රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

• අද බංග්ලාදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්රී ලංකාවේ ඇතිවීම මා මැදිහත්ව වළක්වාගත්තා.

• වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කරනවා.

• රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එනවා - වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනපති පවසයි.

රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම බරපතළ ඛේදවාචකයකට මග පාදන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එබැවින් රාජ්‍ය බලය සෑම අවස්ථාවකදීම එක් පාර්ශ්වයකින් අනෙක් පාර්ශ්වයට සුමටව හුවමාරු විය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය බලයේ ඇතිවූ රික්තය පිරවීමට බංග්ලාදේශය අසමත් වීම නිසා මේ වන විට එරට ඛේදවාචකවකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ දී මෙරට තුළ ද එවැනිම තත්ත්වයක් ඇතිවීමට ගිය බවත්, එම අවස්ථාවේ තමා මැදිහත් ව එය වැලැක්වූ බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'නිරෝගීමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු' යන තේමාව යටතේ ඊයේ (12) පස්වරුවේ බත්තරමුල්ල වෝර්ටස් එජ් හෝටලයේ පැවති වෛද්‍යවරුන්ගේ සංසදය අමතමිනි.

මෙම හමුවේදී ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි තත්ත්වය පිළිබඳ විශේෂ දේශනයක් සිදු කළේය. මෙහිදී වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ගැටළු ඍජුවම යොමු කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ පසුගිය වසර දෙකක කාලය තුළ රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වූවද මෙරට වෛද්‍යවරුන් සිදු කළ සේවය වෙනුවෙන් ස්තුතිවන්ත වන බවත්, ආර්ථිකය නැවත ගොඩනඟන විට සෑම පුද්ගලයෙකුටම නියමිත කොටස ලබාදෙමින් මෙරට වෛද්‍යවරුන්ට ද වඩා හොඳ අපේක්ෂාවන් සහ වැටුප් ලබාදීම තම ඉලක්කය බවත් ය.

මෙරට ආර්ථික පද්ධතිය මෙන්ම දේශපාලන පද්ධතිය ද කඩා වැටී තිබෙන බැවින් සියල්ල නැවත ගොඩනැගිය යුතු බවත්, තමන් විසින් ඉදිරිපත් කර ඇති “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළින් නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වන වැඩපිළිවෙළ ඇතුළත් බවත් ජනාධිපතිවරයා පැවසීය.

වෛද්‍යවරයෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ උපදේශන ක්‍රියාවලිය යළි ස්ථාපිත කරන බවයි. එමෙන්ම නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් ඇති කරමින් රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා යන දෙඅංශ ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

ආර්ථිකය ප්‍රකෘතිමත් වීමෙන් පසුව ලබාදුන් වැටුප් වැඩිවීම හේතුවෙන් අධිකරණ සේවාව සමඟ සිය වෘත්තීය තත්ත්වය සමවීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ සංසදයේදී එහි සාමාජිකයන්ගේ පෙන්වාදුන් අතර, ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවාද, නැතිනම් ව්‍යුහමය ප්‍රතිසංස්කරණය වහා සිදුකරනවාද යන්න  තීරණය කළ යුතු බවත්, එම කරුණු කෙරෙහි සිය අවධානය යොමු කර තිබෙන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:‍

“කිසිවෙකුත් භාර නොගන්නා අවස්ථාවක මම රට බාරගත්තා. ඒ වගේම මට ඉක්මනින් රට යථා තත්ත්වයට ගෙන ඒමටත් හැකිවුණා. කිසිවිටෙකත් රාජ්‍ය බලයේ රික්තයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයි. බලය එක් පාර්ශ්වයක සිට තවත් පාර්ශ්වයකට සියුම්ව හුවමාරු විය යුතුයි. රටක එවැනි රික්තයක් නිර්මාණය වුවහොත් එමඟින් එය බරපතල විපතකට මග පාදනවා.

බංග්ලාදේශයේ ඇති වූ ප්‍රශ්නය ද මෙයයි. ඔවුන් රාජ්‍ය බලයේ රික්තයක් ඇති වීමට ඉඩ හැරියා. ඒ වගේම එම රික්තය පිරවිය නොහැකි බවද තහවුරු වුණා. සෑම කෙනෙකුම ඔවුන්ගේ මනෝභාවය අනුව හෝ ඔවුන්ගේ අභිමතය පරිදි එම රික්තය තමන්ගේම ආකාරයට පිරවීමට උත්සාහ කළා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ අපට එවැනිම ගැටලුවකට මුහුණ දීමට සිදු වුණා. සම්පූර්ණ රික්තයක් ඇතිවුණා. එම අවස්ථාවේ එය පිරවීමටත්, අවශ්‍ය පියවර ගැනීමටත් මම තීරණය කළා. ආරම්භයේදී, ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ඉල්ලා සිටීමට මා අදහස් කළත් පසුව එය අසාර්ථක වෙතැයි සිතුනා. ඉතින් මම අගමැති විදියට කටයුතු කර ජනාධිපතිවරයා ඉවත්ව ගිය අවස්ථාවේ බලය ලබාගත්තා.

ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය පියවර ගත් නමුත් දැන් එය තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. අපි වැඩි වශයෙන් ආදායම් උපයා ගත යුතුයි. එයින් අදහස් කරන්නේ අපගේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමයි. ඒ අනුව, ඔබේ වැටුප් ද ඉහළ නැංවෙනවා.

මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අප අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. අපේ රටේ ජනතාවට පමණක් නොව පිටරටින් පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමෙන් අතිරික්ත ආදායමක් උපයා ගැනීම සඳහා සමස්ත වෛද්‍ය සේවාවම ඉලක්ක ගත කළ යුතුයි. මෙවැනි ප්‍රවේශයක් තුළින් සෞඛ්‍ය සේවාවේ ගැටලු නිරාකරණය කිරීමටත්, කාලයත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයට 7-8%ක පමණ වර්ධනයක් ලබාදීමටත් සෞඛ්‍ය සේවාවට සහාය විය හැකියි.

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමට මෙන්ම සමෘද්ධිය ඉහළ නැංවීමට උපකාරී වන සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් හඳුන්වාදීම කෙරෙහි ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා යොදාගත හැකි අක්කර 300,000ක පමණ භූමි ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එමෙන්ම වසරකට මෙරටට පැමි‍ණෙන සංචාරකයින් සංඛ්‍යාව දෙගුණයක් බවට පත්කළ යුතුයි.  එක් සංචාරකයෙකුගෙන් දිනකට ලැබෙන ආදායම ඩොලර් 150 සිට ඩොලර් 400ක් දක්වා වැඩි කරගත යුතුයි. අප නව ආයෝජන කලාප ඇති කිරීම, ඩිජිටල් ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම සහ තිරසර බලශක්ති විභවයන් භාවිතයට ගැනීම වැනි අංශ කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා. මෙමගින් කෙටි කාලයක් තුළ මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට හැකි වෙනවා.

අපනයනය ඉලක්ක කර ගනිමින්, ඩිජිටල්කරණය සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් වෙත පරිවර්තනය වෙමින්, කෘෂිකර්මාන්තය ද නවීකරණය කළහොත් අපේ රට විශාල වෙනසට ලක්වෙනවා. අපි රුපියල ස්ථාවර කර තිබෙනවා. උද්ධමනය පාලනය කර තිබෙනවා. ආදායමේ වර්ධනයක් දකින්නට තිබෙනවා. ජනතාවට සින්නක්කර ඉඩම් ලබා දෙන උරුමය වැඩසටහන සහ අස්වැසුම වැඩසටහන ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වතුකරයේ ලයින් කාමරවල ජීවත්වන ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙමින් එම ප්‍රදේශ ගම්මාන බවට පත් කිරීම ඇතුළු විවිධ යෝජනා ක්‍රියාත්මක කිරීමට ද අප කටයුතු කරමින් සිටිනවා.

කාන්තා සවිබල ගැන්වීමේ පනත සහ සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාව හරහා මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ද අප කැපවී ක්‍රියා කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහාය ඇතිව අප විසින් සම්පාදනය කළ නව දූෂණ විරෝධී න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ප්‍රාදේශීය සභා සහ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ කොමිසමෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශ 87 ක්‍රියාත්මක කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ ආර්ථික පද්ධතිය මෙන්ම දේශපාලන පද්ධතිය ද කඩා වැටී තිබෙනවා. එනිසා අප මේ සියල්ල නැවත ගොඩනැගිය යුතුයි. “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළින් නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා සියලුම අංශ ඒකාබද්ධ කිරීම මගේ අරමුණයි. මෙම උත්සාහය අප මත පමණක් රඳා පවතින්නේ නැහැ. ඒ තුළ මෙරට තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා. මා අදහස් කරන ආකාරයට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් අවශ්‍යයි. දුෂ්කර තත්වයන් යටතේ වුවත් මහජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබ සපයන මෙම අත්‍යවශ්‍ය සේවාව අප අගය කරනවා.

පහුගිය වසර දෙකක කාලය තුළ අපේ රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් දැක්වූ දායකත්වයට මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ රජය සමඟ එකඟ වන අවස්ථා මෙන්ම එකඟ නොවන අවස්ථා ද තිබෙනවා. නමුත් ඔබ මේ රටට වැදගත් සේවාවක් සිදු කරනවා. අපි ආර්ථිකය නැවත ගොඩනඟන විට ඔබට වඩා හොඳ අපේක්ෂාවන් සහ වැටුප් ලබාදීම මගේ ඉලක්කයයි. සෑම පුද්ගලයෙකුටම නියමිත කොටස ලැබිය යුතුයි.”

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

අපේ රටේ සෞඛ්‍ය සේවාව නිදහස් අධ්‍යාපනය සමඟ බැඳී පවතිනවා. නිදහස් ශ්‍රී ලංකාවේ පසුගිය වසර 76ක කාලය තුළ වැදගත්ම සාධක වන්නේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාවයි.

20 වන සියවසේ මෙරට සිදු වූ වඩාත් ඓතිහාසික සිදුවීම වන්නේ 1945 දිවංගත අධ්‍යාපන අමාත්‍ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මණ්ත්‍රණ සභාවට ඉදරිපත් කිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසැල් නොගිය දරුවන් පාසැල් යාම ආරම්භ කළා. ඉන්පසුව ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළු වුණා. ඔවුන් විසින් මේ රටේ සමාජ පදනම ස්ථිරසාර ලෙස වෙනස් කළා.

නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵල නෙලා ගත් නීතිඥයින්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයින් ශ්‍රී ලංකාවේ සමාජ හැඩතල වෙනස් කළා. අධ්‍යාපන ක්‍රමයේ දියුණුවත් සමඟ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල දියුණුවකට පත් වුණා. 1948 වසරේ අපි නිදහස් ලබන විට ‍ශ්‍රී ලංකාවේ සේවය කළ රජයේ වෛද්‍යවරුන් සංඛ්‍යාව 500කට අඩුයි. අද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු 25,000ක් පමණ සේවය කරනවා. එදා හෙද සේවයේ සිටියේ 750කට ආසන්න සංඛ්‍යාවක් වුවත් අද 45,000ක් පමණ ‍හෙද සේවයේ යෙදෙනවා. සමස්ත සෞඛ්‍ය සේවයේ 150,000කට අධික පිරිසක් සේවය කරනවා. මේ සමඟම රෝහල් සංඛ්‍යාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ භෞතික සම්පත් ද වැඩි දියුණු වී තිබෙනවා. ඒ අනුව නිදහස ලබන විට මෙරට ආයු අපේක්ෂාව වූ අවුරුදු 42ක් වුවත් එය මේ වන විට අවුරුදු 80 දක්වා වැඩි වී තිබෙනවා.

අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු කාලය පැමිණ තිබෙනවා. රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වඩාත් යහපත් සේවාවක් සැළසීම, සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ව දිරිමත් කිරීමත් සිදු කළ යුතුව තිබෙනවා. මේ වන විට පවතින අභියෝගය වන්නේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපාදන සහ පසුබිම සකස් කිරීමයි. පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ගේ විශිෂ්ඨ සහයෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව කෙරෙහි විශ්වාසය ගොඩ නඟා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ වගේම සියලු සෞඛ්‍ය වෘත්තිකයින් මුහුණ දෙන ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගැනීමට රජයක් වශයෙන් අප කටයුතු කරනවා. විශේෂයෙන් වෛද්‍යවරුන් විශේෂ සේවා ඛාණ්ඩයක් ලෙස පිළිගැනීම පිළිබඳ වන ඉල්ලීම සහ සියලු වෘත්තීය ගැටළු විසඳීමට අවධානය යොමු වී ඇති බව කිව යුතුයි.  

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමැතිනි වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, වෛද්‍ය රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, වෛද්‍ය උදිත බුලුගහපිටිය, වෛද්‍ය චන්දික එපිටකඩුව යන මහත්වරුන් ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ සාමාජිකයින්, විශේෂඥ වෛද්‍ය සමන් යසවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 500කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more