රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගන්නවාද? ආපසු ඇද වැටෙනවාද? : ජනතාව තීරණය කළ යුතුයි

• රටට අනාගතයක් නැති බව පවසමින් අනෙක් නායකයන් පැන යද්දි මා අසීරුවෙන් රටේ ආර්ථිකය ගොඩනැඟුවා.

• ජනතාවට පොරොන්දු වූ පරිදිම ඉදිරියේදීත් සහන ලබා දෙනවා.

• රට ඉදිරියට ගෙන යන මාර්ගය “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනින් ඉදිරිපත් කර තිබෙනවා.

• අපනයන ආර්ථිකයක් ගැන කියමින් අද අනුර ආණ්ඩුවේ බෙරය ගහනවා.

• ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය ඔවුන්ගේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතුයි - ජනපති හිනිදුමදී කියයි.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තමා අලුත් ගමනක් ආරම්භ කළ බවත් එම ගමන ඉදිරියට ගෙන ගොස් ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගන්නවාද, නැත්නම් ආපසු රටක් ලෙස ඇද වැටෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ රටට අනාගතයක් නැති බව පවසමින් අනෙක් නායකයන් පැන යද්දි තමා අසීරුවෙන් රටේ ආර්ථිකය ගොඩගත් බවත් රටේ ජනතාවට පොරොන්දු වූ පරිදිම ඉදිරියේ දී තවත් සහන සලසාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (06) පස්වරුවේ හිනිදුම ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ  අපනයන ආර්ථිකයක් ගැන තමන් කථා කරන විට එදා ඊට විරුද්ධ වූ අනුර කුමාර දිසානායක අද අපනයන ආර්ථිකයකට යොමු වන බව පවසමින් ආණ්ඩුවේ බෙරය වාදනය කරන බවයි.

එබැවින් ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න රටට ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මේ රටේ නිදහස ලබා ගැනීම වෙනුවෙන් ඩී.එස්. සේනානායක මැතිතුමා සහ බණ්ඩාරනායක මැතිතුමා එක්ව එක්සත් ජාතික පක්ෂය ගොඩනැඟුවා.  නිදහස ලබා ගැනීමෙන් පසුව ඔවුන් වෙන් වුණා. දැන් නැවත රටට ආර්ථික නිදහස ලබා ගැනීම වෙනුවෙන් අපි සියලුදෙනා එක් වෙලා පුළුවන් ශ්‍රී ලංකා වේදිකාවට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ අපි ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන නායකයන්ගෙන් ඉගෙන ගත්තේ ඇත්ත කියන්නයි. කොච්චර තිත්ත වුණත් රටට ඇත්ත කිව යුතුයි, එහිදි කිසිවිටෙක  පැනලා යන්න එපා කියලා එතුමන්ලා අපට කියලා දුන්නා.

අපි මේ රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අලුත් ගමනක් ආරම්භ කළා. ඒ ගමන ඉදිරියට ගෙන ගොස් ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ඉදිරියට යනවද, නැන්නම් ආපහු වැටෙනවද කියා අප තීරණය කළ යුතුයි. “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන ඉදිරිපත් කර තිබෙන්නේ රට ඉදිරියට යන මාර්ගය පෙන්වීම වෙනුවෙනුයි.

ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම, අපනයන ආර්ථිකයක් ඇති කිරීම සහ උරුමය හා අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යාම  යන කරුණු 05 ඔස්සේ අප එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

විපක්ෂය කියන විදියට බදු අඩු කරලා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බදු අඩු කිරීම නිසා තමයි අපට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණේ. එහෙම නම් රුපියල ශක්තිමත් කරගෙන තවත් සහන ලබාදීමට අප කටයුතු කරනවා. ඉදිරි වසර තුළදි රුපියල තවත් ශක්තිමත් වෙනවා. ජනතාවට තවත් සහන ලැබෙනවා. අප මෙම මාර්ගය වෙනස් කළොත් නැවත රට වැටෙනවා.  අපි ජනතාව පොරොන්දු වු පරිදි එම සහන ලබාදීමට කටයුතු කරනවා.

මේ ප්‍රදේශයට නව බෝග වගාවන් සිදු කිරීමට සහනාධාර ලබාදී අලුත් කෘෂි ආර්ථිකයක් ලබාදන බව මා ප්‍රකාශ කරනවා. ඒ වගේම කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, තරුණයන්ට රැකියා ලබාදිමටත් අප පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම ගාල්ල ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සමඟ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ද ආදායම් මාර්ග ඉහළ යනවා. මෙම කටයුතු සමග අප අපනයන ආර්ථිකයක් ඇති කර රටේ ආදයම් ඉහළ නංවා ගනිමින් ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නංවනවා.

මා අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට විපක්ෂය එදා විරුද්ධ වුණා. නමුත් අද අනුර කුමාර දිසානායකත් අපනයන ආර්ථිකයකට යන බව ප්‍රකාශ කරනවා. එය ඉතා හොඳ තත්ත්වයක්. අනුර අද ආණ්ඩුවේ බෙරයම වාදනය කරනවා. ඒ නිසා ඔවුන්ගේ සැබෑ ප්‍රතිපත්තිය රටට කිවයුතුයි.

බොරු කියන්න එපා. තමන් කරන්නේ මොකකක්ද කියලා රටට කියන්න. මෙහෙම කියන්න බැරි අය විශ්වාස කරන්න බැහැ.

අපි මේ රට ගොඩගත්තේ අමාරුවෙන්. අනිත් නායකයන් රටට අනාගතයක් නැහැ කියා පැන ගිය අවස්ථාවේ අපි අමාරුවෙන් මේ රට ගොඩගත්තා. අප රට තුළ ඇති කරගත් මේ ආර්ථික ස්ථාවරත්වය යළිත් නැති කර ගන්නවද, නැත්නම් අප සියලුදෙනා එක්ව මේ රට ගොඩගන්නවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

පසුගිය දින තුනෙහි පැවති තැපැල් ඡන්ද විමසීමේදී බහුතරයක් රාජ්‍ය සේවකයින් සිය ඡන්දය පාවිච්චි කර ඇත්තේ ගෑස් සිලින්ඩරයට බව අපට විශ්වාසයි.

රතු සහෝදරයෝ කියනවා තැපැල් ඡන්දය ඒ ගොල්ලන්ට කියලා. රාජ්‍ය සේවකයෝ ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්නේ කොහොමද? රාජ්‍ය සේවය පුඵල් කලේ , ස්ථාවර කලේ අපේ රජයන් යටතේ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද රාජ්‍ය සේවකයින්ට වැටුප් හා දීමනා වැඩි කර දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.

එතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දේශීය ආර්ථික විශේෂඥයෝ සෑම කෙනෙක් එක්කම සාකච්ඡා කරලා දෙන්න පුලුවන් උපරිම මුල්‍ය වේතනය සකස් කරලා තියෙනවා ජනවාරී මාසයේ සිට ලංකාවේ රාජ්‍ය සේවකයෝ ඉතාම ඉහළ වැටුප් ගන්න පිරිසක් බවට පත් වෙනවා. ඔවුන් කෘතගුණ දන්න පිරිසක්. ඔවුන් ඡන්දය දුන්නේ ගෑස් සිලින්ඩරයට.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත්, අපේ ආණ්ඩුවටත් පහුගිය අවුරුදු දෙකේ විශේෂ කාර්යභාරයක් පැවරී තිබුණා. මොකක්ද ඒ කාර්යභාරය? ‍ මේ රටේ ජනතාව ගෑස් නැතුව, විදුලිය නැතුව, පෙට්‍රල් ටික නැතුව, ඖෂධ නැතුව, පොහොර නැතුව පීඩාවට පත් වුණා.  .රට අසරණ වුනා. ලෝකය අසරණ වුනා. මොනතරම් අසරණකම් තිබුනත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ රජය ජනතාවට යුතුකම් ඉෂ්ඨ කලා. ලංකාවේ ජනතාවගේ ජීවිත බේරුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,

එක්සත් ජාතික පක්ෂයට අදට වසර 78යි . වසර 70 පිරෙන කොට අපේ පක්ෂ තනි අසුනට වැටුණත්. ඒ තනි අසුන මන්ත්‍රී ධුරයත් අගමැති ධුරයත් ජනාධිපති ධුරයට පත් කරන්න අපි දීර්ඝ කාලයක් උත්සාහ කළා. ඒ බලාපොරොත්තුව ඉටු වී දැනි වසර දෙකක් ගත වී තිබෙනවා.

ඇද වැටුණු රට ගොඩ ගන්න අපි අද එක වේදිකාවක එකට එකතු වෙලා ඉන්නවා.    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දී මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති බවට පත්  කළා. සිරිසේන මහතා ජනාධිපති කරන කොට කළුතර පරාදයි,  නමුත් ජනාධිපති සිරිසේන. ගාල්ල පරාදයි, ගාල්ල ආසනය දිනුවා.

පසුගිය දා සජබේ රැස්වීමක් සමනල පාලම ළඟ  තිබුණා. අසාර්ථකයි. සෙනඟ නැහැ. ඡායාරූප ගහන්න එපා කියනවා  පුටු හිස්.  

මහා ජනාගඟක් කතිරය ගහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන්න. රමේෂ් පතිරණ මැතිතුමා මහතා සහ මම  ගාල්ලේ රැස්වීම් තිබ්බා ගාල්ලේ අගනුවර දිනුම්. මහින්ද මහතා ඉල්ලුවා. මහින්ද මහතා දෙවෙනි වර ඉල්ලුවා. එත් ගාල්ල දිනුවා. ගෝඨාභය මහතා ඉල්ලුවා. සජිත් මහතා මම  එක්කන් ඇවිත් වැඩි ඡන්ද 5000 කින් ජයග්‍රහණය කරලා දුන්නා. තිස්සමහාරාමයේ වැඩි ඡන්ද 75000කින් පරාදයි.

අද මමත් රමේෂ්, සම්පත් මන්ත්‍රීතුමා ඇතුළු අපි කියන්නේ ගාල්ල නගරයෙන් වැඩි ඡන්ද 10,000 කින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබලා දෙන ලෙසයි.

සැප්තැම්බර් 22 වෙනිදා අපි නැවත වැඩ කරන්න ශක්තිමත් ආණ්ඩුවක් තිබෙනවා. ඒ වගේම රට වැටුණ බව ඇත්ත. වැටුණු රට ගොඩ ගත්තෙත් ජනාධිපතිතුමා සහ  පොදු ජන එක්සත් පෙරමුණ එක්ව බව කිව යුතුයි.

ලබන 18 වෙනිදා අවසාන මහ රැළිය සමනල පාලම ළඟ පැවැත්වෙනවා.මේ රැළි වලින් පස්සේ 21 වෙනිදා ඡන්ද දමන්න ගිහින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා  ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනවන්න. නියත වශයෙන් මධ්‍යම රාත්‍රියේ මේ රටේ නියත ජනාධිපති  රනිල් වික්‍රමසිංහ  මැතිතුමා බව අපට විශ්වාසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා,

මේ හිනිදුම්පත්තුවේ ඉන්නේ අව්ව වැස්ස හා මහ පොළොව සමඟ ඔට්ටු වෙන ජනතාවයි. ඔබතුමා මීට වසර දෙකකුත් මාස තුනකට පෙර මේ රටේ ජනාධිපතිධුරය භාර ගන්නා විට මේ ජනතාව ඔබතුමාගෙන් මහා ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නැහැ.

ඔවුන් ඉල්ලුවේ තේ වගාවට පොහොර දෙන්න කියලා විතරයි. යූරියා කොට්ටයක් ගන්න මේ ජනතාව විඳපු දුක දන්නේ ඔවුන් පමණයි.  රුපියල් හතලිස් දාහටත් යූරියා කොට්ටයක් ගන්න තිබුණේ නැහැ. කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ගැන නැවත සළකා බලන්න කියලා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 43  දෙනෙකුගෙන් අත්සන් අරන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් අපි ජනාධිපතිධුරයට පත් කළ එතුමාගෙන් මේ ජනතාව වෙනුවෙන් සහනයක් ගන්න මට හැකි වුණේ නැහැ.

ඔබතුමා ජනාධිපතිධුරයට පත් වන  විට රටේ ජනතාවගේ පළ වූ බලාපොරොත්තුව වුණේ නීතිය ස්ථාපිත කිරීමයි. එදා ඔබතුමා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවට ඒ ශක්තිය ලබා දීම වෙනුවෙන් ඊයේ පෙරේදා පැවැත්වුණ තැපැල් ඡන්දයෙන් ඔවුන් ඔබතුමාට කළ ගුණ සළකා තිබෙනවා. මාලිමාවේ කටු ගැළවුණේ, දුරකතනයේ වයර් ගැළවුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තැපැල් ඡන්ද 60%කට වැඩිය ලබා දීමත් සමඟයි.

එදා ගිනි තැබීමට උත්සාහ කළ පාර්ලිමේන්තුව ආරක්ෂා කළා. මේ වන විට ආර්ථිකය ගොඩ නඟා තිබෙනවා. එදා මැයි 9 වෙනිදා කළ අපරාධය පොහොට්ටුවේ මිනිස්සුන්ට කරන්න එපා කියලා මම  නාමල් රාජපක්ෂ මහතාට කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස දෙන ලණු කන්න එපා කියලත් කියන්න අවශ්‍යයයි.

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, ලංකා වතු කම්කරු කොංග්‍රසය ආදි සියලු දෙනා අද ‍මේ වේදිකාවට පැමිණ සිටින්නේ අපේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්. ඒ අනාගතය සුරක්ෂිත කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව ජනතාව හඳුනා ගෙන සිටිනවා.

මේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින බව කියූ අනිත් නායක‍යෝ මිනිස්සු අසරණ වූ අවස්ථාවේ පලා යද්දි, වැටෙන මිනිසුන්ගේ ජීවිත බේර ගන්න හදවත වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි.

එතුමා වෙනුවෙන් පෙළ ගැසුණු , මේ රට ගොඩනගන්න ‘පුළුවන්’  කියන විශ්වාසය තිබෙන මිනිස්සු තමයි ගාල්ලේ ඉන්නේ.  කොන්ද පන තියෙන , හයිය තියෙන, කෝකටවත් බය නැති ඕන වැඩකට ගම ගාල්ලේ කියලා, ඕන ගේමක් ඉල්ලන ගාල්ල ජනතාව තමයි මේ රැස්ව සිටින්නේ. දැන් ‘අස්වැසුම’ ලැබෙනවා. සමෘද්ධි පවුල් සියලුම දෙනාට අස්වැසුම ලබා දෙනවා. පාසැල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ සිටින තුරුම  ඒ ශිෂ්‍යත්ව අඛණ්ඩව ලැබෙනවා. ඒ වගේම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙමින් සිටිනවා.

ඒ විතරක් නෙවෙයි මේ රටේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවුණා.  ජනවාරී මාසයේ  සිට රාජ්‍ය සේවකයන්ට තව දුරටත්  වැටුප් වැඩිවෙනවා. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප වැඩිවුනා. ඒ විතරක් නෙවෙයි වතු කම්කරුවන්ගේ වැටුප අඟහරුවාදාට වැඩි වෙනවා.

මේ හැම දේටම වැඩියෙන් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න අවකාශය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. හැබැයි 21 වෙනිදයින් පස්සේ බංගලාදේශයක් බවට අපේ රට පත් කර ගන්නවද? අවුරුදු දෙකකට කලින් රට තිබුන තැනට යනවද? එහෙම නැත්නම් දියුණු රටක් බවට පත් කරනවාද කියන තීරණය ගත යුතු වෙනවා.

මේ රටේ මිනිස්සු රැල්ලට ගිහිල්ලා එදාට වැරදි තීන්දුවක් ගත්තොත් තමන් විසින්ම සිය දිවි හානි කර ගත්තා කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙම වුනොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප සමඟ සිදු කරන  ගණුදෙනු නවත්වනවා. නැවතත් අපිට පෝලිම් යුගයට යාමට සිදු වෙනවා. රටේ අනාගතය අඳුරු වෙනවා.

දේශප්‍රේමි ජන බල වේගය පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා,

විනාශ වී ගිය මේ රට යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු 10ක් විතර ගත වෙයි කියා අපි හිතුවා. ලෝකයම මවිත කරමින් අවුරුදු දෙකක් ඇතුළත මේ රට යථා තත්ත්වයට පත් කළ අසහාය නායකයා බවට අද එතුමා පත්ව සිටිනවා.  එතුමාට කෘතගුණ දැක්වීමට අද මේ ජනකාය රැස්ව සි‍ටිනවා.

පසුගිය දින කිහිපය තුළ පැවැති තැපැල් ඡන්දයේදී පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුලු රාජ්‍ය සේවයේ 75%ක් ජනාධිපතිතුමාට ඡන්දය ලබා දී තිබෙනවා. මේ ආකාරයට රනිල්ගේ වටේ රැල්ල කැරකෙන කොට අනුර කුමාරගේත් පුතාණෝගේත් රැල්ල බැහැ ගෙන යනවා. මුළු රටේම දිනන රැල්ල සිලින්ඩරය වටේ එකතු වී අවසන් බව මම කියන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණ 1988/89 කාලේ වතු, කර්මාන්තශාලා ගිනි තිබ්බා. වතු පාලකයෝ මැරුවා. රාජ්‍ය දේපොළ ගිණි තබා විනාශ කළා. මේ අයගේ ක්‍රියාවන් ගැන මතක තිබෙන කිසි කෙනෙක් ඔවුන්‍ට ඡන්දයක් පාවිච්චි කරන්නේ නැහැ.

මහා සංඝරත්නය, රාජ්‍ය  අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,වඩිවේල් සුරේෂ්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් කලාකරුවන්, , හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more