රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් සුවපත් කිරීමට තවත් වසර කිහිපයක් අවශ්‍යයි

• අසාධ්ය තත්ත්වයේ පසු වූ රෝගියා සුවය ලබමින් සිටියදී වෛද්යවරයා මාරු කර සුදුසුකම් නැති වෛද්යවරයෙකුට භාර දීම සිදු නොකළ යුතුයි.

• රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුගේ සහතිකය අවලංගු කළ හැකියි :ආර්ථිකය සුවපත් කිරීමේ වගකීම ඉටු නොකර පළාගිය දේශපාලනඥයන් ද ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි.

• ශ්‍රී ලංකා ආර්ථිකය නම් රෝගියා  ශල්‍යකර්මයකින් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

• හෙද සේවාව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා - ජනපති “2024 හෙද සමුළුව” අමතමින් පවසයි.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියා හදිසි ප්‍රතිකාරවලින් පසුව සුවය ලබමින් සිටියදී, වෛද්‍යවරයා ද මාරු කර සුදුසුකම් නැති වෛද්‍යවරයෙකු යටතේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කිරීමේ වරද සැප්තැම්බර් 21 වනදා මේ රටේ ජනතාව සිදු නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුගේ සහතිකය ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට දන්වා  අවලංගු කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  2022 වසරේ මෙරට ආර්ථිකය දරුණු ලෙස රෝගි වූ අවස්ථාවේ එය සුවපත් කිරීමේ වගකීම ඉටු නොකර පළාගිය දේශපාලනඥයන් ද රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (17) පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ “2024 හෙද සමුළුව” අමතමිනි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත එක්සත් හෙද සංගමයේ යෝජනා ඇතුළත් සංදේශයක් ද භාරදෙනු ලැබීය.

එමෙන්ම අයේෂා සිංහවංශ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රචනා කරන ලද ආශිර්වාදාත්මක ගීතයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

හෙද සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙරට ආර්ථිකය වසර දෙකකින් ගොඩගැනීමට හැකිවනු ඇතැයි කිසිවෙකු නොසිතු බවයි. නමුත් ශ්‍රී ලංකා ආර්ථිකය නම් රෝගියාට ශල්‍යකර්මයක් සිදු කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා  2025 වසර වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් රෝගියා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකි බවත් 2026 වසරේ දී රට වේගවත් දියුණුවක් කරා ගෙන යාමේ වැඩපිළි‍වෙළ ආරම්භ කරමින් රෝගියා රෝහලෙන් පිටත් කර යැවිය හැකි බවත් පැවසීය.

රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළේදී මෙරට හෙද සේවාවේ දායකත්වය පුළුල් කිරීමට කටයුතු කරන බව පැවසූ ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ පුහුණු හෙදියන් රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පහසුකම් සළසා දෙන බවත්, ඉදිරියේ දී වැඩිවන ලෝක ජනගහණය සමඟ ජපානය, කොරියාව, චීනය, සිංගප්පූරුව සහ යුරෝපා රටවල ඉහළ යන හෙද අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකික හෙදියන් යොමු කිරීමේ වැඩපිළිවෙළ සකස් කරන බවත් කියා සිටියේය.

2024 හෙද සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මෙරට ආර්ථිකයේ අනාගතය යනු ජනතාවගේ අනාගතයයි. ඒ නිසා මෙම අවස්ථාව අප බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. එදා මේ රටේ තිබු තත්ත්වය මම අලුතින් කිවයුතු නැහැ. රෝගියෙකුට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයෙක් විසින් ප්‍රතික්ෂේප කළවිට ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට දන්වා ඔහුගේ වෛද්‍ය සහතිකය අවලංගු කළ හැකියි. 2022 වසරේ මේ රටේ ආර්ථිකය හදන්න බැහැ කියපු අයටත් අප කළයුත්තේ එය නොවේද කියා මම අහන්න කැමතියි.

ශරීර සෞඛ්‍ය බලපාන්නේ එක් අයෙකුට පමණයි. නමුත් ආර්ථිකය කඩා වැටුණු විට කී දෙනෙක් හාමතේ මිය යනවාද, ඒ නිසා මෙම නායකයන්ව ප්‍රතික්ෂේප කරනවද නැද්ද කියා ජනතාව තීරණය කළයුතුයි.

ඒ වගේම රටක් ලෙස අප ඇතිකරගත් ආර්ථික ස්ථාවරත්වය ආපසු හරවන්න බැහැ. අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙරට ආර්ථිකය වසර දෙකකින් ගොඩගැනීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. ඒ වෙනුවෙන් මම අසිරු තීරණ ගත්තා. කෙසේ හෝ රුපියල ශක්තිමත් කර ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට මා කටයුතු කළා. නමුත් තවමත් ආර්ථික ගැටළු තිබෙනවා.

ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ අනෙක් කිසිදු රටක් අප රට මෙන් වේගවත්ව ස්ථාවර වී නැහැ. ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටුණා. මම දැක්කා එක් පුද්ගලයෙක් සඳහන් කර තිබෙනවා වසර 07කින් අලුත් ඇදුමක් ගත්තේ නැහැ කියලා. ඔවුන් නිවාඩු දිනක එළියට ගිහින් නැහ. නමුත් අපේ රටේ ජනතාවට දැන් නිවාඩුවට අනුරාධපුරයේ, නුවරඑළියේ යන්න හැකියාව ලැබී තිබෙනවා. අප ක්‍රමානුකූලව මේ ආර්ථික වර්ධනය ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය නම් රෝගියා ශල්‍යකර්මයක් සිදු කර හිදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ටික කාලයක් ගත වූ රෝගියා සාමන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකියි. 2025 වසර වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් රෝගියා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකි බව මම විශ්වාස කරනවා. 2026 වන විට ටිකට් කපා රෝගියා නිවසට යැවීම අපේ අරමුණයි.

IMF නම් මහ රෝහලට මම කථා කළා. රෝගියා සුවපත් කර ගැනීමට නම් අනුගමනය කළ යුතු කොන්දේසි ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. හදිසියේ අවශ්‍ය වන ඖෂධ සහ ඔක්සිජන් ඔවුන් ලබා දෙනවා. ඒ නිසා ඔවුන්ගේ සහාය නොලැබුණොත් රෝගියා සුවපත් කර ගැනිමට හැකි වන්නේ නැහැ. බදු අඩු කර ආර්ථිකයක් ඉදිරියට ගෙනි යන්න බැහැ. එවිට ආදායම් අඩු වෙනවා. එවිට ඔක්සිජන් අඩු කළා වගේ රෝගියා අවධානමට පත් වෙනවා.

ඒ නිසා රෝගියා සුවය ලබමින් සිටියදී වෛද්‍යවරයා ඉවත් කර සුදුසුකම් නැති වෛද්‍යවරයෙකුට රෝගියා භාර දෙනවද කියන තීරණය මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තීරණය කළ යුතුයි. අද රටේ ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමත් සමග රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. 2026 මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනිමේ මූලික කටයුතු අවසන් කර ගැනීමට මා බලපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපට 2027 වන තෙක් ඒ සඳහා කාලය ලැබී තිබෙනවා.  නමුත් 2025 වසරේදී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් 2026 වසරේ සිට ආර්ථික වර්ධන වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී අප අලුතින් සිතිය යුතුයි. අප අපනයන ආර්ථිකයකට යොමුවීම ඉතා වැදගත් වෙනවා.

කෘෂි නවීකරණය, සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් අප ගෙන යන වැඩපිළිවෙළ මා මෙහිදී සඳහන් කරන්නේ නැහැ. නමුත් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය ගැන අප කතා කළ යුතුයි. ඒ සඳහා රෝහල් පද්ධතිය දියුණු කළ යුතුයි. ලෝක ජනගහණය වැඩිවීමත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන අවස්ථාවන්වලින් අප ප්‍රයෝජන ගත යුතුයි. ඒ වගේම ලෝකයේ වැඩිහිටි ජනගහණය වැඩිවෙමින් තිබෙනවා. ජපානය, කොරියාව, චීනය, සිංගප්පූරුවේ සහ යුරෝපයේ එම අවස්ථාවන් තිබෙනවා. එම අවස්ථා වලින් අප ප්‍රයෝජන ගත යුතුයි.

හෙද වෘත්තියත් දැන් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව අපේ හෙද හෙදියන්ට ලබාදිය යුතුයි. එහිදි නව විෂය මාලා හදුන්වාදෙමින් හෙද පුහුණු විද්‍යාල වැඩි කිරීම සිදු කළ හැකියි. අවශ්‍ය නම් විදේශ කථිකාචාර්යවරුන් වුවත් ලබාදිය හැකියි. ජපානයේ වැඩිවන ජනගහණය සමග ඉදිරියේදී හෙදියන් වෙනුවෙන් ලක්ෂ 02ක පමණ ඉල්ලුමක් ඇතිවිය හැකියි. ඒ වගේම ලංකාවෙත් මේ සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් තිබෙනවා. එහිදී අපට Care Home සංකල්පය ඇති කළ හැකියි. ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශයේ වැඩිහිටි හා ආබාධිත අය වෙනුවෙන් වෙනම අංශයක් පවත්වාගෙන යා යුතුයි.

මෙම කටයුතු ඉටු කිරීමේ දී රෝගියා එකවර සාමාන්‍ය  වාට්ටුවකට දාලා හරියන්නේ නැහැ. ඒ වගේම සාමාජ සේවා ආචාර්යවරයෙකුට රෝගියා භාර දෙන්න එපා. අප සියලුදෙනා එක්ව ලබාගත් ආර්ථික ප්‍රගතිය  ඉදිරියට ගෙන  යමින් රට ගොඩනඟමු.

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

හිස් කොළ කැබැල්ලකට සීමා වී තිබූ හෙද සහතිකයට වටිනාකමක් ලබා දෙමින් හෙද ඩිප්ලෝමාව ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා බලයට පත් වී කෙටි කාලයක් තුළ වසර 29ක් පුරා අප උත්සාහ කළ හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට කටයුතු කළා. රුපියල් ලක්ෂ පනහකටත් වඩා වියදම් කර ලබා ගන්නා උපාධි සහතිකය දැන් මෙරටදීම ලබා ගැනීමේ හැකියාව එමඟින් ලැබී තිබෙනවා.

ඒ වගේම රුපියල් පහළොස් දහසක් වූ හෙද නිල ඇඳුම් දීමනාව රුපියල් තිස් දහස දක්වා වැඩි කර දෙන ලෙස කළ ඉල්ලීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සාධනීය පිළිතුරක් ලබා දුන්නා. ඒ අනුව මේ වසරේ රුපියල් දස දහසක් ලබා දීමට කටයුතු කළා. තවත් රුපියල් පන් දහසක් ලබන වසරේ ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ජනවාරි මාසයේ සිට සිදු කෙරෙන බව ජනාධිපතිතුමා අගෝස්තු මාසයේ දී තහවුරු කළා. මේ කිසිවක් මැතිවරණ පොරොන්දු නොවෙයි.එතුමා දෙයක් කිවුවොත් එය කරන නායකයෙක් බව පෙන්වා තිබෙනවා.

දැන් රැලි හැදී තිබෙන්නේ තරුණ ජීවිත හැට දහසක් පමණ බිලිගත් කණ්ඩායමක් වටායි. එක කොල කැබැල්ලෙන් රෝහල් වසා දැමූ, ජීවිත වල වටිනාකම තඹ දොයිතුවකවත් මායිම් නොකළ කණ්ඩායම් වටා අද රැලි ගොඩ නැඟී තිබෙනවා. එදා ඝාතනය වූ තරුණ ජීවිත අතර හෙද නිලධාරීන්ද සිටි බව අමතක නොකළ යුතුයි.

ජනාධිපති රනිල්වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර ගන්නා විට අප සිටියේ ළිං පතුළකයි. එතුමාගේ දැඩි පරිශ්‍රමය මත අද යන්තමින් ළිං ගැට්ටට පැමිණ සිටිනවා. ඒ ළිං පතුළටම නැවතත් ඇද වැටෙනවාද එසේත් නැත්නම් ඉන් ගොඩ  එනවාද කියා මේ දින කිහිපය තුළ ඔබ තීරණය කළ යුතුයි. මේ රට ගොඩ නැඟිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව එතුමා පෙන්වා දී තිබෙනවා. එදා රට භාර නොගෙන පැන ගියේ එය කළ නොහැකි පිරිසයි. ඔබ කුමන දේශපාලන පක්ෂය ඇදහුවත් මේ යතාර්ථය තේරුම් ගත යුතුයි.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරමින් හෙද හෙදියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Read more