ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

• වෙනසක් අවශ්ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේමයි.

• තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ.

• දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතුයි - උපකාරක පන්ති ගුරුවරු සමඟ පැවති හමුවේදී ජනපති කියයි.

• මෙතෙක් අප ජනපති රනිල් වෙනුවෙන් ඡන්දය භාවිතා නොකළද අද රටට අවැසි නායකයා ඔහුයි.

• පක්ෂ, පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් - උපකාරක පන්ති ගුරුවරු පවසති.

ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම සහ ජනතාවට ලබාදෙන පොරොන්දු ඉටුකිරීම සඳහා විශාල ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වෙනසක් අවශ්‍ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිවෙකුට අවස්ථාවක් නැති බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ උපකාරක පන්ති ගුරුවරුන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ ඊයේ (13) පැවති හමුව අමතමිනි.

“රට ගැන සිතන ගුරු පවුර” නමින් සංවිධානය කර තිබූ මෙම හමුවට දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් උපකාරක පංති ගුරුවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම හමුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද ජනතාව පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතු බවයි.

රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ ආර්ථිකය ගොඩගැනීමට එක් වන ලෙස තමා අනෙකුත් දේශපාලන නායකයන්ටද ආරාධනා කළ නමුත් ඔවුන් වගකීමෙන් පැන ගිය බව ජනාධිපතිවරයා පැවසීය.

උපකාරක පන්ති ගුරුවරුන් ද මෙහිදී අදහස් දැක්වු අතර ඔවුන් කියා සිටියේ  මෙතෙක් කාලයක් තමන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය භාවිත නොකළද රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා එතුමා වටා ජන මතය පෙළගැස්වීමට එක් වූ බවයි.

පක්ෂ, පාට බේදයකින් තොරව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්වීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවද පෙන්වා දුන් උපකාරක පංති ගුරුවරුන් මෙම අවස්ථාවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැක්කේ  දේශපාලනය තුළ දැනුම් සම්භාරයක් ඇති පරිපූර්ණ නායකයෙක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවද පෙන්වා දුන්හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම මැතිවරණය  ඉතා වැදගත් මැතිවරණයක්. මෙය මේ රටේ සහ ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බව කිව යුතුයි. මේ රටෙ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම වෙනුවෙන් අප කටයුතු කළා. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපට ණය ලබාදුන් රටවල් 18ක් සමඟ ගිවිසුමකට එළැඹුණා. අපි එම ගිවිසුම අනුව ක්‍රියා කරනවද නැද්ද කියා මෙවර මැතිවරණයේ දී තීරණය කෙරෙනවා.

අනෙක් අපේක්ෂකයන් කියනවා මෙම ගිවිසුමට පිටින් කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනුමැතිය ලබා ගන්න පුළුවන් කියලා. නමුත් අද වනතුරු ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කර නැහැ. තිරසාර ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. එකක් අඩු ආදායම්ලාභී රටවල් වෙනුවෙන් සහ අනෙක මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙනවා. එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. ඒක වෙනස් වන්නේ නැහැ. අපට පුළුවන් කරුණු ඇතුළත් කර බැලීමට පමණයි.

අද අනෙක් අපේක්ෂයන් ජනතාව ඉදිරියට පැමිණ අපි මේවා වෙනස් කරනවා කියලා කියනවා. ඔවුන් තවමත් සිදු කරන්නේ පැරණි දේශපාලනයයි. මේ රටේ ආර්ථිකය විනාශ වුණේ එම දේශාපාලන ක්‍රමය නිසයි. ඇත්ත කථා කිරීමට කිසිවෙක් සූදානම් වුණේ නැහැ. පසුගිය මැතිවරණයේ දී මම කිව්වා රටේ ආර්ථික ප්‍රශ්නය විසදන්න ඩොලර් බිලියන 06ක් අවශ්‍යයි කියලා. එය කවුරුත් එදා පිළිගත්තේ නැහැ.

හැම එකක්ම දෙනවා කියලා ජනතාවගේ සිත් සතුටු කිරීම අපේ රටේ දේශපාලන ක්‍රමයයි. ජනතාවට ලබා දෙන පොරොන්දු ඉටු කිරීමට විශාල ලෙස ණය ලබා ගැනීම නිසා අවසානයේ ණය බර දරා ගැනීමට බැරි වුණා. අවසානයේ රටේ ආර්ථිකය බිඳ වැටුණා. ඒ අවස්ථාවේ රටේ නායකත්වය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුනේ නැහැ. පැවති ආණ්ඩුවට ඉවත්වීමට සිදු වුණා. තමන්ගේ දේශපාලන අනාගතය නැතිවෙයි කියලා කවුරුත් රට භාරගත්තේ නැහැ.

අපි මෙම ආර්ථික සහ දේශපාලන ක්‍රමය අලුතින් සකස් කළ යුතුයි. වෙනස කියන්නේ මුහුණු වෙනස් කිරීම නොවෙයි. අපි අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. අපි 2048 අනාගතය දෙස බැලිය යුතුයි. රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අප ඉදිරියට යා යුතුයි.

අපනයනය ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් අපේ සැලැස්මයි. රුපියලේ ස්ථාවරභාවය ඇති කර ආදායම් මාර්ග වැඩිකිරීමට කටයුතු කළයුතුයි. කෘෂි නවීකරණය හරහා අපනයන කෘෂකර්මාන්තයට යොමු විය යුතුයි. ඉදිරියේදී ලෝක ජනගහණය බිලයන 07 සිට 09 දක්වා වර්ධනය වන විට වැඩිවන බිලියන 02ට ආහාර දීමට අප සූදානම් විය යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මෙන්ම නව තාක්ෂණය ලබා දීමට අප කටයුතු කළයුතුයි.

ඒ වගේම අප රට තුළ සමාජ වෙනසක්ද සිදු කළ යුතුයි. අපි අස්වැසුම සහනාධාරය ලබා දුන්නා. ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. අපේ ගොවි ජනතාව අපේ රට සහලින් ස්වයංපෝෂිත කළේ ඉඩමේ අයිතිය නැතිවයි. අපි ඔවුන්ට අයිතිය ලබාදිය යුතුයි. වතුකරයේ ලයින් කාමර නැති  ගම්මාන ඇති කරනවා. ඒ වගේම කාන්තාවන් සවිබල ගන්වනවා. සමාජ සාධාරණත්ව කොමිසම ඇති කරවා. මේ සෑම දෙයකින්ම සමාජයේ විශාල වෙනසක් සිදු වෙනවා. අප ඉදිරියට යනවානම් අප 2048ට ගැළපෙන සමාජයකට යා යුතුයි.

අප හැමදාම සිර වී සිටියේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවාද, තියාගන්නවාද කියන ප්‍රශ්නය තුළයි. නමුත් විධායක ජනාධිපතිකම නැති කරන බවපැවසු සෑම කෙනෙක්ම එය තබා ගත්තා. ඒ නිසා ඒ ගැන වාද කරන්නේ නැතිව රටේ තිබෙන අනෙක් ප්‍රශ්න පිළිබඳ වාද කළයුතුයි. ප්‍රශ්නය තිබෙන්නේ විධායක ජනාධිපති හෝ විධායක අගමැති ධුරය තුළ නොවෙයි. තරුණ තරුණියන්ට රැකියා තිබෙනවාද, ආදායම් තිබෙනවද යන්න මතයි.

දේශපාලනඥයන් හැමදාම මේ ප්‍රශ්නවලින් පැන ගියා. කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මේ සියල්ල පරිවර්තනයකට ලක් කළ යුතුයි. නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. මම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ සියලුදෙනා එක් කර ගනිමින් එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමටයි.

දේශපාලන පක්ෂ අවශ්‍යයි. නමුත් රටට ගැළපෙන ලෙස දේශපාලනය කළ යුතුයි. පවතින දේශපාලන ක්‍රමය නිසා රට නැති වුණා. එදා රටත්, ජනතාවත් අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ වගකීම භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුනේ නැහැ. අප එය අමතක නොකළ යුතුයි. අපි කියනේ නැහැ හොරු පාර්ලිමේන්තුවට යවන්න කියලා. හොරු වගේම වගකීමෙන් පැන යන නායකයන්ද පාර්ලිමේන්තුවට යවන්න හොද නැහැ.

රට ගොඩනැගීමට එක්වන ලෙස මම අවස්ථා කිහිපයකදී  සියලු නායකයන්ට ආරාධනා කළා. නමුත් ඔවුන් පැමිණියේ නැහැ. රට කඩා වැටුණොත් බලය ලබා ගන්න පුළුවන් කියලා ඔවුන් සිතුවා.  රට කඩා වැටුණේ නැහැ.  දේශපාලන, ආර්ථික සහ සමාජ යන අංශ තුනේම පරිවර්තනයක් වෙනුවෙන් අප “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නිසා නැවත 2022 වසරේ පැවති තත්ත්වයට යනවාද, පොලිම්වල සිටිනවාද,  නැත්නම් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යනවාද කියා සිතා මෙවර ජනාධිපතිවරණයේ දි සිය ඡන්දය භාවිතා කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more