උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

• සජිත් හෝ අනුර උතුරට විසඳුමක් නොවෙයි.

• ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කරනවා.

• අතුරුදන්වූවන්ගේ ගැටළුවට  ඉදිරි වසර 05 තුළ විසඳුම්.

• අනුර කුමාර එදා පළාත්සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා.

• සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක බලාපොරොත්තු ලබා දුන්නේ මමයි.

• IMF වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොගියහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටිය හැකි බවට IMF අනතුරු අඟවා තිබෙනවා - ජනපති යාපනයේ දී පවසයි.

උතුරේ කටයුතු දේශපාලන ප්‍රශ්නවලට පමණක් සීමා කළ නොහැකි අතර සංවර්ධනයද අවශ්‍ය බවත් එසේ නොවුණහොත් අනෙක් පළාත් සංවර්ධනයෙන් ඉදිරියට යන විට උතුර පසුපසට යන බවත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ දේශපාලන මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳන බව ප්‍රකාශ කළේය.

පළාත් සභා ශක්තිමත් කර බලතල ලබාදීම පිළිබඳ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ඇතුළත් කර තිබෙන බවත් මහ ආණ්ඩුවට උදව් කිරීමට පළාත් ආණ්ඩු 09ක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කරන බවත් ජනාධිපතිවරයා පැවසිය.

එසේම ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කිරීමට කටයුතු කරන බවත්, විනිසුරු නවාස් කොමිසම අනුව කටයුතු කරමින් අතුරදන්වූවන්ගේ ගැටළුව ඉදිරි වසර 05 තුළ සම්පූර්ණයෙන් විසඳීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (14) පෙරවරුවේ යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර එදා පළාත් සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගිය ආකාරයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද යාපනයට පැමිණ ජනතාවට විවිධ පොරොන්දු ලබා දුන්නද මෙම කටයුතු පිළිබඳ ඔවුන් ජනතාවට සහතිකයක් ලබා දිය යුතු බව අවධාරණය කළේය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක සහ අනාගතයක් පෙනෙනන්ට නොතිබු අවස්ථාවක අනාගතය පිළිබඳ බලාපොරොතුවක් ලබාදීමට තමා කටයුතු කළ බවත්, “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ තුළින් අනාගතය පෙන්වා දී ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මේ වන විට රටේ ආර්ථිකයේ දොරගුළු විවර කර ඇති බවද කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන නොගියහොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සිදු කළ අනතුරු අඟවීමද සිහිපත් කළ ජනාධිපතිවරයා රට ගොඩනගන වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාම සියලුදෙනාගේ වගකීම බවද කියා සිටියේය.

තවත් වසර 03ක් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්රියාත්මක කළහොත් කිසිවෙකුට නැවත රටේ ආර්ථිකය බිඳ දැමිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උතුරට අවශ්ය උතුර දියුණු කරන වැඩසටහනක් බවත් සජිත් ප්රේමදාස හෝ අනුර කුමාර ඊට විසඳුමක් නොවන බවත් සඳහන් කළේය.

ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අවස්ථාව ලද සෑම විටම මම යාපනයට පැමිණ තිබෙනවා. ඒ වගේම මැතිවරණවලදී පැමිණ කතා කර තිබෙනවා. අනෙක් අපේක්ෂකයනුත් දැන් යාපනය සොයාගෙන තිබෙන නිසා ඔවුනුත් මෙහි පැමිණෙනවා. ඔවුන් එන්නේ මැතිවරණ කාලයේදී පමණයි. නමුත් මන් සෑමවිටම මෙහි පැමිණෙනවා. ඒ නිසා මට මේ පළාතට පැමිණ ජනතාවගෙන්  ඡන්දය ඉල්ලන්න හැකියාව තිබෙනවා.

මම 1978 වසරේ සිට මේ පළාතේ මැතිවරණ කටයුතු සිදු කර තිබෙනවා. නමුත් අද මම මෙහි පැමිණියේ  මට ඡන්දයක් ලබා ගැනීමටයි. අනිත් අය වෙනුවෙන් නොවෙයි රටේ අනාගතය වෙනුවෙනුයි.  

මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට කෑම නොතිබු අවස්ථාවේ එම ප්‍රශ්නය විසඳීමට මම ඉදිරියට ආවා. ගෑස්, ඉන්ධන, ඖෂධ, පොහොර නොතිබු අවස්ථාවේ එම ප්‍රශ්නය විසඳිමට මම ඉදිරිපත් වුණා. බලාපොරොත්තු නොතිබු අවස්ථාවක සහ අනාගතයක් පෙනෙන්නට නොතිබු අවස්ථාවක මම පැමිණ ජනතාවට බලාපොරොත්තු ඇති කළා. ඒ වගේම අනාගතය ද පෙන්වා දී තිබෙනවා.

දැන් මෙරට ආර්ථිකයේ දොර විවෘත කර තිබෙනවා. නැවත ජනතාවට ජීවත්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. නමුත් ඒ ජීවත්වීම 2019 වසරේ තරම් පහසු නැහැ. අප 2019 පැවති ආර්ථික මට්ටම නැවත ඇතිකරගත යුතුයි. අප ලබාගත් මේ ආර්ථික ස්ථාවරත්වය නැවත කඩා වැටෙන්න පුළුවන්. ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල ඊයේ නිවේදනය කර තිබෙන්නේ එයයි. දැනට තිබෙන ප්‍රගතිය හොදයි නමුත් මේ මාර්ගයේ ඉදිරියට නොගියහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවා තිබෙනවා. ඒ නිසා මම ජනතා වරම ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහායි.

මට විරුද්ධව ඡන්දය ඉල්ලන අනුර කුමාර හිටපු ඇමතිට සහ සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිට අවශ්‍ය මේ ක්‍රමය වෙනස් කර තමන්ගේ ක්‍රමවේදය අනුව යාමටයි. ජීවන බර අඩු කරන බව සහ බදු නැති කරන බව ඔවුන් ප්‍රකාශ කරනවා. එහෙම කරන්න ගියොත් අපට IMF ආධාර ලැබෙන්නේ නැහැ. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා.  අපි IMF සමඟ සාකච්ඡා කර රුපියල ශක්තිමත් කළා. භාණ්ඩ මිල කුමානුකූලව අඩුවෙලා තිබෙනවා. අපි ජනතාවට තවත් සහන ලබා දෙනවා. එම වැඩපිළිවෙළ අප දැන් ආරම්භ කර තිබෙනවා.

අපට දැන් බදු අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. බදු ගෙවීමට තිබු රුපියල් ලක්ෂ 05 සීමාව දැන් මම රුපියල් හත්ලක්ෂ විසි දහසක් බවට පත් කර තිබෙනවා. එවිට සියලුදෙනාට 15%-25% දක්වා බදු සහනයක් ලැබෙනවා. ඒ වගේම විදේශ විනිමය සංචිතය දියුණු වී තිබෙන නිසා වාහන ආනයනයනට ද  ඉඩ ලබා දී තිබෙනවා.

දැන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. තව වසර 03ක් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටේ  ආර්ථිකය කඩන්න බැරි වෙලා ශක්තිමත් වෙනවා. නමුත් සජිත් හා අනුර කියනවා බදු අඩු කරන්න අවශ්‍යයි  කියලා. මමත් එය කරන්න කැමතියි. එය කළොත් රටේ  තිබෙන දියුණුව නැති වී ආර්ථිකය බිඳ වැටි 2022 වසරේ ජූනි මාසයේ පැවති තත්ත්වයට නැවත රට පත් වෙනවා. ඒ නිසා මම ජනතාව හමුවේ ඇත්ත කියනවා.

අප රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතරම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරනවා. මෙම ආර්ථික අර්බුදය ඇතිවීමට හේතු වූ කරුණු අප අමතක නොකළ යුතුයි. අප එයට ප්‍රතිකාර කළයුතුයි. ඒ නිසා අප කඩිනමින් සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය වගේ අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි.

අපි ලබන වසරේ ආණ්ඩුවේ සහ පෞද්ගලික අංශයේ ස්වයං රැකිය ආදායම් මාර්ග ලක්ෂයක් ඇති කරනවා. අප එම ස්වයං රැකියා ලාභීන්ට සහන ලබා දෙනවා. එම ව්‍යාපෘති දියුණු වූ විට නව රැකියා අවස්ථා බිහි වෙනවා. ඒ වගේම අපි කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. එවිට ගමේ දුප්පත්කම නැති වෙනවා.

ඒ වගේම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් කිරීමටත්, ආයෝජකයන් ගෙන ඒමටත් අප සැලසුම් කර තිබෙනවා. නමුත් සජිත්ගේ හා අනුරගේ ප්‍රතිපත්ති නිසා ආයෝජකයන් රටින් පිටවෙලා යනවා.

අප උතුරේ ප්‍රශ්න විසඳිය යුතුයි. උතුරේ වැඩකටයුතු දේශපාලන ප්‍රශ්නවලට සීමා කරන්න බැහැ. උතුරට සංවර්ධනයත් අවශ්‍යයි. නැත්නම් අනෙක් පළාත් ඉදිරියට යනවා යාපනයේ පසුපසට යනවා. පළාත් සභා ශක්තිමත් කර බලතල ලබාදීම පිළිබඳ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු ඇතුළත් කර තිබෙනවා. මහ ආණ්ඩුවට උදව් කරන්න පළාත් ආණ්ඩු 09ක් අවශ්‍යයි.

ඒ වගේම ජාතික ඉඩම් කොමිසම ඇති කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම අප TRC කොමිසම ඇති කරනවා. විනිසුරු නවාස් කොමිසම අනුව අතුරුදන්වූවන් පිළිබඳ වැඩකටයුතු සිදු කර ඊළග වසර 05 තුළ එම  ප්‍රශ්නය සම්පුර්ණයෙන් අවසන් කරනවා.

දෙමළ  ජනතාවගේ ප්‍රශ්නය විසඳන විට උතුරේ දෙමළ කාන්තාවන්ගේ ප්‍රශ්න ද විසඳීමට අප අවධානය යොමු කර තිබෙනවා. කාන්තා සවිබල ගැන්වීමේ පනත අප සම්මත කර තිබෙනවා. ඒ වගේම කාන්තාවන් සහ දරුවන්ට සිදුවන හිරිහැර පිළිබද වාර්තා කිරීමට සෑම පොලිස් ස්ථානයකම වෙනම ඒකකයක් ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. ගෘහස්ත හිංසනය වැළැක්වීමට අප පියවර ගෙන තිබෙනවා. ස්වාමිපරුෂයෙක් බීමතින් පැමිණ බිරිදට කරදර කළොත් ඔහුව පොලිසියට අරගෙන යන්න පුළුවන්. අපි මෙම වැඩකටයුතු ක්‍රියාත්මක කරනවා.

ඒ නිසා උතුරේ දේශපාලන ප්‍රශ්නය පමණක් විසදා ප්‍රමාණවත් නැහැ. මම උතුරේ සංවර්ධන ගැටළුවද විසදනවා. කන්කසන්තුරේ පළමු ආයෝජන කලාපය ඇති කරනවා. දෙවන කොටස පරන්තන් වල සහ තෙවන කොටස මාන්කුලම්වල ආරම්භ කර මේ ප්‍රදේශය විශාල දියුණුවක් ඇති කරනවා. පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස දියුණු කර තිබෙනවා. ඒ වගේම මෙම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අපි පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවර කර්මාන්තය දියුණු කරනවා. පුනරින් නගරය සූර්ය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟනවා. මෙම පළාතේ දේශපාලනය සහ සංවර්ධනය සමබරව ගමන් කළයුතුයි.

හිටපු කාෂිකර්ම ඇමති අනුර කුමාර ඒ කාලයේ පළාත් සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. ඒ නිසා මේ කටයුතු නිසි ලෙස සිදු කරන බවට ඔවුන් ජනතාවට පොරොන්දු විය යුතුයි. වචන පමණක් ප්‍රමාණවත් නැහැ. දෙමළ ජනතාවට තර්ජනය කරන්න එපා කියා මම යාපනේදී කිව්වා කියලා මට බැන්නා. මම ප්‍රශ්න අහනවා ඔහු පිළිතුරු දෙන්නේ නැහැ. විවාදයකට එන්න කියලා මට කිව්වා. මම එකඟ වුණා. නමුත් දැන් ආරාධනාවක් නැහැ. ඒ කියන්නේ ඔහුට මම අහපු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැහැ.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ගැන මම කියන්න යන්නේ නැහැ. ඔහු වේදිකාවට නැග්ගම මොකක් හරි නොමිලේ දෙනවා කියනවා. ඉතිරිව තිබෙන්නේ හිසරදය නොමිලේ දීම පමණයි. සජිත් හෝ අනුර ඔබේ විසදුම නොවෙයි. යාපනය දියුණු කරන වැඩසටහනක් ඔබට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා,

වසර දෙකක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිතිතුමාට හැකි වුණා. නමුත් මෙරට ආර්ථිකය නඟා සිටුවීම සඳහා එතුමා ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් ඉදිරි වසර පහේද මේ රටේ නායකත්වයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් විය යුතුයි.

මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. උතුරේ අපිත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට අවශ්‍යයි. එම නිසා

ඊ.පී.ඩී.පී පක්‍ෂය ලෙස ජනතා අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගෙන තිබෙනවා. ඒ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කිරීමටයි. ඒ සඳහා ඔබ සැමගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා,

කිරි පිටි, ගෑස්, විශේෂයෙන් භූමිතෙල් ඇතුළු ඉන්ධන සඳහා දිගු පෝලිම්වල ගත කළ කාලය අමතක කිරීමට තරම් අප කෙළෙහි ගුණ නොදන්නා ජාතියක් නොවෙයි. අද මෙතැනට මේ තරම් ජන සංඛ්‍යාවක් පැමිණ සිටින්නේ, අනුර කුමාර  වගේ බස්වලින් ගෙනවිත් නොවෙයි. මේ සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතුයි කියා විශ්වාස කරන පිරිසක්.

එදා ජනතාවගේ දුක දැක පැන දිවූ, අද බලය ඉල්ලා පැමිණ සිටින අනුර, සජිත් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වයටවත් නුසුදුසු බව කිව යුතුයි. ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට ඇති එකම මාර්ගය සැප්තැම්බර් 21 වනදාට අපගේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ලබා දීමයි.

යාපනයේ හිටපු නගරාධිපතිනී යෝගේෂ්වරී  පද්කුනරාජා මහත්මිය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් රට ගොඩ ගැනීමට කටයුතු කරන අභීත නායකයෙක් බව මෙම දෙවසර තුළදී ජනතාවට ඔප්පු කර තිබෙනවා. එතුමා භාර ගත්තේ ආර්ථික අර්බුදය හේතුවෙන් අස්ථාවර වූ රටක්. එදා එතුමා භාර ගත්තේ හිස් වූ රාජ්‍ය භාණ්ඩාගාරයක් සහිත රටක්.

පසුගිය දෙවසර තුළ විපක්ෂයේ නායකයන් ඔවුන්ගේ පක්ෂ හා පුද්ගලයන් ගොඩ නැඟීමට කටයුතු කරන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙහෙසුනේ වැටුණු ආර්ථිකය නඟා සිටුවා මෙරට ජන ජීවිතය ස්ථාවර කිරීමටයි. එතුමා බලාපොරොත්තු වූ අයුරින්ම අද වන විට අපේ දෛනික ජීවිතය ස්ථාවර වී තිබෙනවා. එපමණක් නොවෙයි අර්බූදකාරී කාලපරිච්ඡේදය තුළ පවා ධීවර ජනතාව වෙනුවෙන්

භූමිතෙල්, බෝට්ටු, දැල් අදාය සහනදායී ලෙස ලබාදීමට එතුමා කටයුතු කළා. ඒ වගේම  අපගේ ජනතාවට නිදහසේ වන්දනාමාන කර ගැනීමට හැකි වන පරිදි බොහෝ හින්දු කෝවිල් නිදහස් කර දීමටත් කටයුතු කළා. ඒ අනුව අන්‍ය ආගමිකයන්ටද  නිදහසේ තම ආගම ඇදහීමටත් හැකි නිදහස් පරිසරයක් එතුමා නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අප එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතුයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් ද, ඊ.පී.ඩී.පී සංවිධානයේ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more