ජීවන වියදම අඩු කරන .. නව රැකියා හා ඉහළ වැටුප් හිමිවන .. බදු සහන ලබාදෙන .. ආර්ථිකය ප්රවර්ධනය කරන සහ සෑම පුරවැසියෙකුටම ඉඩමක් හෝ නිවසක් හිමිකර දෙන වැඩපිළිවෙළ ඇතුළත් : “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්රතිපත්ති ප්රකාශය එළි දැක්වේ

• ඉටු කළ නොහැකි පොරොන්දුවලින් රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට ඉඩ දෙන්න එපා.

• ඉදිරි වසර 05 ශ්රී ලංකාවේ ජයග්රාහී කාලයයි.

• ඉදිරියට ද රට වෙනුවෙන් උපරිමය ඉටු කරනවා.

• අසීරුවෙන් ලබාගත් ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් - රටත් රැක ගමු.

• තරුණ තරුණියන් වෙනුවෙන් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක්.

• පාසැල් හැර යන තරුණ තරුණියන් 50,000කට කාර්මික පුහුණුව ලබා ගැනීම සඳහා කඩිනමින් මූල්ය ප්රතිපාදන .

• දූෂණයට විරුද්ධ න්යාය පත්රය ක්රියාත්මක කිරීමට කමිටුවක්  - ජනපති අවධාරණය කරයි.

තමා රටට පොරොන්දු වන්නේ ලබාදිය හැකි දේ පමණක් බවත්, කළ නොහැකි දේ පොරොන්දු වී රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට සූදානම් නොමැති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 තුළද රට වෙනුවෙන් තම උපරිමය ඉටු කර තරුණ පරපුර වෙනුවෙන් ණය බරින් නිදහස් සංවර්ධිත, දියුණු රටක් උරුම කර දෙන බව අවධාරණය කළේය.

ජීවන බර අඩු කිරීම, රැකියා ලබා දීම, බදු සහන ලබා දීම, ආර්ථික ප්‍රවර්ධනය මෙන්ම උරුමය හා අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සෑම පුරවැසියෙකුටම ඉඩමක සහ නිවසක අයිතිය හිමිකර දීමේ වැඩපිළිවෙළ ද ඊට ඇතුළත් බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය වන “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදක්වමිනි. ඒ වෙනුවෙන් වූ උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

“ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය - 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා”යන ප්‍රධන මුලධර්ම 05කින් සමන්විත “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මෙහිදී ජනාධිපතිවරයා මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වූ අතර අනතුරුව එය රටේ තරුණ තරුණියන් වෙනුවෙන් පිළිගැන්විණි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්රතිපත්ති ප්රකාශය ඇතුළත් www.ranil2024.lk වෙබ් අඩවිය එළි දැක්වීම ද  මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

තරුණ තරුණියන් වෙනුවෙන් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබා දෙන බව පැවසු ජනාධිපතිවරයා තරුණ තරුණයින්ට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා උදා කර තිබෙන බවත් පාසැල් හැර යන තරුණ තරුණියන් 50,000කට කාර්මික පුහුණුව ලබා ගැනීම සඳහා කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවද  පැවසීය.

හොරු ඇල්ලීම ගැන සියලු අපේක්ෂකයන් කථා කළත් ඔවුන් ඒ පිළිබඳ කිසිවක් ඉටු කිරීමට සූදානම් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හොරු ඇල්ලීමට පනතක් ගෙන ආවේ ද තමන් බවත්, දූෂණයට විරුද්ධ න්‍යාය පත්‍රය මේ වන විට සකස් කර, ඇතැම් නීති ගෙනවිත් තිබෙන අතර අනෙකුත් නීති ද සකස් කරමින් සිටින බව පෙන්වා දුන්නේය.

එම කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කමිටුවක් ද පත් කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා නියෝජිතයෙකු බැගින් පත් කරන ලෙස කථානායකවරයාට, වෘත්තියවේදින්ගේ සංගමයට, නීතිවේදින්ගේ සංගමයට, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ආරාධනා කරන බවත් අවශ්‍ය නම් රජයේ නියෝජිතයෙකු ද ඊට පත් කර අදාළ කටයුතු ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම අවස්ථාවට එක්වීම පිළිබඳ මම පළමුව ඔබ සියලුදෙනාට ස්තූතිවන් වෙනවා. මම ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවෙයි. හදිසි අවස්ථාවක අප රට භාරගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන අතරතුර සිදුකරන ව්‍යාපෘති සියල්ල මෙහි ඇතුළත් වෙනවා

අනෙක් අපේක්ෂකයන් වසර ගණනක් ගත වන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙන බව මා දුටුවා. නමුත් මේ අවස්ථාවේදී අපට අවශ්‍ය වහාම ක්‍රියාත්මක කළ හැකි යෝජනා බව කිවයුතුයි. අප සිටින්නේ ආර්ථික වශයෙන් අර්බුදකාරී යුගයකයි.

2022 වසරේ රටේ සිදු වූ අර්බුදය නිසා ආණ්ඩුව භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ.මෙහි සිටින්නේ එම අභියෝගය භාරගත් පිරිසයි. අප 2023 වසර වන විට මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර තිබෙනවා. ඒ වගේම එම ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ඉදිරියට ගෙනවිත් තිබෙනවා. එම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර, ආරක්ෂා කිරීමට  අප අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. එම රාමුව තුළ අප වැඩ කරනවා. විවිධ පොරොන්දු ලබාදී නැවත ආර්ථිකය බිඳ දැමීමට අපට අවශ්‍ය නැහැ.

දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයන්හි උදාහරණ අද අපට දක්නට තිබෙනවා. බංග්ලාදේශය සහ මාලදිවයිනෙහි මේ තත්ත්වය දක්නට ලැබෙනවා. 2022 වසරේ ඇති වූ තත්ත්වය නැවත අපේ රටේ ඇතිකර ගතහොත් තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා.

අපට තිබෙන්නේ මේ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන ගොස් රටේ ආර්ථික පරිවර්තනයක් සිදු කරන වැඩපිළිවෙලට යාමටයි. තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් අප එම නීතිය අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා.

අප පසුගිය වසර දෙක තුළදී මේ රටට ලබාදී ඇති ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට නම් අපනයන ආර්ථිකයකට පරිවර්තනය විය යුතුයි. අලුත් ආර්ථික ප්‍රතිපත්ති දාලා මෙය වෙනස් කිරීමට අවශ්‍ය නැහැ. අපට ගිවිසුම් තිබෙනවා. අප මෙම ගිවිසුම් අනුව ක්‍රියා කළ යුතුයි.

මෙම ප්‍රකාශනය පදනම් කරගෙන තිබෙන්නේ ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇති කරගත් ගිවිසුම මෙන්ම ලංකාව සහ අපට ණය ලබාදුන් නිල ණය හිමියන්ගේ කමිටුවට අයත් රටවල 17ත්, චීනයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් අතර ඇති කරගත් ගිවිසුම යන ගිවිසුම් දෙක අනුවයි. අප ක්‍රියා කළ යුත්තේ මෙම ගිවිසුම් රාමුව තුළයි. මෙම රාමුව තුළ ක්‍රියාකිරීමට තමන් සූදානම් ද කියා මම අනෙක් අපේක්ෂකයන්ගෙන් අහන්න කැමතියි. මේවා සංශෝධනය නොකර ක්‍රියාත්මක කිරීමට කැමතිද කියා මම අහනවා.

ඊට අමතරව මෙම රාමුව තුළ ආණ්ඩුව ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මට මූලික පරමාර්ථ කිහිපයක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ යම් මුලධර්මයන් තුළයි. එම මූලධර්මයේ මූලික කාරණය වන්නේ ථෙරවාදි වෙළෙඳ ආර්ථිකයයි. අනුරාධපුර රාජධානිය සමයේ අපට විශාල වෙළෙද ආර්ථිකයක්ව තිබුණා. රජ රට රාධානිය කඩා වැටුණ අවස්ථාවේදී තවත් ථෙරවාදි රටක් වු තායිලන්තයේ අයෝධ්‍යා රාජධානිය ඇති වුණා.

එම යුගයේ අප කෙතරම් දියුණු වුණාද කිව්වොත් අනුරාධපුරයේ සියළුම වැව් ඉදිකළේ අපේ මුදලින්. මහවැලිය ව්‍යාපාරයට පමණක් විදේශ ආධාර ගැනීමට සිදු වුණා. අද තිබෙන්නේ එම වෙනසයි. අපේ ථෙරවාද වෙළෙඳ ක්‍රමය අද තායිලන්තයේ ක්‍රියාත්මක වෙනවා. වියනාමයයේ ද ක්‍රියාත්මක වෙනවා. අපද එය සම්පූරණයෙන් ක්‍රියාත්මක කරන බව මෙහි යෝජනා කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ මේ රටේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. ඒ පිළිබඳ මට වඩා හොඳට ඔබ දන්නවා. ඒ නිසා ආර්ථිකය දියුණුවන අවස්ථාවේ දී එම වාසිය ජනතාවට ද හිමි විය යුතුයි. ඒ වාසිය ලබා ගැනීම වෙනුවෙන් අප ජනතා අංශය ආරම්භ කර තිබෙනවා. අද උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20 කට ඉඩම් අයිතිය ලබා දෙනවා. කොළඹ රජයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරකට නිවාස අයිතිය හිමි වෙනවා. ඒ වගේම වතුකරයේ ජනතාවට ගම්මාන සහ නිවාස හිමි වෙනවා. මෙලෙස අයිතිය ව්‍යාප්ත කිරීමට අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම මේ රටේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකර ගැනීමට සහනාධාර ක්‍රමයකට අපි ණය ලබාදෙනවා. මධ්‍යම පාන්තියේ ජනතාවටත් ඒ ආකාරයෙන් ණය ලබාදීමට අපේක්ෂා කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජනතා ආර්ථියේ ප්‍රධාන කොටසක් වෙනවා. මෙම අය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 50ක් ලබාදී තිබෙන අතර ඉතිරි ප්‍රතිපාදන ද ලබාදීමට අපේක්ෂා කරනවා.

අපේ ආර්ථික ක්‍රියාදාමය වන්නේ දේශගුණික විපර්යාස අවම කර ගනිමින් කටුයුතු කිරීමයි.

ඒ වගේම ප්‍රධාන කරුණ 05ක් මෙහි ඇතුළත් වෙනවා. පළමැන්න ජීවන බර අඩු කිරීමයි. අප ජිවන බර අඩු කරන්නේ රුපියල සහ ආර්ථිකය ශක්තිමත් කිරිමෙන්.

දෙවැන්න රැකියා ලබාදීමයි, තුන්වැන්න බදු සහන ලබාදීමයි. සිව් වැන්න ආර්ථික ප්‍රවර්ධනයයි. අප ආර්ථිකය අපනයන ආර්ථියකට පරිවර්තනය කරනවා. ඒ වගේම උරුමය සහ අස්වැසුම වැඩසටහන් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරනවා.

මේ අනුව දැන් අප වැඩ කළ යුතුයි. අපි කථා කර කර සිටිය යුතු නැහැ. අලුත් ප්‍රතිපත්ති ගෙනවිත් වාද කිරිමට අවශ්‍ය නැහැ. අලුත් ප්‍රතිපත්ති ගෙනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරමින් කාලය ගත කරනවාද. එදා ජනතාව විඳි දුක අපි අමතක කළ යුතුද. මම අහන ප්‍රශ්නය එයයි.

ඒ නිසා “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේ සම්පූර්ණ වැඩසටහන ඇතුළත් වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ මෙන්ම කඩිනමින් ආරම්භ කළ හැකි වැඩසටහන් එහි ඇතුළත් කර තිබෙනවා.

අපට අවශ්‍ය ජනතාවට සහන ලබාදෙමින් ඉදිරියට යාමටයි. එහිදී අප කෘෂිනවීකරණ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරනවා. එහි මූලික වැඩකටයුතු මේ වන විට සිදුකර අවසන්ව තිබෙනවා. එම කටයුතු අපට වහාම ආරම්භ කළ හැකියි.

සංචාරක ව්‍යාපාරය මිලියන 05ක් දක්වා වර්ධනය කර ගැනීමේ කටුයුතු ද අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. අපට දැන් තිබෙන්නේ මේ වැඩකටයුතු අවසන් කිරීමයි.

දේශීය දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 380ක සිට ලීටර් මිලියන 820 දක්වා වැඩි කිරීම, වගේම කර්මාන්ත නිෂ්පාදනය, ආයෝජන කලාප ඇති කිරීම අප මේ වන විට සිදු කරනවා. බිංගිරිය,  හම්බන්තොට මෙන්ම උතුරු ප්‍රදේශ ඒ වෙනුවෙන් හදුනාගෙන තිබෙනවා. අප මේ කටයුතු සඳහා සූදානම් වී සිටිනවා. ඒ වගේම පුනර්ජනනිය බලශක්තිය නිෂ්පාදනය මෙරට ප්‍රධාන ආර්ථික අංශයක් බවට පත්කරනවා. එපමණක් නොවෙයි ඩිජිටල්කරණය පිළිබඳ නීතිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ඒ වගේම ප්‍රධානම කොටස වන්නේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ඇති කිරීමයි. ඔවුන්ට අවුරුදු 04කින් රැකියා ලබාදීමට නොහැකි වුණා. අපි දැන් දියුණු වන විට රැකියා අවස්ථා ලැබෙනවා. නමුත් ඒ වැඩකටයුතු වෙනුවෙන් වසර 03ක්,04ක් ගත වෙනවා.  පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් ලබාදෙන අතර නවීන කෘෂිකර්මාන්තය සඳහා යොමු වන අයට මුදල් ලබා දෙනවා. ඇතැමුන් සංචාරක ව්‍යාපාරයට කැමතියි. පුහුණුවීම තුළින් එවැනි අවස්ථා උදා කළ හැකියි. ඒ වගේම රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම පාසල් හැර යන තරුණ තරුණියන් 50,000කට අප මුදල් ලබාදෙනවා. ඒ වවුචර්පත අරගෙන තමන් කැමති ඕනෑම ආයතනයකට ගොස් තමන්ට කාර්මික පුහුණුව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. අප මෙම වැඩසටහන හෙට අනිද්දාම ක්‍රියාත්මක කරනවා. අනිත් අය තරුණ තරුණියන් ගැන කථා කළත් කවුරුත් රැකියා ලබා දෙන බවක් කියන්නේ නැහැ. එම වැඩකටයුතු වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය පරිවර්තනයකට ලක් කර නව ආයතනයක් ඇති කරනවා. ඒ වගේම පාසල් මණ්ඩල ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. හිඟුරක්ගොඩට ගුවන් තොටුපොළක් ලබාදීම, වතුකරයේ ගම්මාන ඇති කර නිවාස ඉදිකිරීම ද ආරම්භ කරනවා.

අද සියලුදෙනා හොරු ඇල්ලීම ගැන කථා කරනවා. නමුත් ඔවුන් කිසිවක් කරන්නේ නැහැ. හොරු අල්ලන පනත් ගෙන එන්නේ අපියි. විශේෂයෙන්ම දූෂණයට විරුද්ධව න්‍යාය පත්‍රය සකස් කර තිබෙනවා. ඇතැම් නීති ගෙනවිත් තිබෙන අතර අනිත් ඒවා මේ වන විට සකස් කරගෙන යනවා. තවත් ගෙන එනවා. ඒ පිළිබඳ අනෙක් අය කතා කරනවා. අප ක්‍රියා කරනවා.

ඒ වගේම අදාළ ආයතනවල සිටින නිලධාරින්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට මම කමිටුවක් ද පත් කරනවා.

කථානායකවරයගේ සහ වෘත්තියවේදින්ගේ සංගමයට සහ නීතිවේදින්ගේ සංගමයටත්, වෙළෙඳ සංගමයටත් ඒ සඳහා නියෝජිතයෙකු බැගින් පත් කරන ලෙස කියනවා. අවශ්‍ය නම් රජයේ නියෝජිතයෙකුද මේ සඳහා පත් කළ හැකියි. ඒ නිසා අප හොරු ආරක්ෂා කරනවා කියලා කාටවත් කියන්න බැහැ. කතා කරන්න ලේසියි. අනිත් අය කළේ හැමදාම කථා කරන එක විතරයි.

ඒ වගේම කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ක්‍රියාත්මක කරනවා. හොඳ පාඨමාලාවක් හැදෑරීමට රජයේ සේවකයන්ට වසරක නිවාඩුවක් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති හා කළමනාකරණ විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. කඩිනමින් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි වැඩසටහන් ගණනාවක් තිබෙනවා.

අපි බලන්නේ 2048 දෙසයි. 2048 සියලුදෙනාටම හොඳ අනාගතයක් ලබාදීම අරමුණයි. අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා. වෙන කවුරුත් එය කරන්නේ නැහැ. ඒ නිසයි අපට “පුළුවන්” කියන්නේ. අනිත් අය “බැහැ” කියද්දි අපි “පුළුවන්” කිව්වා. ඒ නිසා අද මෙතනට එන්න පුළුවන් වුණා. “පුළුවන්” කියන අය සමඟ අප ඉදිරියට යා යුතුයි.

මෙය ඉතා පහසුයි. ඔබ ස්විචය ක්‍රියාත්මක කරන්න. අපි සූදානම් ඊළග දවසේ සිට වැඩකරන්න. රට වෙනුවෙන් අපි ඉදිරියට යමු, සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ස්ව්චි එක ක්‍රියාත්මක කරන්න. සැප්තැම්බර් 22 වනදා සිට අපි යළිත් වැඩ ආරම්භ කරන බව ප්‍රකාශ කරනවා.

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන  මහතා ප්රමුඛ  මැති ඇමතිවරු සහ විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more