ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුම තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිව යුතුයි

• මෙවර ජනාධිපතිවරණය ජනතාවගේ අනාගතය තීන්දු කරණ අවස්ථාවක්.

• තව ටික දවසකින් සජිත් හිසරදයත් නොමිලේ දෙනවා.

•  සටන් පාඨ කියමින් බොරු පොරොන්දු දෙන අයට ජනතාව තම අනාගතය භාරදිය යුතු නැහැ.

• බුදුන් වහන්සේ ද දේශනා කළ පරිදි ජනතාව තම අනාගතයට බලපාන කරුණු බුද්ධියෙන් විමසා බැලිය යුතුයි - ජනපති අනුරාධපුර වෘත්තීයවේදීන්ගේ සහ ව්‍යවසායකයන්ගේ හමුවේදී පවසයි.

“අපි හොරු අල්ලනවා, ඔවුන් හොරු ඇල්ලුවේ නැහැ” වැනි පැරණි දේශපාලන සටන් පාඨ අද රටට වලංගු නැති බවත්, රටේ සහ ජනතාවගේ අනාගතය තීරණය කරන මෙවර ජනාධිපතිවරණයේ දී සෑම අපේක්ෂකයෙකුම රට ඉදිරියට ගෙන යන තම සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනතාවද තම අනාගතය සටන් පාඨ නායකයන්ට භාර නොදිය යුතු  බව අවධාරණ කළ ජනාධිපතිවරයා බුදුන් වහන්සේද වදාළ පරිදි තම අනාගතයට බලපාන කරුණු තර්ක කරමින් බුද්ධියෙන් විමසා බැලීමට ජනතාව පෙරට පැමිණිය යුතු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීයවේදින් සහ ව්‍යාපාරිකයන් සමඟ අද (11) අනුරාධපුරයේ පැවති හමුවකට එක් වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් විමසු ප්‍රශ්නවලට ද ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දෙනු ලැබීය.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

ආර්ථිකයක් කැඩුණු විට රටක් නැති වෙනවා. රජ රට රාජධානිය ඉතා බලවත් රාජධානියක්ව පැවතුනා. නමුත් අර්ථිකය කැඩුණු විට රජ රට රාජධානිය නැති වුණා. ඉන්පසුව අප නැවත තෙත් කලාපයේ රාජධානි ඇති කරගත්තා. ආර්ථිකය නැති වුණොත් රටක් නැති වෙනවා. අපි 2022 වසරේදී ඒ මට්ටමට පත් වුණා. එදා ජනතාවට ජිවත්වීමට නොහැකි තත්ත්වක් ඇති වුණා.

ඒ නිසා මම මේ රටේ වගකීම භාරගත්තා. අනෙක් නායකයන් එම කටයුත්තට අත තබන්න බය වුණා. මගේ දේශපාලන අනාගතය නැති වෙයි කිව්වා. රට නැති වුණොත් කොහොමත් දේශපාලන ආනගතය නැති වෙනවා. දේශපාලන අනාගතයක් තිබීමට නම් රට බේරගත යුතුයි.

රට ගොඩනැඟීමට අප සියලුදෙනා එකතු වුණා. අද අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා.අද ක්‍රමයෙන් ජනතාවට සහන ලැබී තිබෙනවා. ලබන වසරේ තවත් ආදායම් අපට ලැබෙන නිසා බඩු මිල අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට හැකියාව තිබෙනවා. රජයේ සේවකයන්ගේ මෙන්ම පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් ඒ අනුව සිදු වෙනවා.

අපි වසර දෙකක් තුළ රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළා. නමුත් තවමත් සම්පූර්ණයෙන් ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ. ආර්ථිකය නැවත කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අප මේ වැඩපිළිවෙළ තවත් වසර 05-10ක් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා රට තුළ ඇතිකරගත් ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර ගන්නවාද, නැත්නම් ආපසු වැටෙනවද කියා අප මෙවර ජනාධිපතිවරණයේ දී තීරණය කළයුතුයි. ඒ නිසා මේ මැතිවරණය ජනතාවගේ අනාගතය තීරණය කරන මැතිවණයක් බව කිවයුතුයි.

රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට නම් අපට තවදුරටත් ආනයන ආර්ථිකයක රැඳී ඉන්න බැහැ. අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි. අපි ගත් ණය ආපසු ගෙවීමට අපිට දැන් 2042 වසර තෙක් කාලය ලැබී තිබෙනවා. අපි අලුතින් ණය ලබා ගත්තොත් තව වසර 05-10ක් යන විට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.

ඒ නිසා අපි කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ අපි “පුළුවන් ශ්‍රි ලංකා” වැඩසටහන මගින් ඉදිරිපත් කර තිබෙනවා.

ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කරමින් රට අපනයන ආර්ථිකයකට යොමු කිරීමේ වැඩපිළිවෙළ එහි අන්තර්ගත වෙනවා. මෙම කටයුතු සඳහා රුපියල තවත් ශක්තිමත් කර ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවිය යුතුයි.

හිටපු කාෂිකර්ම ඇමති අනුර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස මේ ගැන කතා කරන්නේ නැහැ. දළ දේශීය නිෂ්පාදනය වැඩි වී ආදායම් ශක්තිමත් වන විට බදු බර අඩු වෙනවා. අපි 2025 වසර වන විට මෙම ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

අපේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. එහිදී අප තරගකාරී අපනයන ආර්ථිකයකට යා යුතුයි. ඒ වගේම සංචාරකයන් ප්‍රමාණය දෙගුණයක් බවට පත් කර ගනිමින් ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීමට අප කටයුතු කරනවා. මෙම අනාගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර අපි මේ රට දියුණු කරමු.

නමුත් සජිත් ප්‍රේමදාස හැම දෙයක්ම නොමිලේ දෙනවා කියනවා. තව ටික කාලයක් යද්දි ඔහු හිසරදයත් නොමිලේ දෙනවා. ඔවුන්ට එක් අයවැයක් හදන්න බැහැ.

හර්ෂ ද සිල්වා මේ අපේ ආර්ථික සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කරන විට හැන්දැ වෙනකොට තව එකකින් භාණ්ඩ මිල අඩු කරන බව කියනවා.

ඒ වගේම හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක කියනවා අපනයන ආර්ථිකයකයට යනවා කියලා. නමුත් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. නිදහස් වෙළෙඳ ගිවිසුම් නැතිව පිටරට වෙළෙඳපොළ අවස්ථා ලැබෙන්නේ නැහැ. ඔවුන් එය සිහියේ තබාගත යුතුයි.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති අපනයන ආර්ථිකයකට විරුද්ධයි කියලා මට  නඩු දැම්මා. මට විවාදයකට එන්න කියනවා. අනුර මුලින්ම ඔවුන් අතර විවාදයක් කළ යුතුයි. ඒ නිසා  පළමුව ඔබතුමන්ලා වාද විවාද කර හරි අර්ථික ප්‍රතිපත්තිය රටට කියන්න කියලා මම ඔවුන්ට කිව්වා. ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණකාර අධ්‍යක්ෂවරිය සහ අපි සියලුදෙනා වීඩියෝ තාක්ෂණය ඔස්සේ විවාදයකට එක් වෙමු.

මට අවශ්‍ය මේ රට දියුණු කිරීමයි. ඒ වගේම මේ නායකයන් මෙවන් සංවාද සඳහා ගෙන ආ යුතුයි. අපි හොරු අල්ලනවා, ඔයගොල්ලෝ හොරු ඇල්ලුවේ නැහැ වගේ පරණ දේශපාලන සටන් පාඨ දැන් වලංගු නැහැ. තමන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා සෑම අපේක්ෂකයෙක්ම ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. මේ මැතිවරණය ජනතාවගේ අනාගතය තීන්දු කරණ අවස්ථාවක්. ඒ නිසා ජනතාව තම අනාගතය සටන් පාඨ කියන අයට භාර දිය යුතු නැහැ.

ඔබේ අනාගතයට බලපාන කරුණක් කවුරු හෝ ප්‍රකාශ කළහොත් කරුණාකර ඒ පිළිබඳ තර්ක කර එය හොඳද, නැද්ද කියා තීරණය කරන්න.

බුදුරජාණන් වහන්සේද දේශනා කළේ මෙය මගේ ධර්මය කියා පිළිගන්න එපා තර්ක කරන්න, විමසා බලන්න කියලයි. ඒ නිසා කාට හරි ඇවිත් සටන් පාඨ කියලා, බොරු කියලා යන්න දෙන්නේ නැතිව තමන්ගේ අනාගතය පිළිබඳව බුද්ධිමත්ව තීරණය කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැප්තරම්බර් 21 දා ගෑස් සිලින්ඩරයට ඡන්දය දී අපි රටේ අනාගත වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු.

අමාත්‍ය අලි සබ්‍රි මහතා,

2019 වසරේ තිබුණ රටේ නෙවෙයි අද අපි ඉන්නේ. එදාට වඩා වෙනස් තත්ත්වයක් අද රටේ ඇතිව තිබෙනවා. අපි විපක්ෂයේ එක් දෙයක් ගැන එකඟ වෙනවා. ඒ තමයි අප කළ කිසිම දේකට ඔවුන් අපට කිසිම අගය කිරීමක් කරන්නේ නැහැ. ඔවුන් මේ සම්පූර්ණ කටයුත්ත දෙස බලන්නේ ඉතා කුහක ආකාරයටයි.නමුත් අපට එකඟ විට හැකි එක් දෙයක් ඔවුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. ඒ තමයි, “අපි මේ ඉන්නේ අපායේ ඉන්ටවල් එකක කියලා කිව්වා. ඒක ඇත්ත. අපි ඉන්නේ ඉතාමත් අසීරු ගමනක, ඉතාම වැදගත් සන්ධිස්ථානයකයි. මේ පාරෙම ගියොත් මේක අපට ගොඩ දාගන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් මේක කඩා වැටෙනවා.

රටේ මේ අසීරු තත්ත්වය ඔබ ඔබේ පෞද්ගලික රෝගී තත්ත්වයට අදාළ කර ගෙන බලන්න. ඔබේ රෝගය සුවපත් කිරීම වෙනුවෙන් ඔබ යන්නේ සිටින දක්ෂම වෛද්‍යාවරයා සමඟද එසේත් නැත්නම් අත්හදා බලන වෛද්‍යවරයෙක් සමඟද? කියා මම අහන්න කැමතියි. ඔබට ප්‍රධාන වශයෙන් චරිත තුනක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා මේ ප්‍රශ්නය විසඳන්න හදන්නේ අන්ත බොළඳ ආකාරයටයි. ණය තිරසර විශ්ලේෂණය නැවත සාකච්ඡා කරන බව මාලිමාව කියනවා. එම සාකච්ඡාව සඳහා අපට වසරක් ගතවුණා. ඔවුන් ඒ සාකච්ඡා කරන තුරු ලබන මාස 5ක කාලය තුළ අපට ලැබීමට නියමිත ඩොලර් බිලයන 1.3 නවතිනවා. ඩොලර්ය රුපියල් 400ට ඉහළ යනවා. ඉන් අනතුරුව සිදුවන දේ ඔබට හිතාගන්න පුළුවන් නේද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැමදාමත් කියන්නේ මිනිස්සු අන්දන්න බැහැ කියලයි. ජනතාවට බොරු කියන්න බැහැ කියනවා. එතුමා බය නැතුව අමාරු තීන්දු තීරණ ගත්තා. ඒ නිසා තමයි අද අපි යන්තම් හුස්ම ගන්නේ කියන එක පැවසිය යුතුයි. වෙනස කියන සේ හොඳයි. නමුත් වෙනස විය යුත්තේ කබලෙන් ලිපට නොවෙයි. වෙනසින් ප්‍රකෘතියට පත් විය යුතුයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

අද අප සියලුදෙනා පසුවන්නේ මේ රටේ ආර්ථික ගැටළුව නිරාකරණය කර ගනිමින් තිබෙන අවස්ථාවකයි.  පසුගිය අර්ථික කඩා වැටීම හමුවේ ඔබ සියලුදෙනා අසීරුතාවට පත්වුවා සේම ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට රජය ගත් වැඩපිළිවෙළ තුළ කෙටිකාලීන අපහසුතාවකට පත්වූ බව අප දන්නවා. එම කටයුත්ත රජයේ වගකීමක් ලෙස භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කර ඔබ සියලුදෙනාට ජිවත්විය හැකි රටක් නැවත නිර්මාණය කර දී තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් වැඩසටහන සාර්ථක කර ගැනීමට එතුමා සමත් වුණා. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ අප තවත් බොහෝ දුර යා යුතුයි.

ඒ වගේම තවත් වැදගත් දෙයක් වන්නේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින්ගේ වත්කම් ප්‍රසිද්ධ කිරීමයි. මීට පෙර එවන් තත්ත්වයක් මේ රටේ තිබුණේ නැහැ. අද සෑම දේශපාලනඥයෙක්ම සහ රාජ්‍ය නිලධාරියෙක්ම තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කළයුතුයි. එය ඔබට ඕනෑම අවස්ථාවක බලාගත හැකියි.

ඒ වගේම පාලනය පිළිබඳ ඇගයීමක් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදු කරගෙන තිබෙන ආසියාවේ එකම රට ලංකාවයි.  රටේ පාලනය පිළිබඳ ඇගයීමක් වාර්තාවක් ලබාදී එහි තිබෙන දුර්වලතා ප්‍රකාශ කර ඒ දුර්වලතා නිවැරදි කර ගැනීමට අවශ්‍ය වාර්තාව අපි ලබාගත්තා පමණක් නොවෙයි, ඒ සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම  2024 පෙබරවාරි මාසයේ ප්‍රකාශ කර අවශ්‍ය කටයුතුද අද සිදු කෙරෙමින් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැර වෙනත් දේශපාලන කඳවුරකට මේ තරම් පුළුල්ව මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට අවධානය යොමු කළ හැකිද කියා මා විශ්වාස කරන්නේ නැහැ. මෙම ආර්ථිකය ගොඩනඟන සියලු කරුණු මේවන විට නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සකස් කර තිබෙනවා.

මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන දීර්ඝකාලීන, නැවත කඩා වැටීමක් සිදු නොවන  ආර්ථිකයක් සහ රටක් වගේම ජන ජිවිතයක් ගොඩනැගීමට දැනට ඔප්පු කර තිබෙන හා  ප්‍රතිඵල තිබෙන වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අද මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා.

මේ ප්‍රතිඵල දායක වැඩසටහන බිඳ දමනවද? නැන්නම් මෙය ශක්තිමත් කර ගනිමින් ඉදිරියට ගෙන යනවද කියන තින්දුව මේ රටේ ජනතාව සැප්තැම්බර් 21 වනදා ගත යුතුයි. මේ වැඩපිළිවෙළ කඩා වැටුණොත් නැවත තවත් අවුරුදු 18කට අපට මේ රට පිළිබඳ බලාපොරොත්තුවක් තබන්න බැහැ.

මෙම හමුවේදී වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් මතු කළ ප්‍රශ්නවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු

ප්‍රශ්නය  

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වල ගාල් කර ඇති වාහන” අමතර කොටස් වලට හෝ ප්‍රතිනිර්මාණය කර ධාවනයට යොදා ගැනීමට අවස්ථාව ලබා දිය හැකිද?  

පිළිතුර

අමතර කොටස් නිෂ්පාදනය කිරීම හෝ අලුත්වැඩියාව ලාභදායිකව කරන්න පුලුවන්. නමුත් සහන දීම අමාරුයි. ඒ වගේම ලබන වසරේ සිට යළිත් වාහන ආනයනයට අවස්ථාව ලබා දෙනවා.

ප්‍රශ්නය

ජනාධිපතිවරණ වේදිකාවල සොරකම නවත්වන බව වගේම සොරාගත් මුදල් ආපසු ගන්න බව කියවෙනවා. ඒ අනුව අධිකරණයෙන් පිටත රාජ්‍ය නායකයෙකුට මේ ආකාරයට නීතිය අතට ගත හැකිද?

පිළිතුර

කවුද හොරු අල්ලන්න ඉන්නේ? ඒ ගැන චෝදනා කරන අයට මම කියන්නේ ජී. එල් පීරිස්ගෙන් අහලා ගිහින් හොරු අල්ලගන්න කියලයි. තව උදව්වක් අවශ්‍ය නම් නාලක ගොඩහේවා ගෙන් අහගන්න. එයා කියයි කොහෙද හොරු ඉන්නේ කියලා.

මේක විහිළුවක්. හොරු අල්ලනවා නම් වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. චෝදනා කරන අයට එවන් වැඩපිළිවෙළක් තිබෙනවාද? මා අගමැති වූ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධුරයට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකඟත්වයක් තිබුණා. හොරු අල්ලන වැඩසටහනට අධ්‍යක්ෂකවරයෙක් පත් කිරීමට අවශ්‍ය බව ඔවුන් කිව්වා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආනන්ද විජේපාල පත් කළා. දැන් හොරු ඇල්ලුවේ නැහැ කියලා අපට චෝදනා කරනවා. ඒකට මම මොකක්ද කරන්නේ. ඔහු නීතිඥයෙකු හෝ පොලිස් නිලධාරියකු නොවෙයි. එසේ නම් ආනන්ද විජේපාල පත් කළේ ඇයි කියලා අහන්න වෙනවා. නීතියට අදාළ නොවන පිරිසක් පත් කළේ ඇයි? එතුමා තෝරා ගත් ලිපි තමයි අපට යොමු කළේ. එසේ නම් වෙන කාටවත් දොස් කියන්න බැහැ.

හොරු අල්ලන්න ආයතන තිබෙනවා. අපේ වගකීම වන්නේ ඒ සඳහා අවශ්‍ය නීතිය සකස් කර  පහසුකම් සැපයීමයි. අප විසින් දූෂණ විරෝධි පනත ගෙනවිත් තිබෙනවා. නමුත් එයින් පමණක් මේ කටයුතු කරන්න බැහැ. අපරාධවලින් උපයා ගත් මුදල් අප නැවත අය කර ගන්නේ කොහොමද? ඒ සඳහා අපරාධයකින් උපයාගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. අයි. එම්. එෆ් සංවිධානයේ විශේෂඥයින් විසින්ද යෝජනා ගණනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී වැඩසටහන තිබෙනවා. මේ කිසිවක් වෙනත් කිසිම අපේක්ෂකයකු ඉදිරිපත් කර නැහැ. අනුරගේ හෝ සජිත්ගේ වැඩපිළිවෙළහි මේවා නැහැ. බඩු මිල අඩු කරනවා, හොරු අල්ලනවා කියන දෙකෙන් තමයි ඔවුන් මේ ඡන්දේ කරන්න යන්නේ.

ප්‍රශ්නය  

උපයන විට ගෙවන බදු අනුපාතය ඉහළ යාම අපේ පසුම්බියට විශාල බලපෑමක් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කිරීමට කැමතියි.

පිළිතුර

අප වැට් වැඩි කිරීම ඇතුළු සිදු කළ කටයුතු නිසා ඇති වූ තත්ත්වය දන්නවා. නමුත් එහිදී රටට ආදායමක් ලැබුණ නිසා ණය ලබා නොගෙන රුපියල ශක්තිමත් කිරීමට හැකි වුණා. ඒ වගේම උපයන විට ගෙවන බදු පිළිබඳ අප ක්‍රමවේදයක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කර ගෙන යනවා. ඒ සමඟ මේ පිළිබඳ සමාලෝචනයක් සිදු කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අයි. එම්. එෆ් හා අප අතර එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. ඒ අනුව දෙපාර්ශ්වය විසින්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. යෝජනා සමාලෝචනය කර එකඟත්වයකට එනවා. සමහරු අහනවා කොහොමද කොන්දේසි මාරු නොකර සංශෝධන කරන්නේ කියලා. අපි කොන්දේසිවලට පටහැනිව ක්‍රියා කරන්නේ නැහැ. සමාලෝචනයක් සිදු කර අවශ්‍ය සංශෝධන සිදු කර ගැනීමට අවස්ථාව තිබෙනවා.

ප්‍රශ්නය

පළාත්බද ව්‍යවසායකයින් සඳහා සහ පළාත්වල ආයෝජන දිරිගැන්වීම සඳහා ඔබතුමා සතු සැලසුම් මොනවාද?

පිළිතුර

අපේ පළාත්වල විවිධ ආර්ථිකයන් තිබෙනවා. අප එය මේ දක්වාම පිළිගෙන නැහැ. රජය සමඟ තම පළාතේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අප පළාත් සභා සවිබල ගන්වනවා. සෑම තීරණයක්ම කොළඹ සිට ගැනීම ප්‍රායෝගික නැහැ. එනිසා ආර්ථික සංවර්ධනය සඳහා පළාත් සභා සවිබල ගැන්වීම වැදගත් වෙනවා. මේ ප්‍රදේශයට අදාළව සැලකීමේදී කෘෂිකර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා.

ප්‍රශ්නය  

හබරණ සංචාරක කලාපයක් බවට පත්  කරන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පිළිතුර

මා ඉදිරිපත් කර තිබෙන නව වැඩසටහන යටතේ හබරණ පමණක් සංචාරක කලාපයක් බවට පත් කළ නොහැකියි. නමුත් මම මුළු ලංකාවම සංචාරක කලාපයක් බවට පත් කරනවා. ඒ අනුව සෑම පළාතකටම සංචාරක මණ්ඩලයක් ලබා දීමටද කටයුතු කරනවා.

ප්‍රශ්නය

අපේ සේවක පිරිස් ඔවුන්ගේ ආදායමෙන් හරි අඩක් පමණ දරුවන්ගේ උපකාරක පන්ති සඳහා වියදම් කරනවා.දරුවන්ද විශාල වශයෙන් උපකාරක පන්තිවලට යොමු වී තිබෙනවා. දරුවන්ගේ සාරධර්ම පිරිහී තිබෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කර පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ව්‍යවසායකයින් ලෙස අපට ලබාදී ඇති රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිනවා.

පිළිතුර

උපකාරක පන්ති ඇතිවී තිබෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩුපාඩු නිසායි. නමුත් දැන් තත්ත්වය වී තිබෙන්නේ පාසල් ගුරුවරුම උපකාරක පන්ති පැවැත්වීමයි. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. අතීතයේ උපකාරක පන්ති විෂයන්වලට සීමා වුණා. පාසලේ අධ්‍යාපන කටයුතු අවසන් වී ඒවාට යොමුවීමේ හැකියාව එදා තිබුණා. අද තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක පවතිනවා. ඒ නිසා ගුරුවරුන්, උපකාරක පන්ති ගුරුවරුන් ඇතුළු සියලුම කණ්ඩායම් එක් කරගනිමින් මේ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබෙනවා. සෑම දෙයක්ම පාසල කේන්ද්‍රගතව සිදු විය යුතුයි. නමුත් අද පාසල නැතිවෙන තත්ත්වයට පැමිණ තිබෙනවා. ඒ නිසා පාසල් ආරක්ෂා කරගත යුතුයි. ගුරුවරුන් පාසලට පැමිණෙන්නේ නැතිව වැඩ වර්ජනයේ නිරත වෙනවා නම්, ජනතාව තමන්ගේ දරුවන් උපකාරක පන්ති වෙත යොමු කරවනවා. ඒ වගේම උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, වාණිජ කටයුතු සඳහා භාවිත කරන ඉඩම් 99 අවුරුදු බදු පදනම හෝ දීර්ඝ කාලීනව බදු දීමට අප කටයුතු කරනවා.

Read more