රට සමෘද්ධිය කරා ගෙන යාමේ ගමන රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා

• එම ගමන ආපසු හරවා 2022 පැවති තත්ත්වයට යනවාද, ඉදිරියට යනවාද ජනතාව තීරණය කළ යුතුයි.

• 2022 වසරේ පැවති තත්ත්වයට වඩා අද භාණ්ඩ මිල අඩු වෙලා.

• ආර්ථික ස්ථාවරත්වය බිඳ නොවැටෙන අයුරින් ඉදිරියටද ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරනවා.

• සජිත් - අනුර බදු අඩු කරන බව කියන්නේ ගෝඨාභයගේ ක්‍රමවේදයටයි - ජනපති පොළොන්නරුවේ දී පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව කතිරය සලකුණු කළ යුත්තේ ස්ථාවර හා සමෘද්ධිමත් අනාගතයක් ශ්‍රී ලංකාවට ඇතිකරනවාද නැතහොත් අවුල් සහහගත සහ අවිනිශ්චිත තත්ත්වයක් සෑම පවුලකටම ඇති කරනවාද යන කරුණු දෙක තෝරා ගනිමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට සමෘද්ධිය කරා ගෙන යාමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ පැවති තත්ත්වයට වඩා අද භාණ්ඩ මිල අඩු වී තිබෙන බවත්, රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය බිඳ නොවැටෙන අයුරින් ඉදිරියට ද ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පස්වරුවේ පොළොන්නරුව මෛත්‍රී ක්‍රීඩාංගණයේ පැවති  “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දියුණු රටක් ලෙස ඉදිරියට යාමට නම් රටේ ආර්ථිකය දියුණු කර ජීවන බර සැහැල්ලු කළයුතු බවයි.

බදු අඩුකරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දෙන සජිත‍් සහ අනුර යලි සූදානම් වන්නේ රෑ වැටුණු වලේ දවල් වැටීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බදු අඩු කිරීමට ගත් පියවර නිසා රටේ ආර්ථික කඩා වැටුණු අයුරු කිසිවෙකු අමතක නොකළ යුතු බවද පැවසීය.

මෙම විජයග්‍රාහී ජන රැලියට එක්වීමට පෙර ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික දිඹුලාගල  ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී දිඹුලාගල සේනාසනාධිති හිමියන් විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වූ ජනාධිපතිවරයා විහාරස්ථානයේ මෙන්ම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳවද සෙයා බැලීය.

පුළුවන් ශ්‍රී ලංකා පොළොන්නරුව විජයග්‍රාහී ජන රැලිය අමතමින්  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

2003 සිට මේ රටේ ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් මම කැප වුණා. බොහෝ දෙනා විරුද්ධ වුවත් ජනාධිපතිවරයා ලෙස මගේ බලතල ක්‍රියාත්මක කර උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. මැතිවරණය නිසා එය තාවකාලිකව නතර කළත් වෙනම ආයතනයක් ස්ථාපිත කර ඉදිරි වසර 03 තුළ සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අවසන් කිරීමට මම බලපොරොත්තු වෙනවා.

ඒ වගෙම් මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග තිබෙන ගැටළු ද කඩිනමින් විසඳීමට අප බලාපොරොත්තු වෙනවා. වන අලින්ගේ ගැටළුව ද කඩිනමින් විසඳිය යුතුව තිබෙනවා. සැප්තැම්බර් 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වන්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට බව කිව යුතුයි.

රට බංකොළොත් නොවූ කාලයේ නොකළ වැඩකොටසක් අප බංකොළොත් භාවය ප්‍රකාශ වීමෙන් අනතුරුව ජනතාව වෙනුවෙන් අප විසින්  ඉටු කර තිබෙනවා. අප ජනතාව කන්න දිය යුතුයි, ඒ වගේම අයිතිය ලබාදී ඔවුන් නගා සිටුවිය යුතුයි. අප ඒ සඳහා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කළා.  ඒ වගේම ඒ වෙනුවෙන් අවශ්‍ය ණය සහනාධාර සහ නව තාක්ෂණය ලබා දීමට කටයුතු කරනවා.

මට අවශ්‍ය මේ රටේ ජනතාවගේ ආදායම් ඉහළ නංවා සියලුදෙනාට හොද ජීවන තත්ත්වයක් ඇති කර දීමයි. මම බොරු පොරොන්දු දෙන්නේ නැහැ. අප ඉදිරියට යා යුත්තේ මේ ආකාරටයි. ඉදිරි වසර 05 තුළදී ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම, අපනයන ආර්ථිකයක් ඇති කිරීම සහ උරුමය සහ අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රධාන ඉලක්ක වී තිබෙනවා.

2022 පැවති තත්ත්වයට වඩා අද බඩු මිල අඩු වෙලා තිබෙනවා. ඒ වගේම රටේ ස්ථාවර කළ ආර්ථිකය තවත් ශක්තිමත් කර ජනතාවගේ ජීවන බර තවත් අඩු කරන්න අපි කටයුතු කරනවා. අපි දියුණු රටක් ලෙස ඉදිරියට යනවානම් ආර්ථිකය දියුණු කර ජීවන බර සැහැල්ලු කළ යුතුයි.

නමුත් සජිත් සහ අනුර කියනවා බදු අඩු කරවා කියලා. එදා බදු අඩු කළ නිසා තමයි ආර්ථිකය කඩා වැටුණේ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා බලයට පැමිණි පසු බදු අඩු කරනවා කියලා. බදු අඩු කරලා මොකද වුණේ. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව එදා කෑ ගැහුව සජිත් සහ අනුර දෙන්නම අද කියනවා අපි බදු අඩු කරනවා කියලා. ඔවුන් මේ කරන්නේ රෑ වැටුණු වලේම දවල් වැටෙන්න හදන එක නොවේද, ඔවුන් හිතන්නේ ජනතාව මෝඩයෝ කියලද.

රටේ ආදායම් වැඩිවීමත් සමඟ ජනතාවගේ බදු බර ද සැහැල්ලු කිරීමට හැකි වෙනවා. දළ දේශීය නිෂ්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලැබෙනවා. තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් දියුණු වුණේ අපනයන ආර්ථිකයක් සමඟ ඉදිරියට ගිය නිසයි. අප රටද එම දියුණුව ලබා ගත යුතුයි.

ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන ජ්‍යෙෂ්ඨයන්  නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයටයි  මම අද නායකත්වය දෙන්නේ කියලා මම මෙහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න කැමතියි. අපි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙන පක්ෂයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ලේබල් අලවාගත් බාල පක්ෂයක් නොවෙයි.

1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රට දියුණු කළා. ඒ නිසා මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා අප සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනගමු කියලා. එය ඉතිහාසයේ සිට සිදු වුණා. අප ඒ ගැන ආඩම්බර විය යුතුයි.  මෙම වැඩපිළවෙළ ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කර ගැනීමට සැප්තැම්බර් 21 වන ද ගෑස් සිලින්ඩරය ළගින් කතිරය ගහන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය,

ජනාධිපතිවරයා දිනවීම සඳහා නිර්භීතව ඉදිරිපත් වී සිටින මේ ජනතාව දුටු  විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වන බව විශ්වාසයි. මීට දවස් දෙකකට පෙර ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුවා. අනුර කියනවා ඍජු බදු අඩු කරනවලු, වක්‍ර බදු අඩු කරනවාලු, වියදම වැඩි කරනවලු, එහෙම කරන්න ගිහින් තමයි පොහොට්ටු ආණ්ඩුව  බිඳ වැටුණේ.  යල් පැන ගිය ආර්ථික ප්‍රතිපත්ති නිසා  ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු බව ජනතාව මීට වසර දෙකකට පෙර අත්වින්දා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් කිසිවෙකුට වෙනස් කළ නොහැකියි. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අනිවාර්යයෙන් බිඳ වැටෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික කළමනාකරණ හැකියාව නිසා මේ වන විට ආර්ථිකය යහපත් තැනකට ගෙන ඒමට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිලාභ මේ රටේම ජනතාව අද අත්විඳිමින් සිටිනවා. මෙම ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කළහොත් නැවත රට විනාශ වෙන එක වළක්වන්න බැහැ.

ජනාධිපතිතුමා විසින් මහවැලි ඉඩම් වල සිටින සියලුම ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන ලෙස මහවැලි අමාත්‍යවරිය ලෙස මට උපදෙස් ලබා දී තිබෙනවා. මහවැලි ඉඩම්වල අයිතිය ජනතාවට ලබා දෙන්න තීන්දුව ගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මේ රටේ ගොවියා ආර්ථික වශයෙන් නැගිටින තාක් කල් රටේ ආර්ථිකය දියුණු කරන්න බැරි බව ජනාධිපතිතුමා හොඳ හැටි දන්නවා. ඒ නිසා හරිතාගාර ඇති කරමින් නව තාක්ෂණය හඳුන්වා දෙමින් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට දැනටමත් පදනම සකස් කර තිබෙනවා. මේ රටේ මිනිසුන් ආර්ථිකය වශයෙන්  නැගිට්ටවන්න පුලුවන් යථාර්ථවාදී දැනුමක් ඇති එකම නායකයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එම නිසා එතුමා ජයග්‍රහණය කරවීමට රොඳ බදින ලෙස මේ රටේ සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.චන්ද්රසේන මහතා,

2022 වසරේ ගෑස්, ආහාර,ඉන්ධන පෝළිම් වල ඔබ දුක් විඳින විට අද මේ බලය ඉල්ලා සිටින කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.  ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාය කියන විපක්ෂයේ කණ්ඩායම් දෙකම එදා රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් මේ වන විට කළ නොහැකි දේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කරමින්  ජනතාව මුලා කරමින් සිටිනවා.  ජනතා විමුක්ති පෙරමුණ 88-89කාලයේ සිදුකළ භීෂණය  උතුරු මද පළාතේ ජනතාවට අමතක නැහැ. ඒ බියෙන් තැති ගත් කාලය අමතක වෙන්නෙත් නැහැ. ඒ කාලය මතක තියෙන කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා තබා ඔවුන්ට පක්ෂව වචනයක්වත් කතා කරන්නේ නැහැ.  ජවිපෙ ශ්‍රම දායකත්වයෙන් සිදුකළ කිසිම ව්‍යාපෘතියක් මේ ලංකාවේ නැහැ. ඔවුන් මේ රටේ උද්ඝෝෂණ හැර සිදු කළ කිසිම දෙයක් නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම වැඩ කළේ වෙනත් ජනාධිපතිවරු යටතේයි. එතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ පසුව තමයි  එතුමා ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ගන්නා ආකාරය අපට දකින්න හැකි වුණේ. ජනතාව පීඩාවට පත් වී තිබෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස ඒ අභියෝගය භාර ගත්තා. කිසිම ජනප්‍රිය තීරණ ගන්නේ නැතුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා නිවැරදි තීන්දු ගනු ලැබුවා. ආර්ථිකය යහපත් වන විට ජනතාවගේ මූල්‍ය ශක්තිය වැඩි වන බව එතුමා දැනගෙන හිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය වැඩපිළිවෙළ බුද්ධිමත් ජනතාව නිහඬව බලාගෙන සිටියා . ඒ ජනතාව එළැඹෙන සැප්තැම්ර් 21වැනිදා එතුමාගේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිය කෘතුගණ සළකනවා ‍නිසැකයි.  

පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා,

අපේ රටේ ආර්ථිකය වැටිලා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකිව බංකොලොත් වී සිටින  වෙලාවේ  රට බාර ගන්න නායකයෙක් හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙකු ලෙස සිටියත් ඒ   වගකීම බාරගෙන රටේ ආර්ථිකය යහපත් තැනකට ගෙන ඒමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඒ බව ජනතාව අත්දුටුවා. ලබන සැප්තැම්බර් විසිඑක් වෙනිදා එතුමා නැවත බලයට පත් කරවීම මේ ජනතාව‍ ලබා දෙන්නේ  එතුමා කළ සේවයට කෘතවේදීත්වය පළ කරන මනාපයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන්න පුළුවන් වැඩ පමණක් ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කර තිබෙනවා. එසේ නොමැතිව මේ ජනතාව සිහින ලෝකවල අතරමං කිරීමට එතුමා පොරොන්දු ලබාදී නැහැ. පසුගිය වසර දෙකේ ආර්ථික වශයෙන් මේ රට ගොඩ ගත්තා වගේම ඉදිරි වසර පහ තුළදී නොවැටෙන ආර්ථිකයක් ඇති කිරීමට එතුමාට හැකියාව තිබෙනවා.  

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ වේදිකාවේ වෛරය  වපුරමින්  බලය ලබා ගැනීමට ජනතාව මෙහෙයවමින් සිටිනවා. වෛරයකට මනාපයක් ලබා දී රට ගොඩ නඟන්න හැකියාවක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්රී ජගත් සමරවික්රම  මහතා,

ජනතාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පසුගිය වසර දෙක තුළ පොලොන්නරුවට විශාල සේවාවක් සිදුකර තිබෙනවා. පොළොන්නරුවේ  මහවැලි ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු ක ළා. පක්ෂ පාට බේදයකින් තොරව ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවීමටත්  පාට පක්ෂ බේදයකින් තොරව මැතිවරණ ඉතිහාසයේ පුළුල්ම දේශපාලන වේදිකාව අද ගොඩනැගී තිබෙනවා. ශ්‍රී ලංකාවේ  ආර්ථිකය ගොඩනැගීමට  හැකි කණ්ඩායම අද මෙම වේදිකාවේ සිටිනවා. එම නිසා වැඩක් කළ නායකයාට යුතුකමේ මනාපය ලබා දී පොලොන්නරුව දිස්ත්‍රික්කය වැඩි ජන්දයෙන් ජයග්‍රහණය කරවන්න වග බලා ගනිමු.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා,

අපේ දේශපාලන ඉතිහාසයේ හැම මැතිවරණයකටම අප ඉදිරිපත් වුණේ පක්ෂ වලට බෙදිලයි. නමුත් මෙවර ජනාධිපතිවරණය සියලු පක්ෂ එක වේදිකාවට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර පහ සඳහාත් ජනාධිපතිධුරයට පත් කිරීම සඳහායි. ආර්ථික වශයෙන් රට බංකොලොත්  වී තිබෙන අවස්ථාවේ මේ  රට බාරගෙන රටක් ලෙස  ශ්‍රී ලංකාව නැවත ඔසවා තැබීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා  නැවත ජනාධිපති කරවීමට අද රට පුරා ජනතාව කැපවී  සිටිනවා. අද ජනාධිපතිවරණ පත්‍රිකාව බැලුවම එහි සිටින අත්දැකීම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවට කිසිම තර්කයක් නැහැ. වසර දෙකක් ඇතුළත රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එතුමා කළ වැඩපිළිවෙළ රටම දැක්කා. ඒ ප්‍රතිඵල පෙනවමින් තමයි අද එතුමා ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. ඉදිරි වසර පහ එතුමට නැවත රට භාර දී නොවැටන ආර්ථිකයක් සකස් කිරීමට කටයුතු කරමු. ඒ සඳහා ඔබගේ කෘතවේදී මනාපය ලබා දෙන ලෙස මා ඔබ සියළු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්ය පී.හැරිසන් මහතා,

එක්සත් ජාතික පක්ෂය මහවැලි ව්‍යාපාර ආරම්භ කර , පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ  කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ ගැන නොදන්නා රතු සහෝදරවරු අද පොලොන්නරුවට ඇවිත් පොලොන්නරුවට කිසි දෙයක් සිදු කර නැහැ කියා බොරු කියමින් ජනතාව මුලා කරමින් සිටිනවා.

අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරම් බාන ජනතා විමුක්ති පෙරමුණ එදා  මුලින්ම ඡන්ද පොළට පැමිණි පුද්ගලයා මරා දැමුවා. ඒ අය 2022 වසරේදී ඔබලාගේ දිස්ත්‍රික්කයේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා මහ මඟ ඝාතනය කළා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අද වනතුරු සමාව ඉල්ලා නැහැ. 2022 වසරේ මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන්ගේ ගෙවල් පැය දෙකක් ඇතුළත ගිනි තබා විනාශ කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට පාර්ලිමේන්තුවත් අල්ලා ගෙන ගිනි බත්කර ඔවුන් දන්නා ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වනවා. අද බංගලාදේශයට සිදු වී තිබෙන දේ බලන්න. බංගලාදේශයේ මන්ත්‍රීවරු විසි නවයක් මේ වන විට ඝාතනය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයේ දිව්රුම් දීමත් සමඟම මේ රටේ නැවත  සාමය ස්ථාපිත කිරීමටත් එට සුරක්ෂිත කිරීමටත් කටයුතු කළා.

සජිත් ප්‍රේමදාස රුපියල් 4000කට පොහොර ලබා දෙනවා කියා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොර නොමිලේ ලබාදෙන බව මේ වන විටත් කියා තිබෙනවා. පොහොර නොමැති වෙලාවෙ තමන්ගේ ජාත්‍යන්තර සබඳතා භාවිතා කර පොහොර ගෙනවිත් කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට කටයතු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මිස  අද කටමැත දොඩන අය නොවෙයි.

පොලොන්නරුවට අභ්‍යන්තර ගුවන්තොටුපළක් ලබා දී  සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ජනාධිපතිවරයා  සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා කර තිබෙනවාඑතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ සිදු කළ හැකි දේ පමණයි. සිහින ලෝක මවා පාලා නැහැ. රාජ්‍ය සේවකයන් රුපියල් 25000ක වැටුප් වැඩි කිරීමක් කරන බව සඳහන් කර තිබෙනවා. පොලිස් නිලධාරීන්ට සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ට වැටුප් වැඩි කිරීම් පිළිබඳ පවසා තිබෙනවා. පියවරෙන් පියවර මේ රටේ ජනතාවගේ ගැටළු නිරාකරමින් යන ඒ ගමනට මෙවර ජනාධිපතිවරණයෙන් ඔබේ ශක්තිය අවශ්‍ය වෙනවා.

හිටපු රාජ්ය අමාත්ය චන්ද්රසිරි සූරියආරච්චි මහතා,

අපේ රටේ ආර්ථිකය බේරා ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. ඒ වගේම, ඉඩම් ඔප්පු  නැති ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම සඳහා  ඔබතුමා ආරම්භ කරළ  ඉතාම ප්‍රශංසනීයයි. මාදුරු ඔය ජලාශය හැදුවේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමායි. එක්සත් ජාතික පක්ෂයේ රජයන් විසින්  පොලොන්නරුවට විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

පොලොන්නරුවට කිසිම වැඩක් නොකළ  අය රටට වැඩ කරන්න බලය ඉල්ලනවා. ඒ වගේම රටට  විහිළු සපයන්නන් බවට පත්ව තිබෙනවා. නමුත් ජනතාවට සාමකාමීව සහ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ජීවත්වීමට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට පත්කළ යුතුයි.

උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා,

නිදහසින් පසුව  2022 වසරේදී  රටේ ආර්ථිකය බංකොලොත් වන්නේ පළමු වරටයි. ආහාර, ඉන්ධන, ගෑස් නොමැතිව විශාල පෝලිම් දින ගණනක් තිබෙන රටක් බවට පත්වුණා.  ගෑස් ඉල්ලා, ඉන්ධන ඉල්ලා ජනාධිපතිවරයාගේ නිවස වැටලීමට පවා ජනතාව පෙළඹුණා. හිටපු ජනාධිපතිවරයා පැනලා යනවා. හිටපු අගමැතිවරයා ඉල්ලා අස්වෙනවා. එහෙම අවස්ථාවක රට භාරගන්න කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයා ලෙස  ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමට කටයුතු කළා. අද වන විට ආර්ථිකය තිබූ තැනට ගෙන ඒමට එතුමා කටයුතු කර තිබෙනවා.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

Read more