මම සහන දෙන්නේ ජනතාව පොහොසත් කරවීමටයි

• සජිත්ගේ සහ අනුරගේ ප්රතිපත්තිය ජනතාව සැමදා දුප්පත්කමේ තබා දේශපාලනය කිරීමයි.

• මෙවර ජනාධිපතිවරණයේ දි රටේ ජනතාව මා සමඟ එක්විය යුත්තේ එම වෙනස සඳහායි.

• දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ  රජ රට ඇති කර,  රජ රට අතීත සශ්‍රිකත්වය නැවත ගෙන එනවා.

• ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා - ජනපති මැදවච්චියේ දී පවසයි.

ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීම වෙනුවෙන් සහන ලබාදීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සජිත්ගේ සහ අනුරගේ ප්‍රතිපත්තිය ජනතාව සැමදා දුප්පත් ජනතාවක් ලෙස තබා ගනිමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එළැඹෙන ජනාධිපතිවරණයේ දි මේ රටේ ජනතාව තමා සමඟ එක්විය යුත්තේ එම වෙනස වෙනුවෙන් බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (10) පස්වරුවේ මැදවච්චියේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ  රජ රට ඇති කරමින් රජ රට ප්‍රදේශයේ පැවති අතීත සශ්‍රිකත්වය නැවත එම ප්‍රදේශයට ගෙන එන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් ගොවි ජනතාව නඟා සිටුවීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පක්ෂයක් දිනවන මැතිවරණයක් නොව රටේ අනාගතය දිනවන මැතිවරණයක් බවත්, පක්ෂ එදිරිවාදිකම් වලින් තොරව රටේ ජයග්‍රහණය තහවුරු කිරිමට සියලුදෙනා එක්විය යුතු බවත් කියා සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මේ රටේ ජනතාව දුක් විඳිනවා බැලීමට මේ වේදිකාවේ සිටින අපි කවුරුත් කැමති වුණේ නැහැ. ඒ නිසා අප සියලුදෙනා එකට එක් වුණා. අපි මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම භාර ගත්තා. වෙන කවුරුවත් එය සිදු කළේ නැහැ. සජිත් හා අනුර කළේ මේ රටේ ජනතාව හාමතේ තැබිමයි. ඉන්ධන, පොහොර, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් විඳින විට ඔවුන් පැන ගියා.

ඔවුන් ජනතාව අනාථ කර පැන යද්දී අපි රටේ වගකීම භාරගත්තා. අද අපි ජනතාවට සහන ලබා දී තිබෙනවා. ලබන වසරේ දී ජනතාව වෙනුවෙන් තවත් සහන ලබා දීමට කටයුතු කරනවා.

මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අප ඉදිරි වසර 05 තුළ අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. අපි ඒ වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා.

ඒ වගේම රජ රට ජනතාව පොහොසත් කිරීම වෙනුවෙන් අපි සින්නකර ඉඩම් අයිතිය ලබා දීමේ උරුමය වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන සමඟ මේ ප්‍රදේශයේ අස්වැන්න වැඩි කර ගොවි ජනතාවට හොඳ ආදායම් මාර්ග සකසා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ අපි මේ  රජ රට ප්‍රදේශයේ ඇති කරනවා. ඒ අනුව අතීත රජ රට පැවති සශ්‍රිකත්වය නැවත මේ ප්‍රදේශයට ගෙන ඒම අපේ අරමුණයි.  ඒ වෙනුවෙන් අපි ගොවි ජනතාව නඟා සිටුවනවා. ඔවුන්ට ණය සහන ලබා දෙනවා. දුප්පත්කම නැති කර ගන්න මම සහන දෙන්නේ නැහැ. අපි සහන දෙන්නේ ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමටයි. අපි සහනාධාර දෙන්නේ ජනතාවට පොහොසත් වන්නයි. එවැනි ප්‍රතිප්තතියක් සජිත් හෝ අනුර ළඟ නැහැ.

ඒ වගේම මේ ප්‍රදේශවල විශාල කර්මාන්ත කලාප ඇති කර නව ආර්ථිකයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මම දේශපාලනය ඉගෙන ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන්. ඒ වගේම සජිත්ගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන්. ජනතාව කුසගින්නේ ඉන්නවනම් ආහාර දෙන්න, ආදායම් නැත්නම් ආදායම් මාර්ග සලසා දෙන්න කියා එම නායකයන් අපට ඉගැන්වුවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ප්‍රතිපත්ති අද සජිත් ළග නැහැ. එම ප්‍රතිපත්ති තිබෙන්නේ අපි ළඟයි. අප මෙම ජනාධිපතිවරණයේ දී ජනතා වරම ඉල්ලා සිටින්නේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහායි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ ජනතාව දුක් විඳින විට පැන ගියේ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සමයේ සිට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මට සහාය ලබා දෙන ලෙස සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම ආරාධනා කරනවා.

දැන් දේශපාලන එදිරිවාදිකම් අවශ්‍ය නැහැ. ජනතාවගේ කුසගින්න නිවීමට අප සියලුදෙනා එකට එක්විය යුතුයි. ඒ නිසා ඔබේ සහ ඔබේ දරුවන්ගෙ අනාගතය ගැන සිතා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපසින් කතිරය ගහන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා,

2022 වසරේ සිට2024 වසර වන විට අපේ රට මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙමින් තිබෙනවා. ජන ජීවිත ස්ථාවර වෙමින් තිබෙනවා. මේ රට මේ තැනට ගෙන ඒම සම්බන්ධයෙන් රජයක් හැටියට වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල කාර්යභාරයක් සිදු කළා.

එදා තිබුණේ පැය 13 ක් විදුලි කප්පාදු කළ කාලයක්, ඉන්ධන, ආහාර, ගෑස් පෝලිම් තිබුණු කාලයක්. අද රට ඉල්ලන කිසිදු නායකයෙක් එදා රට භාරගන්න කැමති වුණේ නැහැ. ඒ අවස්ථාදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජනතාවගේ මූලික අවශ්‍යතා ලබාදීමට කටයුතු කර තිබෙනවා. පොහොර ලබා දී ගොවියා ගොවි බිමට යැවීමට කටයුතු කර තිබෙනවා. මීළඟ කන්නයේ ලබන කන්නේ සිට රුපියල් 25000ක පොහොර සහනාධාරයක් ලබාදීමටද කටයුතු කර තිබෙනවා.

අනුර කුමාර දිසානායකට රට හදන්න පුළුවන් කමක් නෑ. ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වෙන්නේ දුක් විඳින ජනතාව හැමදාමත් තබා ගැනීමටයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ.

සාම්පූර් බලාගාරය නවතා දැමීමට  සහ උමා ඔය ව්‍යාපෘතිය  වසර හතක් ප්‍රමාද කිරීම සිදු කළේ ජනතා විමුක්ති පෙරමුණයි.

සජිත් ප්‍රේමදාස අද කියනවා එයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා. එයාට ඉන්නවා කියන හොඳ කණ්ඩායම 2022දී රට භාර ගන්න එපා කියලා කිව්වා. ඔවුන්ගේ කණ්ඩායමට වගකීමක් දරන්න පුළුවන්කම තිබුනනම් 2022 දී රට භාර ගන්න තිබුණා.

නමුත් පුළුවන් කියලා රට භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සියලු දේ හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය ස්ථාවර කිරීමටත් කටයුතු කර තිබෙනවා. එතුමගේ ඉදිරි වසර පහ තුළදී ජනතාවට සහන ලබා දෙමින් ජන ජීවිතයට තවත් සහන ලබාදීමට  බලාපොරොත්තු වෙනවා. උතුරු මැද ඇල  සංවර්ධනය කිරීමට අදාල මුදල් ලබාදීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. මහා කනදරා වැවත් පෝෂණය කර තිබෙනවා.ලබන වසරේ සිට රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 25000කින් වැඩ කර තිබෙනවා. බංකොලොත්භාවයෙන් තිබුණු රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කර ජනතාවට සහන ලබා දිය හැකි තත්ත්වයට ගෙන ආවේ වත්මන් ජනාධිපතිවරයායි. එතුමාට ඉදිරි වසර පහ ලබාදෙන්න අවශ්‍ය වන්නේ ඒ නිසයි.

පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා,

2022 වසරේ  රට භාරගත්තේ නැත්තේ සජිත්ට අනුරට බැරි නිසයි .  ඔවුන්ට ජාත්‍යන්තර සබඳතා නැති බව ඔවුන් හොඳටම දන්නවා.  යුද්දෙට යවන්න අවශ්‍ය යුද්දෙ ගැන දන්න නායකයෙක්. නැත්තම් වෙන්නේ  යුද පිටිය සෙහොන් පිටියක් කර ගන්නයි.

2022 වසරේදී ආර්ථික යුද්ධය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. ඒ නිසා ඉදිරිය වසර පහ සඳහාත් රට භාරදිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. එදා සජිත්ලා අනුරලා  පන්දම් පත්තු කරගෙන  උද්ඝෝෂණය කළා විතරයි. රටේ තිබුණ කිසිම ප්‍රශ්නයකට  විසඳුමක් ලබා දෙන්න ඔවුන් කතා කළේ නෑ. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනිදාට ඒ යුද්ධය මතක ජනතාව මේ යුද්ධ කරන නායකයාට රට භාර දෙනවද නැත්නම් පැනල ගිය නායකයින්ට රට භාර දෙනවද කියා තීරණය කළ යුතුයි. අනුරාධපුර ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරවීමට කැපවී සිටින බව මට විශ්වාසයි.

පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. චන්ද්රසේන මහතා,

පසුගිය මාසයේ 17 වැනිදා  ජනාධිපතිතුමාගේ මැතිවරණ රැළි ආරම්භ කළා. එදා සිට අද වන විට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රැස්වීම්වලට ජනතාවගේ පැමිණීම දිනෙන් දින වැඩි වෙමින් තිබෙනවා. අද හොරොව්පතානට පැමිණි ජන ග‍ඟෙන් ඒ බව  දුරටත් තහවුරු වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  කාබනික පොහොර භාවිතයට ගත් තීන්දුවට අප එදා විරුද්ධ වුණා. නමුත් දන්නෙ නැති අයගේ තීන්දු තීරණ නිසා එදා රට ආරාජිකත්වයකට ගමන්කළා. ඒ වගේම තමයි අද ජනාධිපති ධූරය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයන් ද ආධුනිකයි. ඔවුන් වේදිකාවල කරන කතා අනුව රටක් ගෙනියන්න බැහැ.

අනුර දිසානායක අද කලාකරුවෝ, වෛද්‍යවරු, වෘත්තිකයන් ගෙන්වා සාකච්ඡා කරනවා. නමුත් ඔවුන් ලබා දීපු උපදෙස් නිසා තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ජනාධිපති පුටුවෙන් යන්න වුනේ.

චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගේ කාලයේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස අනුර කුමාර කෘෂිකර්මය දියුණු කිරීම සඳහා කළේ කුමක්ද? මේ ගොවි ජනතාව ඒ පිළිබඳ හොඳට දන්නවා. ඒ නිසා මේ රටට වැඩක් නොකරපු කෙනෙකුට ඡන්දය දෙනවද?  වැඩක් කරලා ඔබ ඉදිරියට පැමිණි ජනාධිපතිවරයාට ඔබේ මනාපය ලබා දෙනවාද කියා සිතා බලන්න.

විශාලා මහනුවරක්ව පැවැති මේ රට බාරගෙන ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් සකස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. එය දැන් ජනතාව අත්විඳිමින් ඉන්නවා.

අද ගෑස් ගන්න යන විට පොහොර ගන්න යන විට,  ඉන්ධන ලබා ගන්න යන විට ජනාධිපතිවරයා සිදු කළ කාර්යභාරය ඔබට දැනෙන්න තිබෙනවා.  එම නිසා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට අප සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්රී වීරසේන ගමගේ මහතා,

පොහොට්ටුවේ අපි,  රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න යන්නේ ඇයි කියලා ඇතමුන් අහනවා. පොහොට්ටුවේ නායකින් තමයි ජනාධිපතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ. ඒ ලබා දුන් ධූරයට  නිසි වටිනාකමක් ලබා දෙමින් ආර්ථිකය ගොඩ නැගීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එම වගකීම ඉටු කර වීරයෙක් ලෙස අද ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට පැමිණ සිටිනවා. රට වැටී තිබූ අගාධයෙන් ගොඩ ගැනීමේ කෘතවේදී මනාපයත්, ඉදරි වසර පහ තුළ රට තව දුරටත් නගා සිටුවීම සඳහා වන බලාපොරොත්තුවේ මනාපයත් සමඟ අප එතුමා ජයග්‍රහණය කරා ගෙන යමු කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ලෝකයම පිළිගත් නායකයෙක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර සබඳතා නිසා මීට වසර දෙකකට පෙර ලංකාවේ තිබුණ පෝලිම් යුගය නැති කිරීමට හැකි වුණා. බංකොලොත්භාවයට පත්වුණු ලෝකයේ අනෙත් රටවල් තවමත් හිස ඔසවා ගැනීමට නොහැකිව තිබියදී වසර දෙකක් තුළ ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනීමට තරම්  ජනාධිපතිතුමා දක්ෂ වුණා.

එතුමා වැඩක් කර පෙන්වා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. එතුමා ඔබලාගෙන් ඉල්ලන්නේ ඉදිරි වසර පහ පමණයි. ඉදිරි වසර 5 තුළතදී මේ රටේ නොවැටෙන ආර්ථිකයක් ඇති කිරීමට එතුමාට හැකියාව තිබෙනවා. වෙන කෙනෙකුට රට භාරදුන්නොත් මාස හයක් ඇතුලත රට නැවත පෝලිම් යුගයකට යනවා. ඒ නිසා පාට පක්ෂ බේදයකින් තොරව ජනාධිපතිතුමා දිනවීමට කැපවෙමු කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්රී එච්.සී.මුතුකුමාරණ මහතා,

රටේ ජනතාව දුක් විඳින වෙලාවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව බාරගෙන කටයුතු කරන්න කැමති වුණේ නැහැ. මේ ගිනි ගොඩ බාරගන්න බෑ කියලා විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා එදා කිව්වා. ජනතාව මහපාරේ දුක් විඳින විට ඒ ජනතාව වෙනුවෙන් පෙරට ආ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කොන්දේසි විරහිතව රට භාරගෙන ජනතාව දුකින් මුදා ගැනීමට කටයුතු කළා. සජිත් ප්‍රේමදාසලා, අනුර කුමාරලා පසුගිය අවුරුදු දෙකේම සිදු කළේ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට කකුලෙන් ඇදීම පමණයි. අනුරට හරි සජිත්ට හරි මනාපය ලබා දුන්නොත් රටට අත්වන ඉරණම ඛේදනීයයි. ඒ නිසා හොරුව්පතාන ආයතනය වැඩි ඡන්ද විසි දාහකින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කැප වෙමු.

හිටපු අමාත්ය පී. හැරිසන් මහතා,

ජාතික ජනබලවේගය සමාජ මාධ්‍ය හරහා අනෙක් පක්ෂවලට තර්ජනය කරනවා. අපි බලයට ආවොත් විරුද්ධවාදීන් තියන්නේ නැහැ කියලා තර්ජනය කරනවා. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. අද ජවිපෙ ලාල්කාන්ත තමන් සිටින රජයකින් ගමට අධිකරණ බලය දෙනවා කියන්නේ, ගමේ සිටින අනෙක් පක්ෂවල පාක්ෂිකයින් ඝාතනය කිරීමට, ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තැබීමට සහ විනාශ කිරීමටයි. රට තුළ භීෂණය පැතිරවීමට දැන් ඔවුන් සූදානමින් සිටිනවා.  ඒ අතරේ  නියපොත්තක හානියක් කරන්නේ නැහැ කියලා අනුර කුමාර වේදකාවේ කියනවා. එදා ඔබතුමාලාගේ ගෙවල් ගිනිතිබ්බේ මේ අනුර කුමාරලා නායකයින් වෙලා ඉන්න පක්ෂයෙන් නොවේද කියලා මම අහන්න කැමතියි.

මාලිමාවට මුවා වූ ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ ත්‍රස්තවාදී ඉතිහාසයක්. මොවුන්ට බලයක් ලැබුණොත් මිනී මරලා, පාරවල් දිගේ ඇදගෙන යන බව ස්ථිරයි. එනිසා මේ ත්‍රස්තවාදී කණ්ඩායමට බලය දෙන්න හීනෙකින් හෝ සිතන්න එපා කියලා මම අපේ ජනතාව‍ගෙන් ඉල්ලා සිටිනවා.

උතුරු මැද පළාත් හිටපු ප්රධාන අමාත්ය  එස් .එම්. රන්ජිත් මහතා,

ජාතික ජන බලවේගය නමින් එන ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය අද මැතිවරණ ප්‍රචාරණය සඳහා වියදම් කරන මුදල පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. හොරු අල්ලන්න කථා කියන අය මේ තරම් මුදල් උපයා ගත්තේ කොහොමද කියලා සොයා බලන්න අවශ්‍යයි. අපි ආණ්ඩුවක් පිහිටවූ මුල්ම අවස්ථාවේ සිදු කරන්නේ මේ මැතිවරණ ප්‍රචාරණ සඳහා වියදම් කළ මුදල් පිළිබඳව සොයා බැලීමයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට පැමිණ තිබෙන්නේ රටේ ආර්ථිකය දියුණු කරලා පෙන්වලයි.  එතුමාගේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුළත් මේ රටට අවශ්‍ය වෙනවා. එතුමා ඉල්ලන්නේ ඒ සඳහා ජන වරම ලබා දෙන ලෙසයි.  එම නිසා එතුමාගේ විජයග්‍රහණය සඳහා අප සියළු දෙනා එක වේදිකාවට පැමිණ තිබෙනවා. අපි සියලු දෙනා එක් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 5 සඳහාත් අපේ රටෙ නායකය බවට පත් කර ගනිමු .

හිටපු අමාත්ය වීරකුමාර දිසානායක මහතා,  

2004 වසරේදී මේ රටට සුනාමියක් ආවා. මුහුද පසුපසට යන විට මිනිස්සු වෙරළට ගියා. නමුත් සිදු වුණේ මහා විපතක්. ඒ වගේ සුනාමි වලට රැලිවලට  රැවටෙන්න එපා. රැලිවලට රැවටුණොත් රටට ඛේදවාචකයක්  අත් වෙනවා.  

මේ රට ආර්ථික වශයෙන් ගොඩනඟපු මිනිසා අද ඔබ ඉදිරියට ඇවිත් සිටිනවා. මේ රටේ පෝලිම් යුගය නැතිකළ මිනිසා ඔබ ඉදිරියට ඇවිත් සිටිනවා. විසිඑක් වෙනදාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතිරය නොගැහුවොත් නිදි වර්ජිතව සිටින රාත්‍රීන් ගතකරන්න මේ රටේ බහුතරයකට සිදුවෙනවා. මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් ඔබේ ඡන්දය භාවිතා කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැතිව පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජනාධිපති පුටුවට ගෙනවිත් රටම අඳුරට ගෙන යන පාපයට සහභාගි වෙන්න එපා කියලත් මම ඔබට කියනවා.  ඒ නිසා විසි එක්වෙනිදා ගෑස් සිලින්ඩරය ලකුණට මනාපයක් ලබාදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමට කැපවෙමු කියා මා ඉල්ලා සිටිනවා.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන්ද විවිධ පක්ෂ නියෝජනය කරමින් පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන්  සහ සභිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more