඩා වැටිය හැකියි. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට වසර 5- 10ක් ගතවෙනවා. අප ඒ වෙනුවෙන් සැලසුම්සහගතව කටයුතු කරනවා. අනාගත පරපුර වෙනුවෙන් අප ශක්තිමත්, නවීන හා තරගකාරී ආර්ථිකයක්  ගොඩනැගිය යුතුයි. රට පිළිබඳ මා තුළ ඇති දැක්ම වන්නේ එයයි.

නමුත් සමගි ජන බලවේගයට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස හැමදාම පොරොන්දු වෙනස් කරන පුද්ගලයෙක්. ඔහු හැමදේම නිකන් දෙනවා කියනවා. ඉදිරියේදී හිසරදයත් නිකන් දෙනවා  කියයි.

ජාතික ජන බලවේගය ජනතාව හමුවේ බොරු කියමින් සිටිනවා. ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා විමසු විට ඔවුන් පිළිතුරු දෙන්නේ නැහැ. ඔවුන් ගෙන යන්නේ අපනයන ආර්ථික ක්‍රමයක්ද, ආනයන ආර්ථික ක්‍රමයක්ද කියා මම විමසුවා. නමුත් ඔවුන්ට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි වී තිබෙනවා. අපට අර්ථවත් විවාදයක් පැවැත්විය හැකි වන අයුරින් ඒ පිළිබඳ පැහැදිලි කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් එය මග හරිමින් සිටිනවා.

රටේ පවතින තත්ත්වයට තමන්ගේ පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව පවසමින් ඔවුන් වගකීමෙන් මිදෙනවා. ඔවුන් අවිගත් කැරැල්ලට තමන්ගේ සම්බන්ධයක් නැති බව මවා පානවා. එසේනම් ඔවුන් තමන්ගේ නම අවභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතුයි.

අද ජනතාවට ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදෙමින් ඔවුන් නැවතත් වරදක් සිදු කරනවා. ඔවුන් කිසිදා සත්‍ය පිළිගන්නේ නැහැ. ඔවුන් අතීත වැරදි පිළිගන්නේ නැත්නම් අනාගතය වෙනුවෙන් ඔවුන්ව විශ්වාස කරන්නේ කොහෙමද?

අද ඔවුන් වෙනසක් ගැන කථා කරමින් ජනතාව නොමග යවනවා. ජනතාව වෛරයට තල්ලු කරනවා. ඔවුන්ට අවශ්‍ය කුමන ආකාරයේ වෙනසක්ද කියා ඔවුන්වත් දන්නේ නැහැ. ඉතින් ඔබ ඔවුන්ට ඡන්දය ලබා දෙන්නේ කෙසේද,

ඔබ කී දෙනෙක් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා තිබෙනවද, එය පිටු 232ක් පමණ දීර්ඝ එකක්. මම එහි සඳහන් බොහෝමයක් කියවා බැලුවා. නමුත් එය කියවන අතරතුර පස් වතාවක් මම නින්දට වැටුණා. සාමාන්‍ය ප්‍රකාශ හැර විශේෂ ව කිසිවක් එහි නැහැ. 2025 අයවැය ඔවුන් සැලසුම් කරන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසිය යුතුයි.

දූෂණ විරෝධී පනත පිළිබඳ සඳහන් කරමින් සොරකම් කළ මුදල් ආපසු ලබා දෙන බව ඔවුන් පවසනවා. නමුත් සොරකම් කළ මුදල් අය කර ගැනීමට එම පනත පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා තවත් ප්‍රතිපාදන අවශ්‍යයි. ඔවුන් එයවත් දන්නේ නැහැ.

අපනයනය මත පදනම් වූ, ඩිජිටල්, හරිත හා දැනුම පදනම් කරගත් ආර්ථිකයක් රටේ ගොඩනැගීම අපේ අරමුණයි. කෘෂිකාර්මික නවීකරණය, ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවය අඩු කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ ආයෝජන කලාප හරහා වැඩි රැකියා අවස්ථා උත්පාදනය ඇතුළු සලැසුම් මීට ඇතුළත් වෙනවා.

මේ තුළින් රටේ ආර්ථිකය දියුණු වෙනවා මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ යනවා. අප දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. ජනසභා හඳුන්වාදීම මෙන්ම කාන්තා හා තරුණ නියෝජනය ශක්තිමත් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. මැතිවරණ ක්‍රමයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ, දේශපාලන පක්ෂවල වගවීම සහ හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ කොමිසමේ නිර්දේශ 87ක් ද අප වෙත ඉදිරිපත් වී තිබෙනවා. ඔබ මේ සියල්ල එකට එකතු කළ විට අප ඔබට අලුත් රටක් ලබා දෙනවා.

අද සජිත් සහ අනුර කිසිම හරයක් නැති වෙනසක් ගැන ජනතාව ඉදිරියට පැමිණ කතා කරනවා. ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා හඳුනාගෙන නැහැ.

අනෙක් සියලු දෙනාම අසාර්ථක වී ඇති බවත් දැන් ඔවුන්ට අවස්ථාවක් ලැබිය යුතු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් දැනටමත් අසාර්ථක වී තිබෙනවා. ජනතාව තම අනාගතය ඔවුන්ට භාරදීමට සූදානම් නැහැ. මෙය ඔවුන් හැමදාම සෙල්ලම් කරන සාම්ප්‍රදායික දේශපාලනයයි. ඔවුන් අලුත් දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ. එවන් පිරිසකට අනාගතය භාරදිය නොහැකියි. ඔබේ අනාගතයට අවශ්‍ය මාර්ගය මා පෙන්වාදී තිබෙනවා. සැප්තැම්බර් 21 වනදා එම වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් අප ඉදිරියට යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා,

කොළඹ සිටින බොහෝ නිවැසියන් ජීවත් වන්නේ, බොහෝ විට වර්ග අඩි 100ක් ඇතුළතයි. පවුල් කිහිපයක් එකම ඉඩමක් බෙදා ගනිමින්, දැඩි අවහිරතා සහිත තත්ත්වයක් යටතේ ජීවත් වෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා, විශේෂයෙන්ම අපේ අගනුවර සඳහා ශක්තිමත් ආර්ථිකයක තීරණාත්මක වැදගත්කම ඉස්මතු කරනවා. රටේ සැලකිය යුතු හැකියාවක් තිබියදීත්, අප තවමත් එය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නැහැ. පසුගිය වසර 76 තුළ යම් ප්‍රගතියක් ඇති වුවද අපේ ආර්ථිකය අවශ්‍ය පරිදි දියුණු වී නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මෙම ගැටළුව විසඳීමට සැබෑ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඔහු නායකත්වයට පත් වූයේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොව, අවම ආදායමක් තිබියදී බදු ප්‍රතිව්‍යුහගත කිරීම වැනි දුෂ්කර ප්‍රතිසංස්කරණවලින් පටන් ගෙන රට ස්ථාවර කිරීම  සඳහායි. ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් අර්ධ වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සහ අර්ධ වශයෙන් ස්වාධීන ක්‍රියාමාර්ග සහිත පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් අපි ආරම්භ කර තිබෙනවා. බදු බර අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීමට ඇති එකම මාර්ගය ආර්ථික වර්ධනය වැඩි දියුණු කිරීමයි.

අපගේ නිෂ්පාදන සඳහා ගෝලීය වෙළෙඳපොල තුළ තරගකාරී තත්ත්වයක් ඇති කිරීම සඳහා තායිලන්තය සමඟ ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම වැනි නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම වැනි ක්‍රියාමාර්ග ද අපි අනුගමනය කරමින් සිටිනවා. කෙසේ වෙතත්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන බව පවසමින් ඊට විරුද්ධ වෙනවා. නමුත් එවැනි ගිවිසුම් නොමැතිව අප ආර්ථිකය වර්ධනය කරන්නේ කොහොමද? රැකියා උත්පාදනය කරන්නේ හෝ විදේශ විනිමය ලබාගන්නේ කොහොමද?

මෙරට ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමටත්, ඔවුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමටත් ඇති එකම තිරසර මාවත ආර්ථික සංවර්ධනයයි. මෙම ක්‍රියාවලියට සියලු දෙනා ක්‍රියාකාරීව සහභාගී වීම අත්‍යවශ්‍ය වෙනවා. නව නීති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමත් සමඟ අප නිවැරදි දිශාවට ගමන් කරමින් සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වර්ධන උපාය මාර්ගය තුළින් අනාගත පරපුරට ප්‍රතිලාභ ගෙන දෙනවා සේම ඔවුන්ට ඉහළ ආදායමක් සහ වඩාත් සමෘද්ධිමත් රටක් නිර්මාණය කරනවා.

මෙහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, ඔබට මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිද?

පිළිතුර

ඔව්, මම තරගවදින්නේ ඒ නිසයි.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, සමගි ජනබලවේගය හෝ ජාතික ජනබලවේගය යම් අයුරකින් ජයග්‍රහණය කළහොත්, ඔබ සිතන ආකාරය අනුව ඉදිරි මාස කිහිපය තුළ අපට මුහුණ පෑමට සිදුවන අහිතකර ප්‍රතිවිපාක මොනවාද? ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් නැවත ඇතිවේවිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට නැවතත් උපකාර කරාවිද?

පිළිතුර

ඔවුන් ජයග්‍රහණය කරන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් අප කළ යුතු වන්නේ අප එකඟ වී ඇති ණය තිරසරභාවය පිළිබඳ ගිවිසුමට අනුවයි . කවුරුන් හෝ එහෙම කරන්නේ නැහැයි කියා ප්‍රකාශ කරනවා නම් අපි බරපතල අමාරුවක වැටෙනවා. ඩොලරයකට ඔබට රුපියල් 500ක් පමණ ගෙවීමට සිදුවිය හැකියි.

ඒ වගේම ඔවුන් ගෙන යන මෙම පටහැනි ප්‍රතිපත්ති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වැඩසටහනින් ඉවත් වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඉතින් ඔවුන් පිහිටුවන වාර්තාව එයයි.

සමගි ජනබලවේගයේ පවතින ප්‍රශ්නය නම් ආචාර්ය හර්ෂ ද සිල්වා යම් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළහොත් හවසට සජිත් ප්‍රේමදාස ගිහින් ඒකට තවත් නොමිලයේ ලබාදෙන දේවල් ටිකක් එකතු කරනවා. ඉතින් එහෙම අයවැයක් පවත්වා ගන්න බැහැ.

ප්‍රශ්නය

මේ රටේ රැල්ලක් ඇවිල්ලා  රට ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නා.  රටේ ආර්ථිකය විනාශ වෙලා අවසානයේ අරගලයක් කරලා අද මේ රට ඔබතුමාට භාර දී තිබෙනවා. දැන් නැවතත් රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ රැල්ලත් සමඟ  රට අනුරට හෝ සජිත්ට ගිහින් නැවතත් ආර්ථික අරබුදයකටත්, එතනින් අරගලයකටත් ගිහින් නැවත මේ රට භාර ගන්න කිව්වොත් ඔබතුමා භාර ගන්නවාද?

පිළිතුර

ඇත්ත වශයෙන්ම එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි නැවත මේ රටේ ආර්ථිකය බිඳ දැමුවහොත් නැවත ගොඩ නගන්නත් බැහැ. 2024 ජනාධිපතිවරණය අපට ලැබෙන අවසාන අවස්ථාවයි. ඒ අවස්ථාව  ගන්නවද නැද්ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

Read more