මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

• ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමට නම් රජයක් තිබිය යුතු අතර නීතිය, සාමය හා ස්ථාවරභාවය ද ආරක්ෂා විය යුතුයි.

• පසුගිය ආර්ථික හා දේශපාලන කඩා වැටීම හමුවේ නව දේශපාලන සංස්කෘතියක් රටේ නිර්මාණය වුණා.

• මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ‍දෙදෙනාම වෙනසක් ගැන කතා කළද ඔවුන්ගේ ක්‍රියාවේ වෙනසක් නැහැ.

• කඩිනම් සමාජ, ආර්ථික හා දේශපාලන වෙනසක් වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සිවිල් සමාජ ශක්තිමත් කරනවා - ජාතික ප්‍රජා නායක සමුළුව අමතමින් ජනපති පවසයි.

තමා සෑමවිටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය අරගලය අවස්ථාවේ ජනතාවගේ නිදහස සහ රටේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ට පියවර ගැනීමට සිදු වූ බවත්, සිවිල් නිදහස නැති කරන බවට ඇතැමුන් තමන්ට චෝදනා කළද, එදා තමා ගත් පියවර නිසා අද රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් මැතිවරණයක් ද පැවැත්වීමට හැකියාව ලැබී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (12) පැවති ජාතික ප්‍රජා නායක සමුළුව අමතමිනි.

ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා වූ ජනතා ව්යාපාරය සංවිධානය කළ ජාතික ප්රජා නායක සමුළුවට දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ප්රජා නායක නායිකාවන් පන්සියයකට වැඩි පිරිසක් එක්ව සිටි අතර ජාතික ප්රජා නායකයන් විසින් සකස් කරන ලද “යහපත් සමාජයක් සඳහා” වන යෝජනාවලිය ද මෙහිදී  ජනාධිපතිවරයා වෙත  පිළිගැන්විණි.  

ජාතික ප්රජා නායක සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාවගේ නිදහස හා මූලික ආයතිවාසිකම් ආරක්ෂාවීමට රජයක් තිබිය යුතු අතරම නීතිය, සාමය හා ස්ථාවරභාවය ද ආරක්ෂා විය යුතු බවයි.  

පසුගිය වසර දෙක තුළ මෙරට සිදුවූ ආර්ථික සහ දේශපාලන කඩා වැටීම හමුවේ නව දේශපාලන ක්‍රමයක් රට තුළ නිර්මාණය වුවද අවාසනාවකට මෙවර ජනාධිපතිවරණයේදී ද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතීත භාෂාවෙන්ම දේශපාලනයේ නිරත වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් වෙනසක් ගැන කතා කළද ක්‍රියාවේ කිසිදු වෙනසක් නැති බව ද පැවසීය.

මෙරට සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනස සිදු කළ හැකි වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මඟින් ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සිවිල් සමාජ ශක්තිමත් කරන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද ඔබේ සංවිධානයේ වාර්තා සියල්ල මා වෙත භාර දුන්නා. ඒ පිළිබඳ අවධානය යොමුකර එම යෝජනා ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා. වසර දෙකකට පෙර පැවති අරගලය නිසා රටේ විශාල විපර්යාසයක් සිදු වුණා. එදා ආර්ථික ක්‍රමය වගේම මෙරට දේශපාලන ක්‍රමයත් කඩා වැටුණා. රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. අරගලය නිසා පිඩාවට පත් වූ ජනතාව බේරා ගැනීමට මෙන්ම රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මට පියවර ගණනාවක් ගැනීමට සිදු වුණා. ඇතැම් අය ඒ  සම්බන්ධව විවේචනය කළා. සිවිල් නිදහස නැති කළා කිව්වා. ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාවයක් ඇතිව මම සෑමවිටම ක්‍රියා කළා. අද රටේ නිදහස තිබෙනවා, මැතිවරණයකද පැවැත්වෙනවා. අපි එම පියවර නොගත්තා නම් අපට අද බංගලාදේශය මුහුණදී තිබෙන තත්ත්වයට මුහුණදිමට සිදු වෙනවා.

අපේ නිදහස හා මූලික අයිතිවාසිකම් ආරක්ෂාවීමට නම් රජයක් තිබිය යුතුයි. ඒ වගේම රටේ නීතිය, සාමය හා ස්ථාවරභාවය තිබිය යුතුයි.

ඉතිහාසයේ සිට අපේ රටේ ආණ්ඩුව සහ විපක්ෂය හැප්පිලා තිබෙනවා, විවේචනය කර තිබෙනවා. නමුත් කිසි විටෙක විපක්ෂ නැති කිරීමටවත් මැතිවරණ ප්‍රතිඵල අනුව බලය නොදී සිටීමටවත් කටයුතු කර නැහැ. 1931 සර්ව ජන ඡන්ද ක්‍රමය ආරම්භ වූ දා සිට අප එම වාර්තාව තබා තිබෙනවා. අපි රටක් ලෙස ඒ පිළිබඳ ආඩම්බර විය යුතුයි. අපේ රටේ එම තත්ත්වය ආරක්ෂා වුණේ මෙරට සිවිල් සමාජවල වගකීම නිසි ලෙස ඉටුවීම නිසයි.

පසුගිය වසර දෙක තුළ අපේ රටේ ආර්ථික සහ දේශපාලන ක්‍රමය කඩා වැටුණා. දේශපාලන පක්ෂ කැඩී ගොස් නව ක්‍රමයක් නිර්මාණය වුණා.

නමුත් අවාසනවකට මෙවර ජනාධිපතිවරණයේදි බොහෝ දෙනා කටයුතු කරන්නේ අතීත රාමුව තුළයි. ඔවුන් අතීත භාෂාවෙන්ම දේශපාලනය කරනවා. ඔවුන්ගේ වෙනසක් නැහැ.  සමාජ වෙනස ඇති කරන්නේ කෙසේද කියා අප “පුළුවන් ශ්‍රි ලංකා” වැඩසටහන මඟින් ඉදිරිපත් කර තිබෙනවා.

අප අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමට වගේම කිසිවෙකුට යටත් නොවි තමන්ගේ සුදුසුකම අනුව එය ලබා ගැනීමටයි. ඒ වගේම අප උරුමය වැඩසටහන ක්‍රියාත්ම කළා. ඒ යටතේ ලක්ෂ 20කට සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන නිසා ගම්වල ආදායම වැඩි වී දුප්පත්කම අඩු වෙනවා. වතුකරයේ ලයින් කාමර ගම්මාන බවට පත් කර ඉඩම් අයිතිය ලබා දීමට අප කටයුතු කරනවා. කාන්තාවන් සවිබල ගන්වනවා. කුලය සහ පන්තිය දෙස බලන්නේ නැතිව සමාජ සාධාරණත්ව කොමිසම ඇති කරනවා. මේ සියල්ල එක් වූ විට විශාල සමාජ පරිවර්තනයක් සිදු වෙනවා.

ඒ වගේම අප රට අපනයන ආර්ථිකයක් කරා ගෙන යනවා. අපනයන ආර්ථිකයක් යනු මුදල් තිබෙන ආර්ථිකයක්. ඒ වගේම  ඩිජිටල් ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාම අපේ සැලැස්මයි. ඒ වගේම අප උද්ධමනය පාලනය කරනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා. ඔබේ ආදායම් වැඩි වෙනවා. මේ සියල්ල සමඟ විශාල සමාජ ආර්ථික පරිවර්තනයක් සිදු වෙනවා.

අප පළමු දශකය තුළ මෙම සමාජ හා ආර්ථික පරිවර්තනය සිදු කරනවා. අප ගමන් කළ යුත්තේ ඒ තත්ත්වයටයි. මෙම සමාජ පරිවර්තනය දේශපාලන ක්‍රමයට සීමා කරන්න බැහැ.

ඡන්ද ක්‍රමය හා දේශපාලන පක්ෂ ක්‍රමය ගැන යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මම හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ කොමිසමක් පත් කළා. එම කොමිසමට යෝජනා 87ක් ඉදිරිපත් වී තිබෙනවා. සමස්තයක් ලෙස එය ක්‍රියාත්මක කළොත් රටේ තවත් විශාල පරිවර්තනයක් සිදු වෙනවා.

අවාසනාවකට කිසිදු දේශපාලන පක්ෂයක් මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම ජනසභා ඇති කිරීමට අප කටයුතු කර තිබෙනවා. ප්‍රාදේශීය  මට්ටමෙන් අදහස් ලබාගෙන ඒවා ජාතික මට්ටමින් සාකච්ඡා කරනවා. සිවිල් සමාජය සහ දේශපාලන ක්‍රියාකාරින් එකතුවන තැනක් ලෙස ජන සභා ක්‍රමය හැඳින්විය හැකියි.

මේ සියල්ල සමඟ අප සමාජ පරිවර්තනයක් සිදු කරනවා. එහි මූලික වගකිමක් ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා තිබෙන විවිධ සමිති සංවිධානවලට පැවරෙනවා. එම කණ්ඩායම සිවිල් සමාජයයි. මගේ බලාපොරොත්තුව එම රාමුව ඇති කිරීමයි. එම වගකීම් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සිවිල් සමාජවලට පැවරෙනවා. විශේෂයෙන් බිම් මට්ටමේ සිවිල් නායකත්වයක් තිබිය යුතුයි. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දේශපාලන නියෝජිතයන් අවශ්‍යයි. එම වැඩකටයුත්ත “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනින් ඉදිරිපත් කර තිබෙනවා.

අපි අනාගතය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අතීත දේශපාලනයේ යෙදී ඵලක් නැහැ.  නැති භාණ්ඩ වෙන්දේසි කර වැඩක් නැහැ. ඒ නිසා සාකච්ඡා කරමින් අප වැඩකටයුතු කළයුතුයි. එවන් සමාජයක් ඇති කිරීමට අප සියලුදෙනා එක්වෙමු කියා මම ආරධනා කරනවා.

මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, පිලිප් දිසානායක, උතුරු පළාත නියෝජනය කරමින් කේ. එල් නිරෝෂන්, නැගෙනහිර පළාත නියෝජනය කරමින් ඒ.ඩී.බී.ඒ.එස්. අබ්බාස්, වතුකරය නියෝජනය කරමින් එස්.ටී ගනේෂලිංගම්, හේමප්‍රිය කවිරත්න, නීතිඥ ධනුක කහඳගමගේ, උසාමා ලියව්දීන්, සහ තිලක් කාරියවසම් යන මහත්ම මහත්මීහු මෙහිදී සිය අදහස් දැක්වූහ.

Read more